brand logo

මගේ ගායනය අහලා රෝහණ වීරසිංහයන්ගේ ඇඟේ හිරිගඩු පිපුණාලු

23 March 2020

ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස එක දිගට සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීණයන් හා උරෙන් උර ගමනක යන ජනප්‍රිය ගායන ශිල්පිනී සශිකා නිසංසලා අද අප හා එක්වෙනවා. ඉතාම කුඩා අවධියේ ඔබ සංගීත කණ්ඩායමක ගීත ගයනවා? මගේ ගම දැරණියගල ඌඩපල,(ඌඩපොළ). පුංචි කාලේ ජීවත් වුණේ එහේ. ඒක හරිම සුන්දර පළාතක්. මගේ තාත්තගේ පරම්පරාවෙන් තමයි සංගීතය පැවත එන්නේ. ඒත් ඒ කාලේ හැටියට ඉදිරියට එන්න තත්ත්වයක් තිබුණේ නැහැ. තාත්තගේ සහෝදරයෝ, ගමේ යාළුවෝ එකතු වෙලා කරපු සංගීත කණ්ඩායමක් තිබුණා. චූටි කාලේ මමත් ඒකේ සින්දු කිව්වා. තාත්තා තමයි ඇත්තටම සින්දු කියලා දුන්නේ. අපේ ගෙදර පොඩි ඕගන් එකක් තිබුණා. ඒ කුඩා ඕගනය මගේ සංගීත හැකියාවට පණ පෙව්වා. ජීවත් වූ සුන්දර ගම අතහැරලා නගරයට එනවා. දුකක් හිතුණේ නැද්ද? මට ගායන හැකියාව පිහිටලා තියෙනවා කියලා තාත්තට දැනුණට පස්සේ තමයි හැමදේම වෙනස් වුණේ. අපේ ගම ගොඩක් පිටිසරයි. අපිට කරන්ට් එක තිබුණේ නැහැ. ඒත් ඒක හේතුවක් කරගත්තේ නැහැ. තාත්තා මට රේඩියෝ එකේ සින්දු අහන්න ඉඩ හදලා දුන්නා. ගමේ අඩු පහසුකම් තිබුණට මගේ හැකියාව දියුණු කරගන්න තාත්තා හැමදේම කළා. ඒ අනුව තමයි අපි අවිස්සාවේල්ල ප්‍රදේශයට පදිංචියට එන්නේ. නෑදෑයෝ දාලා එන්න දුකක් තිබුණට අපේ වැඩිදුර අධ්‍යාපන කටයුතු ගැනත් හිතලා තමයි තාත්තා නගරෙට එන්න සැලසුම් කළේ. ඔබ ඉතා කුඩා අවධියේ රාගධාරි සංගීතය හදාරන්න යොමුවෙනවා. කොහොමද ඒක වුණේ? මම 9-10 වසර ඉගෙන ගනිද්දි සංගීත විශාරද විභාගය සමත්වෙලා හිටියේ. මගේ ගෙදරට අල්ලපු වැටේ තමයි අවිස්සාවේල්ලේ පන්සිළු කලායතනය තිබුණේ. ඉතින් මට වෙන අයට වඩා පහසුවෙන් සංගීත කටයුතු කරන්න, ඉගෙන ගන්න එය පහසුවක් වුණා. විශාරද ආනන්ද රාජපක්ෂ ගුරුතුමා තමයි මට ඉන්දියානු රාගධාරි සංගීතය උගන්වපු මුල් ගුරුතුමා. උසස් පෙළ විභාගය අත ළඟ තියාගෙන ‘තුරුණු ශක්ති’ ආධුනික ගීත තරගයට ඉදිරිපත් වෙන්නේ? ඒ 1999 වසරේ. මම උසස් පෙළ විභාගයට සූදානමින් සිටියේ. ඇත්තටම ඒක මට විශාල අභියෝගයක් වුණා. මොකද තාත්තා මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා කොහොම හරි පළමු වතාවෙම විශ්වවිද්‍යාලයට යන්න ඕන කියලා. සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්න නම් උසස් අධ්‍යාපනය පැත්තත් බැලන්ස් කරගෙන යන්න ඕන කියන එක තාත්තා මට කිව්වා. ඒක මගේ හිතේ තදින් වැඩ කළා. අපේ පවුලේ ආර්ථික පසුබිම යහපත් තත්ත්වයක තිබුණේ නැහැ. තාත්තා රජයේ සේවකයෙක් විදිහට ගෙදරදොර වියදම්, මල්ලිගේ, මගේ අධ්‍යාපන වියදම්, ඒ සියල්ල කරගත්තේ ඉතා අපහසුවෙන්. අම්මගේ, තාත්තගේ හිත්වල ශක්තියෙන් ඒ දේවල් කෙරුණා කියලයි මට හිතෙන්නේ. උසස් පෙළ හදාරන විටත් මම සංගීත විශාරද විභාගය සමත්වෙලා තිබුණ නිසා උසස් පෙළ අධ්‍යයන වැඩවලට ඒක ලොකු පහසුවක් වුණා. ඒ වෙද්දි අනුලා විද්‍යාලයේ සංගීත විෂය භාරව සිටියේ දීපිකා ප්‍රියදර්ශනී මිස්. උසස් පෙළ හොඳ ප්‍රතිඵල ගන්න දීපිකා මිස් මට ගොඩක් උදව් කළා. මම තුරුණු ශක්ති ජයග්‍රහණය කරනවාත් එක්කම කැසට්වලට, ප්‍රසංගවලට ආරාධනා එන්න ගත්තා. මම ඒ සියල්ල පසෙකින් තැබුවා. උපරිම ශක්තිය අරන් ඉතාමත් කෙටි කාලයක් අරන් පාඩම් වැඩ අතපසු නොකර කරමින්, උසස් පෙළ කඩඉම ජයගත්තා. පළමු වතාවෙම A සාමාර්ථ තුනක් අරන් තාත්තගේ සිහිනයද යථාර්ථයක් කරමින් ඒ අනුව තමයි මම කැලණිය විශ්වවිද්‍යාලයට තේරෙන්නේ. ප්‍රවීණයන් ඔබට මුණගැසෙනවා. මොකද හිතුණේ? මගේ සංගීත ජීවිතයේ සතුටුම සිද්ධියක් කියන්නම් ඔබට. මා තුරුණු ශක්ති තරගයේ ජීවන විල මැද ගීතය ගායනා කරද්දී තමන්ට දැනුණ හැඟීම ගැන පසුකලෙක ආචාර්ය රෝහණ වීරසිංහයන් රූපවාහිනී වැඩසටහනකදී කියලා තිබුණා. මගේ ගායනය අසා ඉඳිද්දි ඔහුගේ ඇඟේ හිරිගඩු පිපුණා කියලා. මේ ප්‍රතිචාරය මට මහත් සතුටක් වුණා. ඒ වගේම තමයි මේ කියන අවධිය වෙද්දි මම මගේ පළමු ගීතය ගායනා කරලා ජනප්‍රිය වූ අවධිය. දවසක් සංගීත සංදර්ශනයක් අවසානයේ අපේ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් අංකල් මගේ ළඟට ඇවිත් ඇහුවා ‘දුව මා එක්ක ගීතයක් ගායනා කරන්න කැමතිද?’ කියලා. එදා මගේ ඉහේ මලක් පිපුණා වගේ. මම ගත් කටටම කිව්වා හා කියලා. මට ගොඩක් සතුටුයි අංකල් මා ළඟටම ඇවිත් ඒ ආරාධනය කළාම. ඔබ දැන් ජනප්‍රිය වගේම සම්මානනීය ගායන ශිල්පිනියක්? ඔව්, මා ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. මම තුරුණු ශක්ති දිනා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 20ක් මේ වසර වෙද්දි. මට දැනට සම්මාන 20ක් ලැබිලා තියෙනවා. මෑතකදී ජනප්‍රිය ගායන ශිල්පිනියට හිමි සම්මානය පිට පිට පස් වතාවක් ලබාගත්තා. මාලි යසන්තා
 

More News..