brand logo

මගේ ක්‍රිකට් අනාගතය තියෙන්නේ බෝලේ අතට ලැබෙනකම් විතරයි

20 April 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරුණි. එහි නායකයා ලෙසින් දිමුත් කරුණාරත්නව නම් කර තිබේ. මෙය ලසිත් මාලිංගගේ සිත පෑරු තීරණයක් වීද? ඔහු ඒ ගැන ළතැවිල්ලෙන් ක්‍රීඩාවෙන් සමුගැනීමට හෝ ලෝක කුසලාන සහභාගිත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේද? මාලිංග දකින නායකයා යනු කව්රුන්ද? මේ කරුණු විමසා බැලීමට මේ දිනවල අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින ලසිත් මාලිංගට අපි කතා කළෙමු. නායකත්වය නොලැබී යෑම කියන එක කණ්ඩායමෙන් ඉවත් වෙන්න තරම් ප්‍රශ්නයක්ද? කණ්ඩායමත් සමග ඉදිරියට වැඩ කරන්න නායකත්වය මට ලැබුණේ නැහැ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මගේ ජීවිත කාලයේ නායකයෝ විශාල පිරිසක් සමගින් මම කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ කනිෂ්ඨ ක්‍රීඩකයෙක් යටතේ වුණත් ඔබට ක්‍රීඩා කිරීමේ ගැටලුවක් නැහැ? මම මෙච්චර කාලයක් පුහුණුකරු වෙනුවෙන්වත්, නායකයා වෙනුවෙන්වත් ක්‍රිකට් ගැහුවේ නැහැ. මම ක්‍රීඩා කළ අවුරුදු 15 දී මට අවස්ථාව ලැබෙන සෑම තරගයකදීම උත්සාහ කළේ එදා තරගය දිනන්න මට පුළුවන් උපරිමය කණ්ඩායම වෙනුවෙන් දීපු එකයි. ඒක ක්‍රිකට් බලන අය දැක්කද නැද්ද කියන එක මට අදාළ කාරණයක් නෙමෙයි. නමුත් මගේ හිත දන්නවා මම හැමදාම ලණුව පැනලා ක්‍රීඩාංගණයට ගියේ තරගය දිනන්න බලාගෙන කියලා. ඒ ගැන මම තෘප්තිමත්. එහෙම ක්‍රීඩකයෙක් වටා එකතු වෙන්න අනිත් ක්‍රීඩකයෝ අකැමැතියි කියලා ක්‍රිකට් බලධාරීන් මේ කියන කතාව මොකක්ද? එදා මාධ්‍ය හමුවේදී මගේ නායකත්වය සම්බන්ධයෙන් තේරීම් කමිටුවට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා මං දැක්කා. ඒ වගේම මම පිටියේ ගන්න තීරණ, පන්දු රකිද්දි ක්‍රීඩකයන් ස්ථානගත කරන ආකාරය පිළිබඳව ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලාත් කිව්වා. මම නායකයා වශයෙන් කටයුතු කරද්දි අනෙක් ක්‍රීඩකයන්ට වඩා දක්ෂතා දක්වනවා කියලත් කිව්වා. එකම දේ තියෙන්නේ, මම නායකයා ලෙස කටයුතු කරනකොට අනෙක් ක්‍රීඩකයින් මා වටා එකතුවෙන්නේ නැහැ කියන එකයි. ඒක මට අදාළ කාරණාවක් නෙමෙයි. මගේ ක්‍රමේට එකතු වෙන්නේ නැති විදිහට ක්‍රිඩකයින්ව හැදුවේ කව්ද කියන එක නේද ප්‍රශ්නය වෙන්න ඕනේ? අපි නායකයෙක් කියන්නේ පොදු අරමුණක් උදෙසා පිරිසක් මෙහෙයවිය හැකි පුද්ගලයාට. එතකොට මාලිංගට ආත්ම විස්වාසයක් තියෙනවාද තමන් තුළ ඒ හැකියාව තියෙනවා කියලා? මට ලැබුණේ අවස්ථා දෙකයි. දකුණු අප්‍රිකාවේදී අපිට එක එක්දින තරගයකදී අවස්ථාවක් ලැබුණා පන්දු යවන්න. අපි එතැනදි ලකුණු දෙසීය පනහකට ඔවුන්ව සීමා කළා. එතැනදි 11 දෙනෙක්ව හසුරුවන්න මට පුළුවන් වුණා. එහෙම 11 දෙනෙක්ව හසුරවන්න පුලුවන් පන්දු රකිද්දි විතරනේ. හැබැයි මට දෙන්නෙක්ව හසුරවන්න බැහැ විවේකාගාරයේ ඉදගෙන. පැහැදිළි මදි... තව ටිකක් විස්තර කළොත්...? කණ්ඩායමේ නායකයෙක් විදිහට පන්දු යවන්නන් හසුරුවන එක, පන්දු රකින්නන් ස්ථානගත කරන එක, ලකුණු අඩුවෙන් තියාගන්න එක තමයි මට ලැබුණු අවස්ථාව. ඒ අවස්ථා මට ලැබුණාම මගේ වගකීම තමයි මම ඒක භාර අරගෙන මම ඒක කරන එක. මම ඒක කරලා පෙන්නුවා. එකොළොස් දෙනෙක්ව මෙහෙයවලා ලකුණු 250 කට දකුණු අප්‍රිකාණු පිල සීමා කරලා පෙන්නුවා. ඊට පස්සේ මට අයෙමත් අවස්ථාවක් ලැබුණා. විස්සයි විස්ස මැච් එකකදි අපි 130 ක් ගැහුවා. අනෙක් හැම රටක්ම විස්සයි විස්ස තරග වලදී 180 ක් 200ක් ගහන කාලයක අපි එදා ගැහුවේ 130 යි. මම ඒ 130 පන්දු යවන්නෝ, පන්දු රකින්නෝ මෙහෙයවලා ආරක්ෂා කරලා දුන්නා. දික්වැල්ලගේ ඉලක්කය වැරදුණු නිසා ඒ මැච් එක අන්තිමට දකුණු අප්‍රිකාව එක්ක සම වුණා. මම මගේ කාර්යය කොහොමද කළේ කියන කාරණය මගේ හිත දන්නවා. හැබැයි පිතිකරුවන් දෙදෙනෙක් ක්‍රීඩා කරන කොට මම පිටිය මැද නැහැ. එතකොට ඒ දෙන්නව මෙහෙයවන්න මට හැකියාවක් නැහැ. මොකද මේවා දුරස්ථපාලකවලින් කරන දේවල් නෙමෙයිනේ. මගේ දැනුම මට භාවිත කරන්න පුළුවන් 11 දෙනා මගේ ළඟ ඉන්නකොට විතරයි. නැත්නම් මගේ දැනුම පිතිකරුවන්ට ලබා දෙන්න මට හැකියාවක් නැහැ. ඒකට හේතුව ඔවුන් පිතිකරණයේ නියැලෙද්දි මම එතැන නැහැ. ඒ නිසා තමයි විශේෂඥ දැනුමක් තියෙන උදවිය ඒකට යොමු කරලා තියෙන්නේ. එතකොට ඒ ඒ වාතාවරණයන්ට උචිත අයුරින් පිතිකරුවන්ව හදල නැති එක මගේ වරදක්ද? එහෙමත් නැතිනම් ඒක භාරදීලා තියෙන කට්ටියගේ වරදක්ද කියන එක තීරණය කරන එක ඔයගොල්ලන්ගේ වැඩක්. මීට අවුරුදු 5කට කලින් විස්සයි විස්ස ලෝක කුසලාන ලංකාව දිනාගන්නේ ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ. එදා ඒ ලබාදීපු නායකත්වය ගැන නිසි ඇගයීමක් ලැබුණා කියලා හිතනවද? විස්සයි විස්ස ලෝක කුසලානේදී නුවන් කුලසේකරයි, ලසිත් මාලිංගයි ‘වයිඩ් යෝකර්’ පන්දු යවනකම් ලෝකේ කවුරුවත් එහෙම පන්දු දාලා තිබුණේ නැහැනේ. ඊට පස්සේ තමයි ‘වයිඩ් යෝකර්’ කියන පන්දුව ආවේ. මම නායකත්වය භාරගන්න කලින් අපි විස්සයි විස්ස තරග ඕනෑ තරම් ගහලා තිබුණනේ. මම කණ්ඩායමේ වගකීම ගත්තේ මගදිනේ. මම භාරගත්ත දවස වෙනකම් කිසිම තරගයකදි අපි වයිඩ් යෝකර් දාලා තිබුණද? ඒ නිසා ඒවා පටන් ගත්තේ කවුද කියන කාරණා ගැනවත්, මම නායකත්වය දරපු එක ගැනවත් මම අමුතුවෙන් උත්තර බඳින්න යන්නේ නැහැ. අපි වැඩි හරියක් කතා කළේ පන්දු යැවීම සහ පන්දු රැකීම ගැනයි. කෙනෙක් කියන්න පුළුවන් මාලිංග නායකයෙක් විදිහට කතා කරන්නේ පන්දු යැවීම, පන්දු රැකීම කියන කාරණා ගැන විතරයි කියලා.? මට දෙන්න තියෙන්නේ හරි සරල උත්තරයක්. අපිට තීරණය කරන්න වෙනවා පිරිසක් එකම වෙලාවකදී මෙහෙයවන්න ලැබෙන්නේ පන්දු යවද්දිද, පන්දුවට පහර දෙද්දිද කියන එක. එතකොට ඒක කවුරුහරි බුද්ධියෙන් හිතුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේකෙදි වැඩිම පිරිසක් එක තැන එක වෙලාවේ සෙල්ලම් කරන්නේ කොයි අවස්ථාවේදීද කියලා. එහෙම වැඩි වෙලාවක් එක තැන එකට සෙල්ලම් කරන මනුස්සයෙක්ට පොඩි වෙලාවකදි දෙයක් කියලා දෙන්න බැරි කමක් තියෙනවද? ඕවා තමයි මං අහන ප්‍රශ්න. මම මේ කාවවත් විවේචනය කරනවා නෙමෙයි. මම දන්න ක්‍රිකට් ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ වත්මන් හැකියාව මත නායකත්වයට කරන්න පුළුවන් විශේෂ දෙයක් තියෙනවා කියලා ඔබ හිතනවද? හිතට එකඟවම උත්තරයක් දෙන්න? මම ක්‍රීඩකයන්ව අවතක්සේරු කරනවා නෙමෙයි. නමුත් මේක තමයි යථාර්ථය. අන්තිම අවුරුදු දෙක ගන්නකො. ඒ අවුරුදු දෙකේ පිට පිට 50 ඒවා තුනක් ගහපු ක්‍රීඩකයෙක් ඉන්නවා නම් මට කියන්න. මම හැරෙන්න, පිට පිට මැච් දෙකකදි විකට් දෙකක් ගානේ ගත්ත වෙන ක්‍රීඩකයෙක් ඉන්නවා නම් කියන්න. එතකොට තේරුම් ගන්න ඕනේ මෙතැන වැරැද්ද වෙලා තියෙන්නේ ලසිත් මාලිංගගේ නායකත්වයේද, එහෙමත් නැත්නම් ජාත්‍යන්තර තලයට හරියන ක්‍රීඩකයන් හදපු නැති එකේ ප්‍රශ්නයක්ද කියන එක. ඔබ මේ කියන්නේ නායකයා කියන්නේ මැජික්කාරයෙක් නෙමෙයි කියන එකනේ...? සරත් ෆොන්සේකාට පාසල් යන ළමයි ටිකක් ගෙනිහින් දුන්නා නම් යුද්දේ දිනන්නේ නැහැනේ. නිසි පුහුණුව දීලා හරි මිනිස්සු ටිකක්, නියම ආයුධත් එක්ක දීපු නිසා තමයි ඔහුට යුද්ධය දිනන්න පුළුවන් වුණේ. එහෙම නැතිව ෆොන්සේකා මහත්තයට යුද්ධ කරන්න අපි වගේ කිහිප දෙනෙක්ව දුන්න නම් මොකද වෙන්නේ? එහෙම වුණා නම් කොටි අපිට වෙඩි තියන්නේ නැතිව, ඇවිත් අපිව වඩාගෙන යනවා. එතකොට කල්පනා කරන්න ඕනේ මෙතැන ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ නායකයාගේද එහෙමත් නැත්නම් වෙන කොහෙ හරිද කියලා. ඒ වගේ සරල කාරණා පැහැදිලි කරන්න ගියාම අපි වැරදියි. නමුත් ක්‍රිකට් රැකගන්න නම් ඇත්ත කතා කරන්නත් ඕනේ. බොරු කියලා වැඩක් නැහැනේ. ඔබ කියන්න උත්සහ කරන්නේ ඔක්කොම දෝෂ නායකත්වය මත පටවන එක වැරදියි කියන එකනේ.. බාස්ලා කිහිප දෙනෙක් එකතුවෙලා වහලක් ගැහුවාම, පල කීයකට ගැහුවත් වහින වෙලාවට වතුර බහින්නේ පොඩි පීල්ලකින්. එතැනදි වතුර කාන්දු වුණොත් ඒක පිහිල්ලේ වරදක් නෙමෙයි. ඇත්තටම ඔබට තියෙන්නේ නායකත්වය ගැන ප්‍රශ්නයක් නෙමෙයි නම් මොකක්ද තියෙන ප්‍රශ්නේ..? මගේ නායකත්වය මට ප්‍රශ්නයක් නැහැ. මට තියෙන ප්‍රශ්නේ මේ ගොල්ලෝ කියනවා නම් ලසිත් මාලිංග ඉස්සරහින් ගියාට අනෙක් 14 මෙයාගේ ගාව නැහැ කියලා, අන්න එතැනයි මට තියෙන ප්‍රශ්නේ. එතකොට ලසිත් මාලිංගට ටීම් එක එක තැනකට ගන්න බැරි හේතුව කියන්නේ මගේ දක්ෂතාවට සහ මගේ දැනුමට අනිත් කට්ටිය නැති එකද? කොහොම වුණත් ඔබ ලෝක කුසලානට ක්‍රීඩා කරනවනේ.. එහෙම නේද? තාම තීරණයක් අරගෙන නැහැ. මුලින්ම ක්‍රිකට් ආයතනයෙන් අහලා බලන්න ඕනේ මේ වගේ තත්ත්වයක් තියෙද්දි ටීම් එක මට එකතු කරන්නත් බැරිනම්, මගේ දක්ෂතාවය අනෙක් අයට සමානත් නැත්නම්, මම නායකයෙක් වෙලා හිටියත් කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටියත් ඒ තත්ත්වය ඒ විදිහටම තියෙනවනේ. ඒ නිසා මේ වෙලාවේ අවශ්‍ය වන්නේ මම ටීම් එකෙන් ඉවත්වෙන එකද? එහෙමත් නැත්නම් නායකයා වෙනුවෙන්වත් පුහුණුකරු වෙනුවෙන්වත් ක්‍රිකට් නොගහන මම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමද කියන එක ඔවුන්ගෙන් අහලා ඒ අයගේ කැමැත්ත මත ඕනෑම තීරණයක් මම ගන්නවා. එයාලා කියනවා නම් ඔයා මේකට වැඩක් නැහැ කියලා. ‘බොහොම ස්තූතියි’ කියලා මම ඕනෑම වෙලාවක අයින් වෙන්න කැමැතියි. ක්‍රිකට් ආයතනය ගන්න ඕනෑම තීරණයකට මම එකඟයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ මගේ. ඒ කියන්නේ ලසිත් මාලිංග නායකයෙක් විදිහට නෙමෙයි, සාමාජිකයෙක් විදිහට කණ්ඩායමේ හිටියත් ඒක ගැටලුවක්ද කියලා ඔබ ක්‍රිකට් බලධාරීන්ගෙන් අහන්න බලාගෙන ඉන්නවා. ඒ අනුව ඔබ ඔබේ ලෝක කුසලාන සහභාගිත්වය තීරණය කරනවා? ඔව් අනිවාර්යයයෙන්. මොකද මොවුන් කියනවානේ අනෙක් 14 දෙනා මට එකතු කරගන්න බැරි වුණා කියලා. මම සංචිතයේ 15 දෙනා අතර ගියත් ඒ 14 දෙනාගේ මානසිකත්වය ඒකමනේ. එහෙම වුණොත් මම තනිවෙනවා. මෙච්චර කාලයක් වෙලා තියෙන්නේ පුහුණුකරුවෝ සහ අනෙක් අය මාත් එක්ක ඉඳලා නැහැ මං තනිවෙලා. ඒකනේ මම තනියමයි ඔවුන් වෙනමයි තරගයේ ගිහින් තියෙන්නේ. ඒ නිසා මම 15 ට ගියත් ඕකමනේ කතන්දරේ. ඒ නිසා මම ක්‍රිකට් ආයතනයෙන් අහන්න ඉන්නේ මේ සම්බන්ධයෙන්. මගේ කිසිම තරහක් නැහැ. මමත් කැමැතියි ලංකාවේ ක්‍රිකට් දියුණු වෙනවාට. තේරීම් කමිටුව මගේ දක්ෂතාව සැලකිල්ලට අරගෙන මාව ලෝක කුසලානට යන ශ්‍රී ලංකා සංචිතයට දාලා තියෙනවා. ලංකාවේ ක්‍රිකට්වලට මේ වෙලාවේ හොඳම දේ සාමුහිකත්වයෙන් යුතු කණ්ඩායමක් හදා ගැනීම නම් සහ ඒකට මම බාධාවක්නම් කිසිම ප්‍රශ්නයක් නැතිව මම අයින් වෙන්න කැමැතියි. ක්‍රිකට් ආයතනයෙන් කිව්වොත් එහෙම ප්‍රශ්නයක් ආවොත් අපි බලාගන්නම් ඔයා සෙල්ලම් කරන්න කියලා. පුහුණුකරු වෙනුවෙන්වත්, නායකයා වෙනුවෙන්වත් නැතිව මම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න සූදානම්. එතකොට කවදාද ඔය සාකච්ඡාව පවත්වන්න හිතාගෙන ඉන්නේ? දැන් මම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරමින් ඉන්නේ. ඒත් මේක හැකි ඉක්මනින් කරන්න ඕනේ දෙයක්. ඒ නිසා කඩිනමින් ඒ සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම මට පුළුවන් දේවල් කළා. අයිපීල් ඉඳන් ඇවිත් පළාත් තරගාවලිය ගැහුවා. ඒකේදී හොඳින් දක්ෂතා අතරට ආවා. ඒ නිසා ක්‍රිකට් ආයතනය ගන්න තීරණයක් තමයි. මේ හැම කතාවකටම මුල් වුණේ ලසිත් මාලිංග නමින් දාපු ෆේස් බුක් සටහනක්. ඔබ නමින් ෆේස්බුක් ගිණුම් කීයක් විතර තියෙනවාද? මම හිතන්නේ මගේ නමින් මං දන්නේ නැති ෆේස්බුක් ගිණුම් තිහ හතළිහකට වඩා තියෙනවා. ඒවායේ කියන දේවල් කිසිම දෙයක් මට අදාළ නැහැ. අවසාන වශයෙන්... මාලිංගගේ ක්‍රිකට් අනාගතය ගැන යමක් කීවොත්... මගේ ක්‍රිකට් අනාගතය තියෙන්නේ බෝලේ අතට ලැබෙනකම් විතරයි. මට කරපු දේවල් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.   ඉන්ද්‍රිජිත් සුබසිංහ
 

More News..