brand logo

මගේ ආසනේ අයට කසිප්පු ඕනේ

03 April 2021

කුඩා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනය කරන පුද්ගලයන් අත්අඩංගුවට නොගන්නා ලෙසට පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සහ අපනයන විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීව සිටි එරික් පෙරේරාට පවසන ආකාරය සඳහන් හඬපටයක් මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. ඒ අතරේ සහකාර පොලිස් අධිකාරීවරයාට සේවා මාරුවක්ද ලැබුණි. ඊට චෝදනා එල්ල වන්නේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍යා ඇමැතිවරයාටය. මේ, ඒ ගැන ඔහු කියන කතාවය. ඇමැතිතුමා, මොකක්ද මේ කසිප්පු කතාව? වෙන්නප්පුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ජනතා ප්‍රශ්නයක් මත තමයි ඔය ගැටලුව නිර්මාණය වුණේ. මත්කුඩු සම්පූර්ණයෙන්ම නැති කරන්න කියලා මම උපදෙස් දුන්නා වැටලීම් කරන්න. මහා පරිමාණයේ කසිප්පු අරගෙන ව්‍යාපාර කරන අය ඉන්නවා. ජාලයක් තියෙනවා. ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි කියලා මම කීවා. නමුත් දැන් පැතිරෙන්නේ වෙනත් කතාවක්. දංකොටුව කසිප්පු ජාවාරමට හරිම ප්‍රසිද්ධයිනේ... ඔව්, ඉස්සර විශාල වශයෙන් එහේ කසිප්පු පෙරුවා. වෙනත් ප්‍ර‍දේශයකට ගිහිල්ලා දංකොටුවේ කියලා කියන්නත් ලැජ්ජයි. මේක ගෘහ කර්මාන්තයක් ලෙසත් කළා, රා කර්මාන්තය සමග. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමාත් යාන්ත්‍රණයක් හදන්න කියලා පාර්ලිමේන්තුවේත් කීවා. එත​කොට ඔබේ මතයත් එයද? මම කීවේ මහා පරිමාණයෙන් කරන අය අල්ලන්න කියලා. මගේ ආසනයේ ගඩොල් පෝරණු 300ක් විතර තියෙනවා. උළු මෝල් තියෙනවා. කම්කරුවෝ විශාල පිරිසක් ඉන්නවා. මේ අයට තමයි කසිප්පු අවශ්‍ය. මේක ස්වයං රැකියාවක් ලෙස කරන්න දෙන්න කියා මම කීවේ නැහැ. ජනතාවට ස්වයං රැකියාවක් දීලා සුළු පරිමාණ කසිප්පු නිෂ්පාදනයෙන් මුදාගන්නා ලෙස මම ඉල්ලා සිටියා. එතකොට කොහොමද වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා මීට සම්බන්ධ වෙන්නේ? මම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කළ කතාවෙන් බාගයක් තමයි ප්‍රචාරය වුණේ. මෙම රැස්වීමේදී ඒ.එස්.පී. මහත්තයාත් පටලවා ගන්නවා. ස්වයං රැකියාවක් ලෙස කසිප්පු ව්‍යාපාරය කරන්න දෙන්න බැහැ කියලා. නමුත් ඔබ මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකරට ලිපියක් යොමු කළානේ සහකාර පොලිස් අධිකාරීවරයා මාරු කරන්න කියලා... එතුමා සම්බන්ධයෙන්ද චෝදනා තියෙනවා. මම කරපු චෝදනා නෙවෙයි. මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩු, මානව හිමිකම් කොමිසමේ තියෙන නඩු. තුවක්කු දාලා මිනිස්සු අල්ලලා තියෙනවා. කුඩා පරිමාණයෙන් කළ අයට හිරිහැර කරලා තියෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයා කසිප්පු ව්‍යාපාරය නතර කරන්න දරන වැඩපිළිවෙළ නිසා ජනතාව පීඩාවට පත්වෙලා. මම ඒක නිසයි ලියුමක් ලීවේ. කසිප්පු ව්‍යාපාරය නවත්වන්න කියලා ඔබ කියන්නේ අවංකවද? ඔව්. කසිප්පු ව්‍යාපාරය නැවැත්විය යුතුයි. කුඩා පරිමාණයෙන් කසිප්පු නිපදවන අය පුනරුත්ථාපනය කළ යුතුයි. මම කිසි ලෙසකින් කසිප්පු පෙරන්න ඉල්ලීමක් කළේ නැහැ. කසිප්පු නීතියට පටහැනියි. ඔබ සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ තිබූ විමර්ශන ඒකකයේ නිලධාරීන්ද මාරු කළානේ? නැහැ. මම ඉල්ලා සිටියේ මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා. මම මාරු කරනවා නම් එරික් පෙරේරා මහතාටත් කරන අසාධාරණයක්. මට එල්ල කරන චෝදනාවලට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා, පොලිස් දෙපාර්තමේන්තුවෙන් මොහු ගැන පරීක්ෂණ කරන්න. වෙන්නප්පුව ප්‍රදේශයේ ඔහු ජනප්‍රිය චරිතයක්නේ? ඔව්. ඔහු ජනප්‍රිය චරිතයක්. යුද්ධයේදීත් හොඳ නිලධාරියෙක් ලෙස වැඩ කළා. මට දැනුත් ප්‍රශ්නයක් නැහැ, පරීක්ෂණයක් කරලා නිදොස් නම් ඔහු යළි වෙන්නප්පුවේ සහාකර පොලිස් අධිකාරීවරයා ලෙස පත්කරන්න. මම මහජන ආරක්ෂක ඇමැතිට යවපු ලිපිය හා සහකාර පොලිස් අධිකාරීවරයාගේ මාරුව අතර කිසිදු සම්බන්ධයක් නැහැ. උදයජිව ඒකනායක
 

More News..