brand logo

මගේ ආදර කතාව අවසානයි

15 June 2020

සිහිනි ඇවිත් ලොකු කාලයක් ගතවෙන්නත් පෙරම ඔබේ සිහිනය ඇයම වුණා. හුරුබුහුටි හැඩකාර. කඳුළු බිංදුවක් තරම් අහිංසකයි. සිහිනිව ජීවත් කරවන්නේ ෂෙහානි කහඳවලමද කියලත් සමහරු ඇහුවා. අහිංසක සිහිනි ඇවිත් කෙටි කාලයකින් ඔබේ හිතට තට්ටු කරල නිහඬ වුණා. ඔන්න දැන් ආයෙමත් සිහිනි ඔබේ දෑස් මායිමට එන්න සුදානම් වෙනවා. ඒ අතරේ අපි ෂෙහානිව කතාබහකට මැදිකර ගත්තා. ලැබුණ විරාමයේ මොනවද කළේ? ගෙදරට වෙලා හිටියා. විශේෂයක් නැහැ. මම ආසයි විවිධ රටවල නිපදවුණ දීර්ඝ ටෙලිනාට්‍ය නරඹන්න. නිදහසක් ලැබුණම ඒව බලනව. ඔය වගේ නිදහසක් ලැබුණම යෙදෙන දේවල් එක්ක කාලය ගතවුණා. වැඩ නැතිව ගෙදරට වෙලා ඉන්න එක ආර්ථිකයට බලපෑවෙ නැතිද? මට නම් ලොකුවට බලපෑමක් ඇතිකළේ නැහැ. මොකද මම ගෙදර අය එක්ක ඉන්න නිසා මුදල් පැත්තෙන් මට ලොකු වගකීම් නැහැ. සාමාන්‍ය ජීවිතයේ කරගෙන ගිය වැඩ ගොඩක් අතරමග නතර වුණාද? සමහරක් සිහිනි ටෙලි නාට්‍යයේ කටයුතුනෙ මේ දවස්වල කරගෙන ගිය ප්‍රධාන කාර්ය වුණේ. ඒක නතර කළා. ඒ හැරුණම මම ජිම් එකට එහෙම යනව. ඒ දේවල් නතර වුණා. සාමාන්‍යයෙන් මම ගෙදරට වෙලා පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ඒ නිසා ගෙදරට වෙලාම ඉන්න වුණ එක ලොකු වෙනසක් විදිහට දැනුනෙත් නැහැ. ෂෙහානි සිහිනි ටෙලි නාට්‍යයට එන්නෙ දිගු රංගන විරාමයකින් ඉක්බිතිව නේද? ඔව් අවුරුදු දෙකකට විතර පස්සෙ තමයි මම ටෙලි නාට්‍යයක රඟපාන්නෙ. ඇයි මේ විදිහට නිහඬ වෙලා හිටියෙ? විශේෂ හේතුවක් තිබුණෙ නැහැ. පහුගිය කාලයෙ මම ලංකාවෙ හිටියෙ නැහැ. ඔබ ලංකාවෙන් පිට වෙලා උන්නෙ පෞද්ගලික කාරනා නිසාද? ඔව්. පෞද්ගලික හේතුවක්. ඒ කියන්නෙ මම රට රටවල් කිහිපයක ඇවිදින්න ගියා. මොකද මගේ නෑදෑයො ගොඩක් විදේශ රටවල පදිංචි වෙලා ඉන්නව. ඒ නිසා මට ඕනම වෙලාවක ඒ රටවල් වලට යන්න පහසුකම තියෙනව. ඒ නිසා ලැබුණ අවස්ථාවල සංචාරයේ යෙදුණා. තම නිර්මාණවලින් අලුත් චරිත හඳුන්වා දෙන ශාන්ත සොයිසා මේ ටෙලි නාට්‍යයේ ඔබට අවස්ථාව ලබාදුන්නෙ විශේෂ හේතුවක් නිසාද? ඇත්තටම ශාන්ත සොයිසා මහත්මය ඔහුගේ නිර්මාණවල ප්‍රධාන චරිතවලට යොදාගත්තෙම අලුත් අය. මම මේ වෙද්දි ටෙලි තුනක රඟපාල තියෙන කෙනෙක්. නමුත් වසර දෙකක පමණ කාලයක් රඟපාන්නෙ නැතිව සිටි නිසා ඔහු තීරණය කරල තිබුණා සිහිනි වෙනුවෙන් මාව සම්බන්ධ කරගන්න. මේක ඔබට විශේෂ අවස්ථාවක්ද? ඇත්තටම මට විශේෂයි. ඒ මම කාලයක් වැඩ නොකර ඉඳල ලැබුණ නිර්මාණය වීමත් ශාන්ත සොයිසා මහත්මයාගෙ නිර්මාණයක වැඩ කරන්න ලැබීම යන කාරණා නිසා. නිහඬව ගිය කාලයේ ජනප්‍රියත්වයත් අඩුවෙලා ගියාද? මම හිතන්නෙ නැහැ. මම මිනිසුන් අතරට ගියේ සුජාතා ටෙලි නාට්‍යයෙන්. ඒකට මට තවමත් ප්‍රතිචාර ලැබෙනව. ෂෙහානිත් සිහිනි වගේම පෙම්වතියක්ද? නැහැ. පෙම්වතෙක් හිටියා. මේක ගැන මම ගොඩක් පත්තරවලට කියලා තියෙනව. දැන් ඒ ආදර කතාව අවසන්. ෂෙහානිගෙ හිත නතර වෙන්නෙ මොනවගේ රුවක් ළඟද? ලස්සන සුදු උස කොල්ලෙක්ට මම කැමතියි. සිහිනි ටෙලි නාට්‍යයේ සෙනෙහස් ඒ වගේ ලස්සන සුදු උස කොල්ලෙක් නේද? සෙනෙහස් ආදරය කරන්නෙ සිහිනිටනේ. අනික සෙනෙහස් ආදරණීය පෙම්වතෙක් විදිහට හිටියට එයා කරන්නෙ බොරුවක්නෙ. ෂෙහානි හිතන විදිහෙ පෙම්වතෙක් ලැබුණොත් ළඟදීම විවාහ වෙනවද? මම දැන්ම විවාහ වෙන්නෙ නැහැ. ගැහැනු ළමයි විදිහට අපි වයස දහනවය විතර වෙනතුරු ඉගෙන ගන්නව. දෙමව්පියො යටතේ ඉන්නව. වයස විස්සක් විතර වෙත්දි අපි සමාජයට ඇවිත් ස්වාධීන ජිවිතයක් ගොඩනගා ගන්නව. ආයෙත් විවාහ වුණාට පස්සෙ තියෙන්නෙ වෙනම ලෝකයක්. අපි ඒ බැඳීමත් එක්ක ඉතිරි ජීවිත කාලයම ඉන්න ඕනෙ. තරුණියක් විදිහට සමාජයට බැහැපු ගමන් මම කැමති නැහැ විවාහ බැඳීමකින් ආයෙත් ජිවිතය සිරකර ගන්න. වරදවා වටහා ගන්න එපා මම කියන්නෙ නැහැ තරුණියක් දෙමාපියන් යටතේ බිරියක් ස්වාමියා යටතේ ඉන්න එක වැරදියි කියල, මගේ කැමති විදිහ ගැනයි මම කිව්වෙ. ෂෙහානිටත් කටකතා හැදිල තියෙනව නේද? වෙන්න ඇති. ඒත් මම ඒ එකක්වත් ගනන් ගන්නෙ නැහැ. ඇත්තටම මට ඒව අහත්දි හිනහ යනව. පහුගිය කාලයේ කටකතාවක් පැතිරිලා මම වයස තිස්පහක කාන්තාවක් මට අවුරුදු පහළවක ළමයෙකුත් ඉන්නව කියල. ඇත්තටම මම පොඩි වයසක. මං වගේ කෙනකුට ඔය වගේ කතා කියත්දි හිනහ වෙනව හැර මොනව කරන්නද. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..