brand logo

මගේ ආදරේ කාටවත් විකුණන්නේ නෑ

13 July 2021

ක්ෂේත්‍රයේ ඉන්න හැමෝටම විවිධත්වයකින් යුතු චරිත රංගනයේ යෙදෙන්න අවස්ථා ලැබෙන්නේ නෑ. විවිධ චරිත රංගනයන්ගෙන් ප්‍රේක්ෂකයන්ට හමුවෙන රංගන ශිල්පිනියන් අතරේ වොල්ගා කල්පනීත් කොටස්කාරියක්. ජීවිතයේ කොතරම් හැලහැප්පීම් ආවත් වොල්ගා තමන්ගේ අරමුණට යන ගමන අතහැරලා නෑ. ඒ යන ගමන ගැන කියන්නත් එක්ක ඇය අපේ කතාබහට එකතු වුණා.

එකකට එකක් වෙනස් චරිත රංගනයන්ගෙන් ඔබව මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා?

ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ හදවිල අරණ ටෙලි නිර්මාණයේ නෙත්මිගේ චරිතයෙන් සහ සිවගුරුනාදන් මහත්මයා අධ්‍යක්ෂණය කරන පාරදිගේ ටෙලි නිර්මාණයේ ටුටුගේ චරිතයෙන් තමයි මාව මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට මුණගැහෙන්නේ. හදවිල අරණ නාට්‍යයේ නෙත්මි කියන්නේ ගායකයෙක්ට ආදරය කරන පෙම්වතා වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න හදන චරිතයක්. පාරදිගේ ටුටු කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා, තිරපිටපත් රචකයා, කලා අධ්‍යක්ෂවරයා, වේෂ නිරූපණ ශිල්පියා කියන සියලු දෙනාගේ එකතුවක් විදිහට තමයි ටුටුගේ චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ. මමත් ඒ ටුටුගේ ස්ටයිල් එකට ආසයි. තාම නාට්‍යයේ කොටස් කිහිපයයි විකාශය වෙලා තියෙන්නේ. හැබැයි නාට්‍ය වගේම ටුටුගේ චරිතයත් සෑහෙන ඉක්මනින් ජනප්‍රිය වුණා.

ටුටුගේ හැසීරිම් රටාවට අනුගත වෙන්න පහසු වෙන්න නැතුව ඇති?

සාමාන්‍ය ජීවිතේ මගෙ ගතිවලින් කිසිවක් ටුටුගේ චරිතයේ නැහැ. ඒ නිසා ඒ චරිතයට අනුගත වෙන්න සෑහෙන අමාරු වුණා. සිවගුරුනාදන් මහත්මයා හැම වෙලාවෙම ඒ චරිතයේ ස්වභාවය මට කොටලා පොවනවා වගේ සැරින් සැරේ මතක් කරනවා. හැම වෙලාවෙම නහය උඩට අදින පුරුද්දක් ටුටූට තියෙනවා. සමහර වෙලාවට රූගත කිරීම් ඉවර වුණත් පුරුද්දට මම නහය උඩට අදිනවා. ඒ තරම් දැන් මමත් ඒ චරිතයට ඇබ්බැහි වෙලා.

සමහර අවස්ථාවලදි ටුටූ ගැන හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි ප්‍රේක්ෂකයන්ට ගොඩනැගෙන්නේ?

ඔව්. නමුත් අපි දකිනවා සද්ධා මංගල අයියගේ පිටපත්වල හැම චරිතයකින්ම ආදර්ශයක් දෙන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් නහයට කරාබුවක් දාලා ටැටූ එකක් කොටලා ඉන්න කෙනෙක් දැක්කම ඒ අයව සමහර අය දකින්නේ ඒ ඉන්නේ නරකම කාන්තාවෝ හැටියට. හැබැයි ඒවගේ අය අනෙක් අයටත් වඩා හොඳ වෙන්න පුළුවන්. ටුටූත් ඒවගේ. පෙනුමෙන් නරක වුණාට ටුටූ නරක නැහැ. පහුගිය දවස් ටිකේම ගොඩක් අය මගේ ෆේස්බුක් පේජ් එකටත් මැසේජ් එව්වා බණ්ඩාගෙන් ගත්ත සල්ලි ටික දෙන්න කියලා.

හදවිල අරණේ නෙත්මි ආදරය වෙනුවෙන් බොහෝ දේ කැපකරන කෙනෙක්. ඇයගෙයි ඔබෙයි සමානකම් තියෙනවද?

නෙත්මියි වොල්ගයි සමාන වෙන්නේ නම් හිතුවක්කාරකම කියන කාරණයේදි. මට සාමාන්‍යයෙන් දෙයක් ඕන කියලා හිතුණොත් ඒක ඕනෙමයි. නෙත්මි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒ ගායකයාව අයිති කරගන්න. නමුත් සැබෑ වොල්ගා ඊට වඩා ජීවිතය තේරුම් ගත්ත කෙනෙක්. ආදරය කරන කෙනා හොඳින් ඉන්න එක තමයි මට වැදගත්. කිසිම තරහක් මගේ හිතේ ඇතිවෙන්නේ නෑ කිසිම කෙනෙක් සම්බන්ධව. ආදරයේදි මම සියයට සියයක් අවංකව ඉන්නවා.

කතාවක් තියෙනවානේ හොඳටම දන්න කෙනා ආශ්‍රය කරන්න ලේසියි. පොඩ්ඩක් දන්න කෙනා ආශ්‍රය කරන්නයි අමාරු කියලා

රංගනය ක්ෂේත්‍රය ඇතුළේ කෝන්තර තියාගෙන ඉන්න පුළුවන්ද?

මාත් එක්ක කිසිම කෙනෙක් මේ වෙනකල් තරහා වෙලා නැහැ. ගොඩක් ප්‍රවීණයන්ව මම ඇසුරු කරනවා. මට අර නළුවා මේ නිළිය අර අධ්‍යක්ෂකවරයා එක්ක වැඩ කරන්න බෑ කියලා දෙයක් නෑ. මේ ක්ෂේත්‍රය ගැන සමහරු බොරු කතා කියනවා. ප්‍රවීණ නවක ශිල්පීන් අතර ප්‍රශ්නයක් තියෙනවා කියනවා. ඒත් ඒක අමූලික බොරුවක්. ප්‍රවීණයෝ තරම් අපිට උදව් කරන කවුරුවත් මම දැකලා නැහැ. කතාවක් තියෙනවානේ හොඳටම දන්න කෙනා ආශ්‍රය කරන්න ලේසියි. පොඩ්ඩක් දන්න කෙනා ආශ්‍රය කරන්නයි අමාරු කියලා. මට නම් මේ ක්ෂේත්‍රය ඇතුළේ කාත් එක්කවත් කිසිම කෝන්තරයක් නෑ.

මම කියන්නේ කාටවත් අපේ වටිනාකම තීරණය කරන්න දෙන්න හොඳ නෑ. අපිට හරි වටිනාකමක් අපි හදාගන්න ඕනේ

වොල්ගාට රඟපෑමෙන්ම ජීවත් වෙන්න පුළුවන්ද?

එහෙම ජීවත් වෙන්න අපහසුයි කියලා දැන් නම් ටිකක් දැනෙනවා. ක්ෂේත්‍රයට ඇවිත් මුල් අවුරුදු පහේ හම්බ කළ දේවල්වලින් තමයි වාහනයක් ගත්තේත්. අපේ වැඩ කරගත්තෙත්. හැබැයි දැන් අපි නාට්‍යයක රගපාන්න ගාණක් කිව්වම ඊට වඩා දෙගුණයකටත් වඩා අඩු මුදලකට රඟපාන්න අය ඉන්නවා. සමහර වෙලාවට අපි ගාණක් කිව්වම අපිට ඒ වැඩේ නැති වෙනවා. සමහරු තමන්ට හරි වටිනාකමක් තියාගන්න දන්නේ නෑ. ශලනි, තිසුරි වගේ අය තමන්ගේ තත්ත්වය රැකගෙන ක්ෂේත්‍රයේ ඉන්නවා. මම කියන්නේ කාටවත් අපේ වටිනාකම තීරණය කරන්න දෙන්න හොඳ නෑ. අපිට හරි වටිනාකමක් අපි හදාගන්න ඕනේ. ඔය ප්‍රශ්න කතා කරන්න ගියාම කියන්නේ නාට්‍යවලට ගෙවන ගාණ අඩුයි කියලා. මේවා ඉතිං කෙළවරක් නැති ප්‍රශ්න. ආසාව එක්ක මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා.

වොල්ගා දැන් ආදරය විඳින කෙනෙක්ද?

මම ආදරය තියලා තියෙන්නේ බොහොම පිරිසුදු තැනක. ඒක මගෙන් කාටවත් උදුරාගන්නවත් මම ඒක කාටවත් විකුණන්නෙවත් නෑ.

ඔය හැමදේටම කලින් මගේ මනස හදාගන්න ඕනේ හරියට. මම සාමාන්‍යයෙන් ඕනවට වඩා දේවල් ගැන හිතන කෙනෙක්

විවාහයකින් ජීවිතය අලුත් කරගන්න අදහසක් නැද්ද?

ජීවිතය කොළයකින් අලුත් කරගන්න නම් බලාපොරොත්තුවක් නෑ. විවාහ වෙලා සතුටින් ඉන්න අය ගැන සතුටුයි. මටත් සහකාරයෙක් ඕනේ, අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතුණ අවස්ථා තියෙනවා. ඔය හැමදේටම කලින් මගේ මනස හදාගන්න ඕනේ හරියට. මම සාමාන්‍යයෙන් ඕනවට වඩා දේවල් ගැන හිතන කෙනෙක්. ඒ නිසා බලමු මොකද වෙන්නේ කියලා. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..