brand logo

මගේ ආදර්ශය හර්දික් පාණ්ඩියා

28 August 2021

දින හතරක් ඇතුළත ක්‍රීඩා තුනකින් ශූරයා වුණා

සිනමාවට ආරාධනාවක් ලැබු‍නොත් හිතලා බලන්න පුළුවන්

රාජකීය ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයා

මගේ ආදර්ශය හර්දික් පාණ්ඩියා

දඟකාර කමට කරපු මෝඩ වැඩ වැඩියි

හර්දික් පාණ්ඩියා දුන්න බැට් එක ගොඩක් වටිනවා

චාමික කරුණාරත්න කියන්නේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙ ක්‍රීඩා තුනක් නියෝජනය කරන්නට සමත් 25 හැවිරිදි ක්‍රීඩකයෙක්. චාමික කුඩා කළ මෙරට කනිෂ්ඨ හෙල්ල විසිකිරීමේ සමස්ත ලංකා සූරයායි. ඉන් පසුව කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ට මට්ටමෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ හිණිපෙත්තටම යන්නටද සමත් විය. මේ කාලයේ ඔහු කාගේත් අවධානය දිනා ගෙන තියෙන්නේ ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නා ලෙසින්. ඒ වගේම ශ්‍රී ලංකාවේ අංක එකේ බැට්මින්ටන් ශූරයන් වන නිලූක, දිනූක සහ දිලුක කරුණාරත්න ඔහුගේ අනෙක් සහෝදරයන් වෙයි.

අපි ළමා කාලයෙන්ම කතාව පටන් ගමු?

මගේ තාත්තා ලුසී කරුණා රත්න බැට්මින්ටන්, පිහිණුම් සහ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මගේ අම්මා නෙට්බෝල් ක්‍රීඩිකාවක්. මගේ අයියලා තුන්දෙනාම බැට්මින්ටන් ක්‍රීඩකයෝ. ලොකු අයියා නිලූක ලෝකයේ හොඳම බැට්මින්ටන් ක්‍රීඩකයෝ 50 දෙනා ඇතුළේ ඉන්නවා.

කොල්ලොම හතරක් ඉන්න පවුලේ බාලයානේ චාමික, කොහොමද ගෙවුණු ළමා කාලය

පොඩි කාලේ කියන්නේ ඉතින් ලොකු අයියා මට වඩා අවුරුදු 11ක් වැඩිමල්. දෙවැනි අයියා 10ක් සහ තුන්වෙනි අයියා 9ක් වැඩිමල්. ඒ නිසා මම ඒ අයට වඩා ගොඩක් පොඩි නිසා මගේ තිබ්බ දඟකාරකමට කරපු මෝඩ වැඩ තමයි තියෙන්නේ. නරක වැඩ කරලා නැහැ. ඒ අයගේ පෑන් පැන්සල් පොත් අවුස්සනවා. නිදාගන්න ගියාම ෆෑන් එක ඕෆ් කරලා, එහෙම නැත්නම් අයියලට වතුර ගහනවා වගේ වැඩ. තව අයියලාගේ දේවල් කඩලා බිඳලා දාන නිසා ඒ අයගෙන් හැමවෙලේම ගුටි කාපු එක තමා මම කරේ. ඇත්තම කියනවා නම් ඩර්ඩන්ස් හොස්පිටල් එකේ මගේ නම රෙජිස්ටර් වෙලා තිබ්බේ ඔළු පැලිලා, අත් තුවාල කරගෙන, උණ හැදිලා එහෙම සතියකට සැරයක් දෙසැරයක් එහෙ යන නිසා. දැන් නම් ඒ දේවල් මතක් වෙද්දීත් සුන්දරයි.

පාසල් කාලයේ ක්‍රීඩා ගැන මතක සටහන් මොනවද?

පාසලේ තුන වසරේ ඉඳන්ම ක්‍රීඩාව එක්ක සම්බන්ධ වෙලා සම්මාන සහතික ලබපු හොඳම ක්‍රීඩකයෙක්. 11න් පහළ සමස්ත ලංකා චැම්පියන් වෙනවා බැඩ්මින්ටන් වලින්. අට වසරේදී තමා හෙල්ල විසි කිරීමේ තරගවලට යොමු වෙන්නේ. ඒ අනුව අවුරුදු 14න් පහළ සමස්ත ලංකා පළවෙනියා වෙනවා. ඊට පස්සේ මම ක්‍රිකට් වලට එන්නේ 7 වසරේදී. 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමට මම තේරෙනවා. අවුරුදු 11න් පහළ සිට 19න් පහළ දක්වා පැවති හැම සමස්ත ලංකා තරගකින්ම බැඩ්මින්ටන්වලින් මම දිනලා තියෙනවා. මලල ක්‍රීඩා වලින් 14,15,16,17න් පහළ තරග වලදී හෙල්ල විසිකිරීමේ තරගවලින් ශ්‍රී ලංකාවේ අංක එක වෙලා වාර්තාවක් තියෙන්නේ මම. 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමට මම සෙල්ලම් කළා. 15න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් වෙනවා. අවුරුදු 20කට පස්සේ මට පුළුවන් වෙනවා මගේ නායකත්වය යටතේ අපේ කණ්ඩායමට චැම්පියන් වෙන්න.

අමතක නොවන මතකයන් ඇති?

කොළඹ රාජකීය විදුහලේ ඉතිහාසය අරන් බැලුවම බිහිවෙලා ඉන්න හොඳම ක්‍රීඩකයා ලෙස නම් කෙරෙනවා. මම ශ්‍රී ලංකාවේ තැබූ වාර්තාව තමා දින හයක් ඇතුළත මම ක්‍රීඩා කරපු ක්‍රීඩා තුනෙන්ම මම පළවෙනියා වීම. මුලින්ම සෙනසුරාදා දවසක 17න් පහළ බැඩ්මින්ටන් තරගාවලියේ චැම්පියන් වෙනවා. ඊට පස්සේ අඟහරුවාදා ක්‍රිකට් කණ්ඩායම අවුරුදු 20කට පස්සේ රාජකීය විද්‍යාලය දිනනවා. ඊට පස්සේ සිකුරාදා මම හෙල්ල විසිකිරීමේ තරගෙන් ශ්‍රී ලංකාවෙන් අංක එක වෙනවා වාර්තාවක් සමඟින්. ඒක තමා දැනට ලංකා ඉතිහාසයේ එකම ක්‍රීඩකයෙක් ක්‍රීඩා ඉසව් තුනකදී පළමුවැනියා වුණු. ඒවගේම 2013 මම බැඩ්මින්ටන් කැප්ටන් වෙනවා. 2014දී ක්‍රිකට් කැප්ටන් වෙනවා. 2015 දී මලල ක්‍රීඩා කැප්ටන් වෙනවා. මම තමා අපේ පාසලේ කලර් නයිට් එකේ මෙරිට් එකේ ඉඳන් අන්තිමට හම්බෙන්න රෝයල් ක්‍රවුන් එක දක්වා හම්බෙන්න ඕනේ ඔක්කොම පදක්කම් ලබා ගත් එකම ක්‍රීඩකයා. රෝයල් ක්‍රවුන් එක තමා අපේ පාසලේ ක්‍රීඩාවෙන් ගන්න පුළුවන් ඉහළම පදක්කම. ඒක මම දෙපාරක් ගන්නවා බැඩ්මින්ටන් වලින් සහ ක්‍රිකට්වලින්.

මෙතෙක් අපි කතා කරේ චාමිකගේ ක්‍රීඩාව ගැනනේ, කොහොමද කලා විෂයන්ට තියෙන ආසාව

මම පාසෙල් අට වසරේ ඉඳන්ම කරේ නාට්‍ය හා රංග කලාව විෂය. ක්‍රීඩාවට වගේම මම නර්තනයට සහ නාට්‍යයවලට කැමතියි. පාසලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. නටන්න තියෙනවා නම් මම ඒ ඕනෙම තැනකදී ඕනෙම වේලාවකදී හරි සතුටෙන් නටන කෙනෙක්.

ආරාධනාවක් ආවොත් ටෙලි නිර්මාණයකට හෝ සිනමා නිර්මාණයකට ආරාධනා ආවොත් ඒ ගැන සලකා බලනවද?

සිනමා නිර්මාණයකට ආරාධනාවක් ආවොත් නම් ඒ ගැන හිතනවා. මොකද මම පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපට බලන සිනමාවට ආදරය කරන කෙනෙක්. ඒ නිසා මම කැමතියි ආරාධනාවක් ආවොත් සිනමාවට සම්බන්ධ වෙන්න. ටෙලි නිර්මාණවලට නම් දායක වෙන්න කැමති නැහැ.

පසුගිය ඉන්දීය තරග සංචාරය එක්ක චාමික ගැන බොහෝ දෙනෙක් කතා කරා, ක්‍රිකට් එක්ක තියෙන මතකයන් මොනවද?

4ක්‍රිකට් ගැන කතා කරද්දී අමතක නොවන අත්දැකීම තමා අපි අවුරුදු 7ක් පරාද වෙමින් තිබුණු බිග් මැච් එක 2013 දී දිනපු මොහොත. එතනදී මම විකට් 9ක් ගන්නවා. එදා තරගයේ වීරයා වෙනවා. ඒ දස්කමින් තමා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකයා වෙනවා. ඊට පස්සේ ඉන්දියාවේ ගිහින් මම ලබා ගත්ත පළමු විකට් 5 මට අමතක වෙන්නේ නැහැ. තුන්වෙනි අමතක නොවන අත්දැකීම තමා පසුගියදා නිමාව දුටු ඉන්දීය ශ්‍රී ලංකා තරග සංචාරයේදී ලකුණු අවශ්‍යම වෙලා තිබුණු මොහොතක අවසන් ලකුණු හය අරගෙන T 20 තරගය දිනපු එක.

ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව ක්‍රීඩක හර්දික් පාණ්ඩියාගෙන් ලැබුණු සුවිශේෂී තෑග්ග ගැනත් මතක් කරමු ද?

ක්‍රිකට් ක්‍රීඩාවේ මම ආදර්ශයට ගන්නා පුද්ගලයා වෙන්නේ හර්දික් පාණ්ඩියා. ඉතින් ඔහුගෙන් පිත්තක් ලැබීම මට බෙහෙවින්ම සතුටට කරුණක්. විශේෂයෙන්ම මාගේ මංගල පන්දුවාර විස්ස තරඟයේදී ලැබුණු මෙම අගය කිරීම මට කොහොමත් විශේෂයි. ඒ දිනය මට කිසි දිනක අමතක නොවන දිනයක්. ඒ වගේම තමා හර්දික් පාණ්ඩ්‍යා සතු ඒ මානුෂීය ගුණාංගත් කිසි දිනක අමතක නොවන මතක අතරට එකතු වෙනවා.

ඒ ලැබුණු බැට් එක හොදම බැට් එකක් කියන්නේ ඇයි?

ඒක මගේ බැට් එකට වඩා Great එකක් දෙකක් විතර හොඳ බැට් එකක්.

හර්දික් පාණ්ඩියා ඇයි චාමිකට බැට් එකක් දුන්නේ, මේ සිද්ධියේ මුල මොකක් ද?

ඉන්දීය කණ්ඩායමේ ඉන්න සූර්යකුමාර් යාදෙව් එක්ක කතා කර කර ඉන්නකොට තමා මම කිව්වේ හර්දික් පාණ්ඩියාගෙන් බැට් එකක් ඉල්ලන ආසයි කියලා. ඊට පස්සේ එයා ඒක හින්දියෙන් හර්දික් පාණ්ඩියාට කිව්වට පස්සේ එයා ඇහුවා බැට් එකක් ඕනේ ද කියලා. ඒත් පලවෙනි පාර මම එපා කිව්වම. ආයේ ඇහුවා අලුත් බැට් එකක් තියෙනවා ඕනෙද කියලා. එතකොට මම හා කිව්වම මට ඒක දුන්නා. එහෙම සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. මම කලින් තරගෙදි හොඳින් ක්‍රීඩා කරපු විදිය දැක්ක නිසා තමා මට දුන්නේ.

බැට් එක දුන්නට පස්සේ මොකද කිව්වේ?

හොඳට සෙල්ලම් කරනවා. ෆිට්නස් වුණත් හොඳයි. කල්පනාවෙන් ක්‍රීඩා කරන්න. දවසින් දවස ඉස්සරහට යන්න කිව්වා.

චාමික වැඩියෙන් කැමති මොන ක්‍රීඩාවටද?

මම කැමතිම බැඩ්මින්ටන් ක්‍රීඩාවට. නමුත් දැන් නම් බැඩ්මින්ටන් සෙල්ලම් කරන්නේ නැහැ. ක්‍රිකට්වලට තමා කාලය යොදවලා තියෙන්නේ.

අපි කතා කරොත් පෞද්ගලික තොරතුරු ටිකකුත්, මේ වෙද්දී ආදරවන්තයෙක් ද?

ආදරයක් තියෙනවා.

එයා ගැන ඉඟියක් දෙමුද?

මම එහෙම ඉඟි දෙන්න කැමති නැහැ. මෙහෙම කියන්නම් ක්‍රීඩාවට කිසිසේත් සම්බන්ධ කෙනෙක් නෙවයි.

ළඟදීම මංගල සීනු හැඩවෙයිද?

අපෝ නැහැ. තව අවුරුදු දෙක තුනක් යයි ඒ දේවල්වලට.

සංචාරය කරන්න කැමති රට කොහෙද?

එංගලන්තයට සහ ඇමරිකාවට තමා මම කැමති අනුෂා රණසිංහ
 

More News..