brand logo

මගේ අමාත්‍යාංශයේ ළමයි ඒ ලියුම යැව්වේ රට දැනුවත් කරන උතුම් චේතනාවෙන්

11 May 2019

සභානායක ලෙස වගකීම් දරන ඔබ අමාත්‍යාංශ නිලධාරින් තිදෙනකු ලවා ‘කැලෑ පත්තර’ ගැසූ බවට එල්ලවෙන චෝදනාව ඉතා බරපතළයි නේද? මේක කැලෑ පත්තරයක්ය කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක පන්සල්වලට ලියපු ලියුමක්. පන්සල්වලට කැලෑ පත්තර යවන සම්ප්‍රදායක් අපට නෑ. අනික මේ ලියුම අපට පක්ෂ හෝ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරින්ට යවපු ලියුමකුත් නෙවෙයි. පොලිසිය ලකුණු දාගන්න කරපු වැටලීමක් මිසක් වෙන මොකුත් මේකෙ නැහැ. කැලෑ පත්තරයක් නොවේ නම් මේ ලිපිය යවන්න උත්සාහ කිරීමේ අරමුණ මොකද්ද? මගේ දේශපාලන ජීවිතය පුරා මම හැමදාම මාධ්‍ය ඒකකයට කියලා තිබුණා රටට අදාළ ‘‘ගවේෂණාත්මක ලිපි හෝ ප්‍රවෘත්ති’’ යම් ජනමාධ්‍යයකින් පළ වුණාම ඒවා වැදගත් යැයි හිතනවා නම් ඒවා විශේෂිත පුද්ගලයන්ට හා විහාරවලට යවල රට දැනුවත් කරන්න කියලා. මෙතැනදී වෙලා තියෙන්නෙත් ඒකයි. ඒත් මේ ලිපිය මම දැක්කේ නෑ. මගේ අමාත්‍යාංශය තියෙන ගොඩනැගිල්ල ‘ත්‍රස්ත ටාගට්’ එකක් බව ප්‍රකාශ වීම නිසා මම ගෙදර ඉඳගෙනයි වැඩ කළේ. සිද්ධිය වුණාම මම ඔය ලිපිය කියෙව්වා. ඒකෙ ජාතික ආරක්ෂාවට අදාළ කිසිම දෙයක්, ජාතිවාදය, පටු ආගම්වාදය තබා කිසිම ආකාරයක මඩක් හෝ බොරු චෝදනා කිසිවක් ඇත්තේ නැහැ. කාටවත් දෝෂාරෝපණයක් කරලත් නැහැ. රාජ්‍ය විරෝධී කිසිවක් ඇත්තෙත් නැහැ. රටේ වත්මන් තත්ත්වය ගැන භික්ෂූන් දැනුවත් කිරීම විතරයි මේකෙ තියෙන්නේ. අනික මේක අපේ අය ලියපු දෙයකුත් නෙවෙයි. ඉතා ප්‍රචලිත ‘‘කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ’’ පළ වී රටම, ලෝකයම දැකපු ලිපියක සිංහල පරිවර්තනයකුයි මෙහෙම යවලා තියෙන්නේ. ඒ කාලේ රටේ හතරවැනි පුරවැසියා වන සභානායක තබා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනකුගෙවත් ලිපි කඩා නොබැලූ තැපැල් ස්ථානාධිපතිවරු අද ඔබේ ලිපි කඩා බැලීමෙන් කියැවෙන්නේ ආණ්ඩුවේ බලය ඒ තරමට පිරිහී, හෑල්ලු වි ඇති බවද? සැකයක් මතු වුණොත් ලිපි කඩා බැලීමේ අයිතිය ඔවුන්ට තිබිය හැකියි. ඒත් ඒ කාලේ මෙහෙම කෙනකුගේ ලිපි කඩලා බැලුවා නම් ‘‘සුදු වෑන්’’ එකෙනුයි යන්න වෙන්නේ. අපි නීතිය, යහපාලනය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා. අද ඒවා අපේ පස්සෙන්ම එනවද මන්ද? මේ රටේ ජනතාව හා ජනමාධ්‍ය ලැබුණු නිදහස භුක්ති විඳින්න දන්නේ නැති නිසා ඒවා අවභාවිත කරනවද කියලත් හිතෙනවා. ග්‍රීසියේ වහලුන්ට නිදහස දුන්නම ටික කාලෙකින් උන් නිදහස එපා කියලා තිබුණු වහල් බවම ඉල්ලුවා. ලංකාව වගේ උගත් දියුණු සමාජයකත් එහෙම මිනිස්සු ඉඳීම පුදුමයක්. අනික කැලෑ පත්තරයක් ඇතුළත් ලිපි 600 ක් අරන් ඒක තැපැල් කරන්න මධ්‍යම ලිපි හුවමාරුවට යන්න තරම් අපි මෝඩද? කැලෑ පත්තර නම් පාරේ තියෙන ‘‘රතුපාට තැපැල් පෙට්ටිවලට’’ රහසේ දාන්න තිබුණෙ නැද්ද? මේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනාගේ නඩුව භාරගත් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මාධ්‍යයට කළ ප්‍රකාශය තුළ ජනතාව දැනුවත් කිරීම මෙන්ම ‘‘තගරි’’ බවක් තිබූ බවට පළ වූ ස්ථාවරය ගැන මොකද කියන්නේ? ඔහු හෝ එජාපයේ කිසිම කෙනෙක් ‘තගරි ක්‍රමය’ බලහත්කාරකම හෝ බියගැන්වීම කරන්නේ නැහැ. ඔහු ජනමාධ්‍යට කිව්වේ රටේ නීතිය හා ව්‍යවස්ථාව අනුව ලිඛිතව හෝ වාචිකව අවශ්‍ය නම් විවේචනය කර ජනාධිපතිට පහර ගැසීමට ඕනෑම පුරවැසියකුට නීතියෙන් කිසිම බාධාවක් නැති බවයි. අනික මෙම ලිපියේ එවැනි විවේචනයක්, මඩක් හෝ ප්‍රහාරයක් නැති බවත්, පොලිසිය මේ නඩුව ඉදිරියට ගෙන ගියොත් අමාරුවේ වැටෙන්නේ ඔවුන් බවත්, රටේ නීතියට අනුවයි නිශ්ශංක ඒ ප්‍රකාශය කළේ. අනික නිශ්ශංක හා නීතිඥවරු එදා පොලිසියට ගියෙත් තමන්ගේ වාහනවලින් මිසක් ඉස්සර වගේ සුදු වෑන්වලිනුත් නෙවෙයි. ලකුණු දාගන්න පොලිසිය හෝ වෙනත් අය සීමාව ඉක්මවා නීතියෙන් පිට වැඩ කරන්න ගියොත් මූලික අයිතිවාසිකම් නඩු පවා ඇති වීමේ පසුබිමක් අපේ නීතිය තුළ තියෙනවා. රටේ වගකිව යුතුම අයගේ අතපසුවීම් පහළ නිලධාරින් හෝ මගේ සේවකයෝ තුන්දෙනා වගේ අය පිටින් යවලා කාටවත් ඇඟ බේරගන්න බැරි වේවි. අප්‍රේල් 04 හා 09 දෙදිනේම මේ ප්‍රහාරය ගැන රටේ ඉහළම බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබෙනවා. අගමැති හෝ එජාපයේ කාටවත් ඒ තොරතුරු ලැබුණෙ නෑ. ලැබුණා නම් මේ විනාශය වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ අනුව ප්‍රහාරයේ තොරතුරු ලැබිලත් ඒක වළක්වා ගන්න බැරිවීම තුළ විශාල අතපසුවීමක් වෙලා තියෙනවා. ත්‍රිවිධ හමුදා, පොලිසිය, බුද්ධි අංශ ඇතුළු ආරක්ෂාවට අදාළ සියලු ආයතන තියෙන්නේ ජනාධිපතිතුමා යටතේයි. ඒ නිසා තොරතුරු මෙච්චර ලැබිලත් විනාශය වළක්වා නොගැනීමේ වගකීම විෂ්‍ය භාර ඇමැතිවරයා පිට පැටවෙනවා. අගමැති හෝ ආණ්ඩුවට වගකීම් පවරන්න කාටවත් අයිතියක් නැහැ. කුඩු ඇල්ලීමේ ගෞරවය ලබනවා වගේම මේ විනාශයේ වගකීමත් එහෙම නම් ආරක්ෂාව භාර අය රට ඉදිරියේ පිළිගන්න ඕනෑ. ජනතා මතයත් එයයි. ඕන කෙනෙක් අතින් අඩුපාඩු හා අතපසුවීම් වෙන්න පුළුවන්. ඒත් තොරතුරු ලැබිලත් ජනතාව බේරාගන්න බැරිවීම එසේ මෙසේ අඩුපාඩුවක් නෙවෙයි. සුනාමි එනකොට එංගලන්තේ හිටපු එවකට ජනපති චන්ද්‍රිකා වහාම ආවා. ඒත් ආරක්ෂාව භාර ජනාධිපතිතුමා සිංගප්පූරුවේ ඉඳලා වහාම ආවේ නැති එකත් ජනතාව ප්‍රශ්න කරනවා. ජනපතිගේ පැමිණීම ප්‍රමාදවීම විශාල ගැටලුවක් වුණාද? ජනාධිපතිතුමාගේ පැමිණීම ප්‍රමාද වුණත් කිසිම අඩුපාඩුවක් නොවී සියලු කටයුතු ඉටුකරමින් එය කළමනාකරණය කරන්න ආණ්ඩුව ක්‍රියා කළා. එතුමා එනකොට ත්‍රිවිධ හමුදා, පොලිසිය, එස්ටීඑෆ්. බුද්ධි අංශ, සිවිල් ආරක්ෂක අංශ මේ ත්‍රස්තවාදයේ කොඳු නාරටිය කඩන්න අවශ්‍ය දැවැන්ත පදනම දාලා පැය කීපයක් තුළ අත්‍යවශ්‍ය විශාල වැඩකොටස නිම කරලයි තිබුණේ. අපේ ආරක්ෂක අංශ වසර 10 කට පසුව මෙවැනි ක්ෂණික අභියෝගයකට මුහුණ දීලත්, තාක්ෂණික ලෙස ලොව දියුණුම හමුදාවලටත් කරන්න බැරි වැඩ කොටසක් සිදු කළා. ඔබේ මේ ලියුම ආරක්ෂක අංශවලට හසුවීම සඳහා සූක්ෂ්මව සැලසුම් කළ එකක්දැයි සිතෙන තරම්. මන්ද 600 ක් දෙනා දැනගත යුතු දේ දැන් මුළු රටම දන්නවා නේද? ඕන කෙනකුට ඕන විග්‍රහයකට යන්න පුළුවන්. අපි මේ ලියුම හරහා උත්සාහ කළේ රට දැනුවත් කරන්නයි. තොරතුරු දැන ගැනීමේ පනත ගෙනාවෙත් මේ වගේ ජනතාවට තොරතුරු ලබා ගැනීම සඳහා තමයි. ලියුමෙ සත්‍ය තත්ත්වයයි තිබුණේ. ව්‍යවස්ථාව යටතේත් රටට නිවැරදි තොරතුරු ලබාදීමට හැකියාව තියෙනවා. මමවත්, අපේ ළමයි තුන්දෙනාත් නීතියට අනුව කිසිම වරදක් කරලා නැහැ. ඒත් පොහොට්ටුවේ පියල් නිශාන්ත මන්ත්‍රීතුමා සජීවී රූපවාහිනී වැඩසටහනකදී කිව්වා මුස්ලිම්වරු අපේ හමුදාවේ 11 ක් මරලා කියලා. ඒක පට්ටපල් බොරුවක් වෙලත් රට ගිනි තියලා කෝලාහල ඇති කරන්න හදපු ඒ මන්ත්‍රීට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියලා කටඋත්තර අරන් ගෙදර යැව්වා. රට දැනුවත් කරන ලියුමක් ලියපු අපේ ළමයි තුන්දෙනා හිර කරගෙන ඉන්නවා. නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි අහනවා. අපේ ලිපි හරහා 600 ක් දැනගත යුතු දේ ළමයි තුන්දෙනා අත්අඩංගුවට පත්වෙලා මහා ප්‍රශ්නයක් වීම තුළ දැන් රටම ඒ ලිපියේ තොරතුරු දන්නවා. ළමයි තුන්දෙනා අත්අඩංගුවට ගන්න නියෝග දීපු හා එය ක්‍රියාත්මක කරපු අයයි ඒ ලිපියට ජාතික මට්ටමේ ප්‍රචාරයක් දීම ගැන වගකිවයුත්තේ. අපේ ලියුමයි, ළමයි තුන්දෙනා පස්සේ එළවන්න තිබුණු උනන්දුව ප්‍රහාරය ගැන අතටම ලැබුණු බුද්ධි අංශ ලිපිය ගැනත් තිබුණා නම් මේ සා විශාල ජීවිත, දේපොළ හානි හා ආර්ථික ලෙස කෝටි දහස් ගණනක පාඩු රටට සිදු වෙන්නේ නෑ. මේ රටේ වගකිවයුත්තෝ මහා පරිමාණ විනාශ ගැන තොරතුරු තකන්නේ නැතිව සිල්ලර වැඩ පිටුපස දුවනවා. මේ ලියුම හා නාමල් කුමාර කියන අර රස්තියාදුකාරයට දුන්න ප්‍රමුඛත්වයවත් අප්‍රේල් 04 හා 09 ලැබුණු බුද්ධි අංශ තොරතුරුවලට දුන්නේ නැත්තේ කව්ද, ඊට හේතුව මොකක්ද කියලයි දැන් ජනතාව අහන්නේ. ඔබේ පිරිස යවන්න උත්සාහ කළ ලිපියේ සැබෑ අන්තර්ගතය මොකක්ද? මට ඔය ලිපියේ පිටපතක් ජනමාධ්‍යයට නිකුත් කරන්න පුළුවන්. ඒත් මම එච්චර දඟලන්න ආස නෑ. මම ලියුම අල්ලපු පොලිසියට කියනවා ලියුම රටට මුදාහැරලා ඒකෙ තියෙන වැරදි රට හමුවේ කියන්න කියලා. මේ ලියුමෙ තියෙන්නේ ප්‍රහාරය වළක්වා නොගැනීම හා ඊට වගකිවයුත්තේ කව්ද කියලා ‘‘කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් එක’’ පළ කළ ලිපියක කොටස් වගයක්. එච්චරයි. මේ ලියුම ‘‘ලීක්’’වුණාට පසු ඔබට ජනාධිපතිවරයාව හමුවුණේ නැද්ද? ‘කිරිඇල්ල මට මඩ ගහන්නේ ඇයි’ කියලා ඔහු ඇහුවේ නැද්ද? කැබිනට් එකේදී හමුවුණා. ලිපිය ගැන ජනාධිපතිතුමා ඇහුවේ නෑ. ලිපියේ තියෙන්නේ මඩක් නෙවෙයි ‘‘ඇත්තක්’’ බව ජනාධිපතිත් හිතන නිසා ඔබෙන් ඇහුවේ නැද්ද දන්නේ නෑ නේද? ඒක නම් කොහොමද දන්නේ නෑ. වෙන කෙනකුගේ හිත් කියවන බලය මට නෑ. මම මේ ලිපිය ලියන්න අපේ ළමයින්ට ඉඩහැරියේ රට දැනුවත් කරන උතුම් චේතනාවෙන්. මේ ලිපිය හරහා ප්‍රහාරයේ වගකීම අසාධාරණ ලෙස ජනපති පිට පටවන්න ඔබ උත්සාහ කළ බව දයාසිරි ජයසේකර කිව්වා. මඩ ලිපි ලියපු කිරිඇල්ල වහාම ඉල්ලා අස්විය යුතු බවත්, නැතහොත් විශ්වාසභංගයක් ගෙනැත් ගෙදර යවන බව ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළා. ඔබ මොකද කියන්නේ? ඔය අවස්ථාවාදීන්ට වඩා ජනාධිපතිතුමා ගැන කැක්කුමක් අපට තියෙනවා. එයාලා එතුමා පරද්දන්න කළ හැකි හැමදේම කරන කොට’ මඩ ගහල’ ප්‍රසිද්ධියේ එතුමාට අපහාස කරනකොට එතුමා රටේ ජනාධිපති කළේ අපියි. මහනුවර දිස්ත්‍රික්කය මම ජනාධිපතිතුමාව ඡන්ද 93,000 කිනුයි දිනෙව්වේ. ඒ නිසා අපි දිනවපු ජනාධිපතිට ‘‘ජැක් ගහල’’ ඉන්න දේශපාලන අහිගුණ්ඨිකයෝ දෙන්නෙකුට මට ඉල්ලා අස්වෙන්න කියන්න එයාලා කව්ද? තොරතුරු ලැබිලත් මේ විනාශය වෙන්න ඉඩ හැරියේ කව්ද කියලා හොඳට හොයලා අන්න එයාට අස්වෙන්න කියලා කියන්නැයි මම ඔය දෙන්නට කියනවා. එයාලා අනාථ වෙලා දැන් ‘මර ගී’ කියවනවා. ජනතාව ඇත්ත දන්නවා. ඔබට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපති කිව්වොත් මොකද කරන්නේ? ලියුමකින් රට දැනුවත් කරපු ඇත්ත පෙන්නාපු මට අයින් වෙන්න කියන්න කලින් ත්‍රස්තවාදය පෝෂණය කරපු කිරි පොවපු බවට රට තුළ විශාල ජනමතයක් තියෙන දේශපාලකයෝ, ආණ්ඩුකාරවරු වගේම තොරතුරු ලැබිලත් රට රැක්කෙ නැති වගකිවයුතු ඉහළම සියලු දෙනා මුලින් ඉල්ලා අස්වෙන්න කියල එහෙම නම් මට කියන්න වෙනවා. ත්‍රස්ත මර්දනයට අදාළ කටයුතු හා ජනතාවගේ ආරක්ෂාව ගැන ඔබ දෙන සහතිකය මොකක්ද? අපේ ආරක්ෂක අංශ ගැන දැඩි විශ්වාසය තියන්න. ඔවුන් ඉතා සීග්‍රයෙන් 95% ක් මේක මර්දනය කරලා තියෙන්නේ. අනික මුස්ලිම්වරු ත්‍රස්තයනට ආශිර්වාද කරන්නේ හෝ මේ ත්‍රස්තයන්ට ‘‘ඉල්ලීම්’’ කොට නෑ. ඒ නිසා සමාජය තුළත් ඔවුන්ට දිගුකාලීන පැවැත්මක් නෑ. අනික අයිඑස් ත්‍රස්තයන් එක එක රටවල පහත් වැඩ කරනවා මිසක් එකම රටක් ඉලක්ක කරලා ක්‍රියා නොකරන පසුබිමකුත් තියෙනවා. කොහොම වෙතත් අපේ ආරක්ෂක අංශ ගැනත් ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව ගැනත් විශ්වාසය තියන්න. ඒත් ‘‘අවධානය හා පෙර සූදානම’ දිගටම තියාගන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. ලංකාවට මේ ප්‍රහාරය එල්ල වීම පිටුපස යම් අභ්‍යන්තරික දේශපාලන මුහුණුවරක් තිබිය හැකිද? අනිවාර්යයෙන්ම තියෙනවා. පොහොට්ටුව හා ශ්‍රීලනිපයේ වැඩි දෙනෙක් මේ පිටුපස සිටින බවට දේශපාලන විශ්ලේෂකයන් වගේම මගේත් පිළිගැනීමයි. දිගනට, අම්පාරට ගැහුවා. ඉන් පාඩු වුණේ එජාපයටයි. මුස්ලිම්වරු බිඳවීම එහි අරමුණයි. ඊට පස්සේ කතෝලිකයන්ට ගැහුවෙත් එජාපයට අවාසි කරන්නයි. මඩකලපුවේ දෙමළ පල්ලියේ අයට ගැහුවේ දෙමළ ජනතාව අප කෙරෙහි බිඳවන්නයි. මේ ප්‍රහාරවල සැලැස්ම දැන් ඉතා පැහැදිලියි. නියම වෙලාවට මම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරනවා කී පොහොට්ටුවේ කෙනා 250 ක් මැරිල හත් දවසෙ දානෙටත් කලින් අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළා. අනික ෆොන්සේකාට ආරක්ෂාවට අදාළ වගකීම් ලබා නොදී හිරකරගෙන ඉන්නෙත්, දේශපාලන සැලසුමකට අනුව බව ඉතා පැහැදිලියි. අපි මේවා සොයලා රට දැනුවත් කරනවා. මොකද මේ සියලු සිදුවීම් මාලාව ගැන අපට වගේම ජනතාවටත් විශාල සැක තියෙනවා. අපි ‘‘දේශපාලන බබාලා’’ නෙවෙයි. අප්‍රේල් 04 තොරතුරු ලැබිලත් පියවර නොගත්තෙ ‘‘එජාපයට කෙළවිලාම පලයන්’’ කියලා හිතලා අහක බලාගත්තු නිසාද කියලා අපි ප්‍රශ්න කරන්නේ මෙතැනදී නිරපරාදේ දිවි පිදූ අසරණ ජනතාව වෙනුවෙනුයි. අශෝක ජයතුංග
 

More News..