brand logo

මගීන් 420ක් රැගත් ලොව විශාලතම මගී ගුවන් යානයක් හදිසියේම කටුනායකට ගොඩබස්සවයි

28 December 2018

ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන A- 380 වර්ගයේ ගුවන් යානයක් , එහි කාර්යය මණ්ඩල සාමාජිකයකු හදිසියේම අසනීප වීම නිසා අද (28) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබූ බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා පැවසුවා. ඊ.කේ.- 408 දරන එමිරේට්ස් ගුවන් සේවා සමාගමට අයත් මෙම ගුවන් යානය ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා ගමන් ගනිමින් තිබූ අතර , එහි මගීන් 420 ක් සහ කාර්යය මණ්ඩලය 22 ක් සිටියා. මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ගුවන් ගනිමින් තිබියදී , එම යානයේ සේවය කළ 32 හැවිරිදි කාර්යය මණ්ඩල සාමාජිකයකුට උදරාබාධයක් වැළදීම නිසා , මෙම ගුවන් යානය අද (28) උදෑසන 10.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසියේම ගොඩ බස්වා තිබෙනවා. ඉන් අනතුරුව මෙම රෝගී ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයා ගුවන් තොටුපළ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත භාර දුන් අතර , ඔහු වහාම ගිලන් රථයකින් මීගමුව පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා. ඉන් පසුව මෙම ගුවන් යානයට රුපියල් 72 ලක්ෂයක් වටිනා, ගුවන් යානා ඉන්ධන ලීටර් 65,000 ක් ද ලබා දුන් බව ගුවන් තොටුපළ ඛනිජ තෙල් සංස්ථා ප්‍රකාශකවරයෙකු පැවසුවා. පසුව මෙම ගුවන් යානය දහවල් 12.15 ට යළිත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළා.
 

More News..