brand logo

මකරාක්ෂයාට ජයවේවා!

20 January 2019

ඔබට චිකාගෝ පන්නයේ ක්‍රියාදාම සහිත චිත්‍රපටයක් රූගත කිරීමට අවශ්‍යනම් කළ යුත්තේ මහ මග පාරක් අයිනේ සීසීටීවී කැමරාවක් සවි කිරීමය. දින දෙක තුනකින් පරීක්ෂා කර බැලූ විට එහි මිනීමැරුමක් මංකොල්ලයක් රූපගත වී තිබෙන්නට පුළුවන. එය චිත්‍රපටයක් බවට පත් කිරීමට ඔබ කළ යුත්තේ වේග රිද්ම සංගීත ඛණ්ඩයක් ඒ දර්ශනවලට එක්කිරීම පමණය. දැන් මෙරට චිකාගෝවේ සිදුවන පාතාල මිනීමැරුම් සහිත චිත්‍රපට ගෙනැවුත් ශාලාවල පෙන්නුවද ජනතාව ඊට ඇදී නොයන්නේ ඊට වඩා සැබෑ දේ දෑසින් දැක ඇති බැවිනි. සම්පූර්ණ සිරුර ආවරණය කරගෙන පසුගිය සතියේදී වෑන් රථයකින් අා දෙදෙනෙක් වත්තල අයියාන් සබ්රිමලේ කෝවිල අසලදී බැස මහ මග වෙඩි පත්තුකර දෙදෙනකු මරා දමන අයුරු දැක බලා ගැනීමට අප නෙත් පව් කර තිබුණි. ඝාතනය සිදුවී පැය ගණනක් ඇතුළත මැරුම් කෑ තැනැත්තන් ගැන වග වාසගම්ද සහිතව හෙළිදරව් කෙරිණි. ඒ වෙඩි තැබීම පාතාලයේ කුඩු ආරවුලක් බව ප්‍රකාශ වූ සැණින් ශ්‍රාවකයෝ සැනසුම් සුසුම් හෙළුවේ මුං මරාගෙන හෝ කම්මුතු වීම සතුටක් යැයි සිතමිනි. ඒ සමගම මේ එම පාතාල ගැටුමේ සිදුවූ 05 වැනි ඝාතනය බව ප්‍රකාශ කෙරුණේ ජනතාවගේ අර හැඟීමට පවන් සැලීමට විය යුතුය. එහෙත් එම ප්‍රවෘත්තියත් සමගම 05 දෙනකු මරා ගන්නා තුරු මේ රටේ නීතියට පොලිසියට කරන්නට දෙයක් නැතිව බලා සිට ඇති බව පෙනී යයි. පානදුරයේ සංගීත සංදර්ශනයක ඇති වූ තොප්පි උදුරා ගැනීමේ ආරවුලක් කෙළවර වූයේ 26 දෙනකු මරා ගෙන එක් මැරයකු වැඩිම මිනීමරූ තැනැත්තා ලෙස තම නම ලේ අකුරෙන් පාතාල වංශකතාවේ ලියා තබමිනි. එසේ නම් පාතාලයේ උන් වෙඩි තබා ගැනීමෙන් හෙවත් අධර්මය අධර්මය හා ගැටීමෙන් අධර්මය නැසී යාද නැත. ධර්මයට සැනසුමක් ලැබේද. අධර්මය අධර්මය හා ගැටෙන විට ධර්මයට ඊට විශාල වන්දියක් ගෙවන්නට සිදු වෙන බව අපි දැක ඇත්තෙමු. මෙතෙක් සාමාන්‍ය ජනතාවට අයත්ව තිබූ වැලි තොටුපළවල්ද පදික වේදිකාවේ කඩ කාමරද පිළිබඳ තීන්දු ගන්නේ පාතාලයෙනි. කලෙක කොළඹ ඉඩම් විකුණන්නේ නම් එය පාතාල ලොව කෙරුමකු නියම කරන අයකුට විකිණිය යුතුව තිබිණ. මේ මට්ටමේ ව්‍යාපාර සහිත ජන සමාජයේ නීතියද යුක්ති ධර්මයද හසුරුවන්නේ පාතාලයය. කාක දූපතේද බොරැල්ලේද කප්පම්වලට ගොදුරු වන වෙළෙඳසල් හිමියන්ගෙන් ඒ ගැන අසන්නන්ට කියන්නේ මෙසේය. ‘‘ඒ මිනිස්සුන්ට කප්පම් ගෙව්වට පාඩු නෑ. අපේ කඩවලට කරදර කරන්න පිට කෙනෙක් ආවොත් ඒ ගොල්ලෝ ඒක බලාගන්නවා. ඒකෙන් අපට කරදරයක් නෑ.’’ එය නගරය බිලි ගන්නා මකරාක්ෂයකුගේ පුවත ඇතුළත් මකරාක්ෂයා නාටකයේ පුරවැසියන්ට රඟපානා උන් සිතන ආකාරයමය. මේ මකරා ඉන්නා තුරු වෙන මකරෙක් අපිව කන්න එන්නේ නෑ. ඒ නිසා මේ මකරාක්ෂයාට ජයවේවා’’ මේ අපේ සාමාන්‍ය නාගරික ව්‍යාපාරික පන්තිය පාතාලය භාර ගෙන තිබෙන ආකාරයයි. එහෙත් මේ සාමාන්‍ය පන්තිය අබිබවා ගොස් මහා ව්‍යාපාරික ආයතනවල කළමනාකරුවන් නියෝජිතයන් මගින් කප්පම් ගන්නා තැනටද දැන් දැන් පාතාලයෝ යොමුව සිටිති. විදේශ ආයෝජකයින් පවා බය වද්දන තැනට ඔවුහු ළංව සිටිති. මීට වසර පහ හයකට පෙර මෙරට ඉදිකිරීම් කටයුතු කරන චීන සමාගමකින්ද කැලණියේදී කප්පම් ගැනීමට ගත් තැතක් ව්‍යර්ථ කෙරුණේ රාජ්‍ය නායකයාගේ දැඩි මැදිහත් වීමෙනි. යුද්ධයෙන් පසු පාතාලය දැඩි මර්දනය කිරීමක යෙදීමට රාජපක්ෂවරු කටයුතු කරද්දී තම තමන්ගේ පාතාලයන් විදෙස්ගත කරවා බේරා ගැනීමට එවකට විපක්ෂයේ සිටි මේ ආණ්ඩුවේ ඇමැත්තෝ සමත් වූ බව ප්‍රකට රහසකි. අද වන විට ඒ විදෙස් ගත වූ පාතාලයෝ මේ රටේ රාජ්‍ය තන්ත්‍රය දෙසටද රාජ්‍ය නායකයා දෙසටද සිය තුවක්කු කට යොමු කර ඇත්තේය. එමතු නොව ඒ පාතාලය දැන් ඩයස්පෝරාවටද සේවය දීමට සූදානම් බවට ප්‍රවෘත්ති පළ වෙයි. ඒ පාතාලය ජාත්‍යන්තරීකරණය කිරීමකි. මේ පාතාලයන් මැඬීමට යම් රජයක් උත්සාහ කරන්නේද ඊට මැදිහත්ව ඔවුන් මිනීමරුවන්, සුදනන් කරන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීහුය. එහෙත් ඒ පාතාලයන් මහ පාරේ මහදවාලේ වෙඩිපත්තු කර මිනීමරන විට කඩවලින් වැලි ලොරියෙන් බුලත්විට තට්ටුවෙන් කප්පම් ගන්නා විට මානව හිමිකම් ක්‍රියාකාරීහු නිහඬය. එවිට ඔවුහු වානර මානවයා සේ නිහඬය.
 

More News..