brand logo

මං බුදුවෙලා නෑ ජනපති අගමැති සිහින මටත් තියෙනවා

03 August 2019

ආණ්ඩුවේ අන්තිම කාලේ නේද ගෙවෙන්නේ? ඕනෑම ආණ්ඩුවක ආරම්භක කාලයක් වගේම අවසාන කාලයකුත් තියෙනවා. එහෙම කියලා ආණ්ඩුවක් අවසන් වෙන්නේ නැහැ. කාලය අවසන් වීම විතරයි වෙන්නේ. කාලය නෙවෙයි, ආණ්ඩුව පල්ලම් බැහැගෙන නේද යන්නේ? එහෙම හිතෙනවා ඇත්තේ ඔබේ පුවත්පතට සහ ගෝඨාභය රාජපක්ෂලාට. අපිට බලාගන්න පුළුවන් ඡන්දය ආවම පහළටද, ඉහළට ද යන්නේ කියලා. ඔබට නිරන්තරයෙන්ම චෝදනා එල්ල වුණා, වෛද්‍ය සාෆිගේ ප්‍රශ්නයේදී, එහෙම වුණේ ඇයි? මම කිව්වේ සත්‍යය, වැරැද්දක් කරලා තියෙනවා නම් පරීක්ෂණ කරන්න ඕනේ කියලා කිව්වේ. මම පරීක්ෂණවලට පස්සේ තීන්දු ගත යුතුයි කිව්වා. දොස්තර සාෆි වැරදියි කියලා කිව්වේ කිසිම පරීක්ෂණයක් නැතිව. පැමිණිලි ඉදිරිපත් කරලා පරීක්ෂණ නැතිව තීන්දුත් දීලා ඉවරයි. ඒ ක්‍රමයට අපි එකඟ නැහැ. මුස්ලිම් අන්තවාදීන්ගේ මතය වගේම තමයි ඔය අන්තවාදීන්ගේ මතයත්. ඔය මත දෙකම වැරදියි. අද වෙනකොට මම කියපු ඒවායින් සෑහෙන කොටසක් ඔප්පු වෙලා තියෙනවා. ඔහුට විරුද්ධව කිසිම සාක්ෂියක් නැති නිසා එළියට දාලා තියෙනවා. නමුත් ඔබ දොස්තරගේ පැත්ත ගත්තේ මේ පරීක්ෂණවලට පෙර. සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට එය සුදුසු නැහැ නේද? පරීක්ෂණ කණ්ඩායම පවා මුලින්ම පත් කළේ මම. නමුත් ඒක පිළිගත්තේ නැහැ. ඊට පස්සෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පත්කර ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වුණත් කරන්නේ මම කිව්වා වගේම විශේෂඥවරුන් විසින් කරන පරීක්ෂණ තමයි. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතිං මොකද්ද මම කරපු වැරැද්ද? මම කිව්වේ දොස්තර සාෆි මුස්ලිම් නිසයි මෙහෙම කරන්නේ කියලා. සිංහල වුණා නම් ප්‍රශ්නයක් නැහැ නේද කියලා. ඒකේ මොකක්ද ඇති වැරැද්ද. සිංහල අයට කොච්චර චෝදනා තියෙනවද? කවුද ඒකට පෙළපාළි ගියේ. මීට ඉස්සෙල්ලා කාන්තාවන් ගබ්සා කරන එකට ඕනෑතරම් සිංහල වෛද්‍යවරුන්ට චෝදනා තිබුණා. ඒත් මෙහෙම එකක් වුණේ නැහැනේ. ඒවාට නීති මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. මහපාරේ ප්‍රශ්න විසඳගන්න ගියේ නැහැනේ. ඒ නිසයි මම ඒ ක්‍රමයට විරුද්ධ වුණේ. ජාත්‍යන්තරය ඔබව ඉහළින්ම අගය කළාට තනතුරු ලැබුණාට ලංකාවේ අය ඔබව අගය කරන්නේ නැහැ? ඒක තමයි ලංකාවේ සාමාන්‍ය විදිහ. මහාචාර්ය බිබිලේව පවා ලෝකයම පිළිගත්තත් ලංකාව පිළිගත්තේ නැහැ. අනගාරික ධර්මපාලතුමාවත් ලෝකයේ අනික් රටවල් පිළිගත්තත් ලංකාවේ අය පිළිගත්තේ නැහැනේ. ඒකනේ එතුමා කිව්වෙත් මේ රටට හොඳ කළොත් බැණුම් අහන්න ලෑස්ති වෙන්න. වැඩියෙන් වැඩ කළොත් වැඩියෙන් බැණුම් අහන්න ලෑස්ති වෙන්න කියලා. ඒ නිසාම එතුමා කිව්වා මගේ සංසාර චක්‍රයේදී නැවත මේ රටේ ඉපදෙන්නවත් කැමැති නැහැ කියලා. මහාචාර්ය බිබිලේත් ඒ වගේ කතාවක් කිව්වා දැඩි කලකිරීමෙන්. ඒක මේ රටේ හැටි. නමුත් අපි දේශපාලනඥයෝ නිසා ඒවා පරාජය කරගෙන ඉදිරියටම යනවා. ඔබත් ධර්මපාලතුමාගේ අඩිපාරේද යන්නෙ? නැහැ මම යන්නේ මගේ අඩිපාරේ. සන්ධාන දැන් දේශපාලන විලාසිතාවක් වෙලා. මොකක්ද 05 වැනිදාට එන සන්ධානය. මේවා ඡන්ද කාලයට අටවා ගන්න ඒවා නේද? මුළු ලෝකයේ හැම තැනකම දැන් තියෙන්නේ ඒ තත්ත්වය. හැම තැනකම බලයට පත්වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ නොවේ සන්ධාන. ඉන්දියාවේ වුණත් එහෙම තමයි වෙන්නේ. මේ සැරේ මැතිවරණයෙන් විතරයි මෝදිට සන්ධානයක් නැතිව බලයට පත්වෙන්න පුළුවන් වුණේ. සමාන මතධාරීන් එකතුවෙලා එන සන්ධානවලට තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්. අපත් සන්ධානයක් හදලා තියෙනවා. රාජපක්ෂලත් සන්ධානයක් හදලා තියෙනවා. ඒ සන්ධාන දෙක අතර තමයි ගැටුම තියෙන්නේ. ඔබේ සන්ධානය ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීරණයක් ගන්නේ කොහොමද? සන්ධානය විසින් එය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව ගන්නවා. අපේ සන්ධානයේ උත්තරීතර මණ්ඩලයට තියෙන්නේ නායකත්ව මණ්ඩලයක්. ඒකේ නායකයෙක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ විධායක සභාව. ඒකේ මේ සියලුම සංවිධාන සහ දේශපාලන පක්ෂවල නියෝජනය තියෙනවා. එහි එක් අයකුට 100% බලයක් නැහැ. එහි සංයුතිය කොහොමද? 50% ක් සහ එයට වැඩි බහුතරය එක්සත් ජාතික පක්ෂයට හිමිවෙනවා. නායකත්ව මණ්ඩලයේදීත් නායකයාට 50% ක් සහ තවත් එකක් වැඩිපුර ලැබෙනවා. නමුත් සියලුම නායකයෝ එකට එකතුවෙලා ගන්න තීරණ මත තමයි මේ සන්ධානය ඉදිරියට යන්නේ. ආපහු ගේන්නේ පොදු අපේක්ෂකයෙක්ද? ඔව් පැහැදිලිවම. පොදු අපේක්ෂකයා තීන්දු කරන්න හැම පක්ෂයකටම එකම විදිහට බලයක් ලැබෙනවද? එක්සත් ජාතික පක්ෂයට එතැනදීත් 50% ක් සහ තවත් එකක් ලැබෙනවා. සන්ධානයේ ව්‍යවස්ථාව හදලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුළුවන් ඔවුන්ගේ අපේක්ෂකයා තෝරලා දෙන්න. ඊට පස්සේ සන්ධානය තෝරනවා මොන අපේක්ෂකයාද සන්ධානයෙන් ඉදිරිපත් කරන්නේ කියලා. අපේක්ෂකයා තෝරගන්න බැරිව එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ගැටුම්. එහෙම තත්ත්වයක් තුළ සන්ධාන ගතවීම පලක් වේවිද? එක්සත් ජාතික පක්ෂයට විසඳුමකට එන්න බැරි වුණොත් සන්ධානයට පුළුවන් ඒක විසඳලා දෙන්න. හැමෝටම තිබෙන බලයන් අතර බහුතර බලයක් තමයි එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ තනි බලයක් නැහැ. අලුත් සන්ධානයේ ඔබට හිමි තනතුර කුමක්ද? තනතුරු ගැන තවම සාකච්ඡා කරලා නැහැ. සන්ධානය හදනවා විතරයි. ඒවා තීන්දු කරන්නේ සන්ධානය පිහිටෙව්වට පස්සෙ. සන්ධානයේ ලේකම් තනතුර බලවත්. ඔබේ අදහසක් නැද්ද, ඒ ගැන? ව්‍යවස්ථාවේ හැටියට එයට බලතල අඩුයි. එක්සත් ජාතික පක්ෂය ලේකම් තනතුරක් ඉල්ලයි. නමුත් එය කොහොමද වෙන්නේ කියලා තීන්දු ගත යුත්තේ සන්ධානය. 2015 දී බලයට පත් වෙන්න කියපුව මතකද? අද මොකද ඒවාට වෙලා තියෙන්නේ? හොඳට මතකයි. ඒවායින් සෑහෙන ප්‍රමාණයක් ඉටුවෙලා තියෙනවා. තවත් කොටසක් ඉටුකරගන්න බැරිවෙලා තියෙනවා. ඉතිරි කොටස නැවත සන්ධානය බලයට පත් වුණාම කරනවා. ඉටුකළ කොටස අඩුයි නේද? නැහැ. ඉටුකළ කොටස වැඩියි. නමුත් සමහර තීරණාත්මක දේවල් ඉටු කළේ නැහැ. විශේෂයෙන්ම මිනීමරුවන්ට, දූෂිතයන්ට දිය යුතු දඬුවම් ඒ ආකාරයෙන් ඉටුවුණේ නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය නැවත රට තුළ ඇති කිරීම සංවර්ධනය සහ සමාජ සුබසාධනය දිහා බැලුවොත් විශාල වශයෙන් එය ඉටුවෙලා තියෙනවා. එය පොරොන්දු වුණාටත් වැඩියෙන් කරලා තියෙනවා. හැබැයි දූෂිතයන්ට සහ මිනීමරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගවලදී අපි ඉතාම දුර්වල තැනක ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේන එක්ක පළමුවෙන්ම එළියට ආවේ ඔබ. දැන් ඔබත්, ඔහුත් අතර තියෙන සම්බන්ධය කොහොමද? එකට එළියට බැස්සට මම මගේ ප්‍රතිපත්ති දිගටම අරගෙන ගිය ක්‍රමයක් තියෙනවා. හුඟක් කට්ටිය එක්ක එකට වැඩකරලා තියෙනවා. මගේ මතවාදයත් එක්ක මම ඒවායින් ඉවත්වෙලා තියෙනවා. ඒ වගේ සම්බන්ධයක් තමයි මමත්, මෛත්‍රීපාල සිරිසේනත් අතර තියෙන්නේ. ජනාධිපති ඔබට සලකනවද? මම අමුතු සැලකිලි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දෙන්නගේ මිත්‍රත්වය තියෙනවා. අපි දෙන්නා දැන් පාරවල් දෙකක ගමන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවා වෙයි කියලද හිතෙන්නේ? දීර්ඝ කාලයක් ඒ පක්ෂය මේ රටේ තියෙයි කියලා මට පේන්නේ නැහැ. පක්ෂවල කාර්යභාරය අවසන් වෙනකොට පක්ෂ ඉවර වෙනවා. ශ්‍රීලනිප මන්ත්‍රීන් ඔබ සන්ධානයට එකතු වෙන බවට ඉඟි පළ වෙනවා? විශාල මන්ත්‍රී ප්‍රමාණයක් සාකච්ඡා කරමින් ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න. සමහර වෙලාවට පක්ෂයක් වශයෙන් එකතු වෙන්න පුළුවන්. ඒකෙන් සමහර කොටසක් පොහොට්ටුවටත් එකතු වේවි. වැඩියෙන්ම රාජපක්ෂලාට අභියෝග කළේ ඔබ. ඒවා ඔක්කෝම පුස්සක් වුණා නේද? එහෙම වෙලා නැහැ. රාජපක්ෂලා කවුද කියන එක බොහෝ ජනතාව අවබෝධ කරගන්නා සමහර දේවල් අපට තහවුරු කරගන්න බැරිවුණත් මිනීමැරුම්වලට අහුවෙලා දැන් විත්ති කූඩුවල ඉන්නා අය දිහා බැලුවාම පේනවනෙ ඒ අයට ඒ වගේ මිනීමැරුම් කරන්න වුවමනාවක් නොතිබුණු බව. හමුදාවේ අත්අඩංගුවට අරගෙන ඉන්න කීපදෙනාට මොකද්ද තියෙන අවශ්‍යතාව තාජුඩීන්ව මරන්න. ඒ ගොල්ලන් ඒ අයත් එක්ක රගර් ගැහුවේ නැහැනේ. කාටද මේ වගේ අවශ්‍යතාවක් තිබුණේ කියලා රට දැන ගත්තා. ඒ වගේම තමයි ලසන්ත එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් සහ පෝද්දල ජයන්තගේ සිද්ධීන්, හමුදාවේ අයට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ මේ අයට හිරිහැර කරන්න. සිරසට ගිනිතියන්න, සියතට ගිනි තියන්න, උදයන් එකට ගහන්න වගේ ඒවා පොඩි මිනිසුන්ගේ වුවමනාවල් නොවේ කියලා කාටත් දැන් වැටහෙනවනේ. ඒ අය තමයි ආපහු බලය ඉල්ලන් ඉස්සරහට එන්නේ. ජනාධිපතිවරණය දිනන්න පුළුවන්ද? දිනනවා නෙවෙයි අපි දිනවනවා. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ඔබ කළ වැඩ ගැන සෑහීමකට පත් වෙනවද? මම නෙවෙයි, රටේ ජනතාව විශාල ලෙස සෑහීමකට පත්වෙනවා. එක්තරා වෛද්‍ය කණ්ඩායමක් හැරුණුකොට අනිත් වෛද්‍යවරුන් මේ වැඩ ගැන ප්‍රශංසා කරනවා. එක කල්ලියක් විතරක් නිරන්තරයෙන් අපට විරුද්ධව වැඩ කරනවා, මම හොඳ නැහැ කියනවා. ඔබ කොච්චර කිව්වත් සමහර රෝහල්වල බෙහෙත් නැහැ? අමූලික බොරු. දැන් ඖෂධ සැපයුම් අංශය භාරව ඉන්න අධ්‍යක්ෂවරයා නිවේදනයක් පවා නිකුත් කළා ඒ පිළිබඳ. එක්තරා විද්‍යුත් නාළිකා දෙකකට විතරයි මේ ප්‍රශ්නය තියෙන්නේ. රෝහල්වල ඖෂධ නැහැ කියලා බෝඩ්වල ගහල තියෙන්නේ නැහැ. කොළ කෑලිවල ලියලා තියෙන්නේ නැහැ. ඒවා සටහන් කරන ක්‍රමයක් තියෙනවා. අහිංසක ජනතාවට මේවා ගැන නොතේරුණාට වෛද්‍යවරු දන්නවා මේ ලේඛන බොරු බව. අප රෝහල් අධ්‍යක්ෂවරුන්ට බලය දීලා තියෙනවා ඖෂධ අඩු වුණොත් ආසන්නතම රෝහලකින් ගෙන්වා ගන්න. නැත්නම් මිලදී ගන්න. සෑම රෝහලකටම ඒවාට මුදල් ලබා දීලා තියෙනවා. මේ තත්ත්වය තුළ ඖෂධයක් හිඟ වුණොත් එය ඔවුන්ගේ වරදක්. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඔබට ජනාධිපති හෝ අගමැති විය යුතුයි කියලා හිතෙන්නේ නැද්ද? ඒක සාමාන්‍ය සිතුවිල්ලක්. හැම දෙනාගේම බලාපොරොත්තුව එක තැනක ඉඳලා ඉහළට යෑම. මං බුදුවෙලා නැති නිසා ඒ බලාපොරොත්තුව මටත් තියෙනවා. වෛද්‍යවරුනුත් බොහෝ ජාවාරම්වල යෙදෙන බවට තොරතුරු තියෙනවා? ඔව්. වෛද්‍ය සංගමයේ නායකයෙක් ඉන්නවා වෛද්‍යවරුන්ගේ රක්ෂණයෙන් 3% ක කොමිස් එකක් ගන්න. තව නායකයෙක් ළඟදී සූර්ය බල පද්ධතියකින් ලක්ෂ 35 ක කොමිස් මුදලක් ඉල්ලලා. එහෙම කොමිස් ඉල්ලපු කතාවේ පටිගත කිරීම මට අහන්නත් සැලැස්සුවා. ඔහු ඒ හඬ පටය මට දෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන්න තියාගෙන ඉන්නවා. එවැනි දූෂිතයන් තමයි අනුන්ගේ දූෂණ හොයන්නේ. 2015 දී ඔබ සන්ධානය සමග සිටි සිවිල් සංවිධානවලින් බහුතරයක් දැන් නැහැ නේද? ඔබට පෙරත් මා මුණ ගැසුණේ සිවිල් සංවිධාන නියෝජිතයන්. හෙටත් සංවිධානවල පිරිසක් මා මුණගැහෙනවා. ඒ අයගෙන් කොටසක් 5 වැනිදාටම අපට එකතු වෙනවා. තවත් පිරිසක් ඊට පස්සේ එකතු වෙනවා. සිවිල් සංවිධාන සියයට වැඩි ගණනක් අපට එකතු වෙනවා. අපි අතර මොන ප්‍රශ්න තිබුණත් විපක්ෂයේ අපේක්ෂකයා ගෝඨාභය නම් අපි හැමෝම එකතු විය යුතුයි කියන මතයේ ඔවුන් ඉන්නවා. ඒකයි අපට ගෝඨාභය අපේක්ෂකයා වීමෙන් තිබෙන හොඳ. එකතු කරගන්න අමාරු ඔක්කෝම එකට එකතු වෙනවා ඒ නිසා. ඔබ උපන්ගෙයි වාමාංශිකයෙක්. ඇයි දැන් වම අමතක කරලා තියෙන්නේ? කවුරුත් මට එහෙම කියන්නේ නැහැ. වමේ කවුරුත් මට ගරු කරනවා. ඔවුන්ගේ මිත්‍රත්වයත් ඒ ආකාරයෙන්ම තියෙනවා. මම දන්නේ නැති කට්ටියට ඒක තේරෙන්නේ නැහැ. දීප්ති ප්‍රමිතා අධිකාරී
 

More News..