brand logo

මං ඔයාට දැන් සුබ පතන්නද එහෙම නැත්නම් පස්සේ සුබ පතන්නද

06 August 2019

පසුගිය සිකුරාදා ජනාධිපති මෛත්‍රී සහ විපක්ෂ නායක මහින්ද අපූරු ‘ඡායාරූප ප්‍රදර්ශනයක්‘ නරඹමින් සිටියහ. ඒ ජේ.ඩී.ඒ.පෙරේරා ගැලරියේ දී ය. එහි ප්‍රදර්ශනයට තබා තිබුණේ, ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයට සම්බන්ධ වෘත්තීය ඡායාරූප මාධ්‍යවේදීන් විසින් ගන්නා ලද ඡායාරූප ය. ‘පොලිස් කෝලම‘ නම් වූ ඡායාරූපය අසල නැවතුණු මහින්ද හඬ නගා එහි ‘කැප්ෂනය‘ කියුවේ ය. ‘‘පොලිස් කෝලම‘‘ ඒ වන විටත්, එම ඡායාරූපය නරඹමින් සිටි මෛත්‍රීට සිනාව නවත්වාගත නොහැකි වී තිබිණි. මෙකී ඡායාරූපයේ සටහන්ව තිබුණේ හිටපු පොලිස්පති ජූජිත් ජයසුන්දර නුවර පෙරහරේ නැටුමක යෙදෙන ආකාරයයි. ‘‘දැන් කියලත් ලොකු වෙනසක් නැහැනේ... ’’යි මහින්ද කීවේ නැවත වතාවක් ජනාධිපතිවරයා හිනස්සමිනි. මේ ආකාරයට දෙදෙනා විසින්, ඡායාරූපයෙන් ඡායාරූපය වෙත ගිය ‘නැරඹුම් චාරිකාව’ හමාර කරමින්, මුලින් ම ඉන් පිටතට පැමිණි මහින්දට සජිත් ප්‍රේමදාසව මුණගැසුණි. ‘‘ආ කොහොමද ඇමැතිතුමා? මං ඔයාට දැන් සුබ පතන්නද එහෙම නැත්නම් පස්සේ සුබ පතන්නද...? ’’ මහින්ද ඇසුවේය. ‘‘ඔබතුමාට කැමැති වෙලාවක සුබපතන්න... ’’ සජිත් පැවසීය. ‘‘එහෙම නම් මම ලැබුණට පස්සෙම සුබපතන්නම්කෝ... ’’ කියමින් මහින්ද පිටව ගියේය.
 

More News..