brand logo

මං අහිංසකයි ඉවෝන් මැරුවේ මම නොවේ

24 November 2019

නීති පොතේ හැටියට නම් ජනපතිවරයාට ඕනෑම වරදකරුවකුට ජනපති සමාව දිය හැකිය. මෛත්‍රිපාල සිරිසේන පමණක් නොව මින් පෙර සිටි ජනපතිවරු මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි අපරාධකරුවන් මෙන්ම දේශපාලන හේතූන් මත හිරේ ගිය අයටද ජනපති සමාව දී තිබේ. එහෙත් ඒ කිසිදු ජනපතිවරයකු දුන් ජනපති සමාවකට වඩා මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ගිය සතියේ දුන් ජනපති සමාවත් මුළු රටේම ආන්දෝලනයට ලක් විය. ඒ රාජගිරියේ රෝයල් පාක් මිනීමැරුම ලෙස ප්‍රසිද්ධියට පත් වූ සිද්ධියේ ඝාතකයාට ජනපති සමාව දීමය. එසේ නිදහස ලැබුවේ ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති තරුණයාය. දාහතර වසරකට ඉහතදී ඔහු වරදකරු වූයේ 2005 දී ස්විඩන් ජාතික ඉවෝන් ‌ජොන්සන් නමැති දහනව වියැති තම හිටපු පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනාවටය. මෙම චෝදනාවට කුරුවිට හිරගෙදර සිටි ජූඩ් ශ්‍රමන්ත ජනපති සමාව ලැබ නිදහස් වූ පසුව ඒ ගැන ඔහු මෙන්ම ඉවෝන් ජොන්සන්ගේ සොයුරියද අදහස් දක්වා තිබුණහ. එම මිනීමැරුමට පසුබිම් වූ කතාවේ සුලමුල හෙළි වූයේ ශ්‍රමන්තට එරෙහිව අධිකරණයේ පැවැති නඩු විභාගයේදීය. මේ එම නඩුවේදී හෙළි වූ තොරතුරු අනුව පළ වන ලිපි මාලාවේ දෙවැනි කොටසය. ඉවෝන්ට, ශ්‍රමන්තට සහ කරලැයින්ට සමාජශාලා ජීවිතය මෙන්ම ඒවාට යන එන බොහෝ අයද අමුත්තන් නොවේ. “හායි .... පවිත්‍ර.....” ග්ලෝබ් සමාජ ශාලාවේ තමන්ට වඩා මඳක් ඈතින් සිටි තරුණයකුට කරලැයින් අත වැනුවාය. උන් හිටි තැන් අමතක වූ ඇය පවිත්‍ර වෙත දිව ගියාය. දෙදෙනා මඳ වේලාවක් කතා කරමින් සිටියහ. එය දුටු ශ්‍රමන්තට කේන්ති ගියේය. “ මම එයාට කියලා තියෙනවා පවිත්‍ර එක්ක කතා කරන්න එපා කියලා..... පවිත්‍ර හොඳ කෙනෙක් නෙවෙයි........... එයා නිතරම කලහකාරියි.......” අසල සිටි ඉවෝන්ට ශ්‍රමන්ත කෝපයෙන් කීවේය. “රිලැක්ස්....... ශ්‍රමන්ත........ රිලැක්ස් ” ඉවෝන් ඔහුගේ කෝපය සමනය කරන්නට උත්සාහ කළාය. “ඇයි පවිත්‍ර එක්ක කතා කළේ..” තමන් අසලට ආ කරලැයින්ගෙන් ශ්‍රමන්ත ඇසුවේය. එය කෝපය මුසු ස්වරයකි. කරලැයින් නිරුත්තරය. ඉවෝන්ද නිහඬය. ගිය සෑම සමාජ ශාලාවකදීම මත්පැන් තොලගෑවද ඉවොන්, කරලැයින් සහ ශ්‍රමන්ත හොඳ සිහියෙනි. තිදෙනා යළි මෝටර් රථයට ගොඩ වූහ. ඉවෝන් බ්ලූ එලිෆන්ට් වෙත රිය පැදවූවාය. කරලැයින් සහ ශ්‍රමන්ත මෝටර් රථය තුළ එකිනෙකා සමග බැණ ගනී. මාතෘකාව පවිත්‍රය. නැගණිය කෙරෙහි ශ්‍රමන්තගේ කෝපය පහව ගොස් නැති බව ඉවෝන්ට වැටහිනි. ’‘ ඔය දෙන්නා රණ්ඩු වෙන එක නතර කරන්න....” ඉවෝන් නැගණියටත්, ශ්‍රමන්තටත් කීවාය. කරලැයින් හඬන්නට වූවාය. නැගණිය හඬන දුකට ඉවෝන්ද හැඬුවාය. ඉවෝන් සිටියේ නැගණියව හැඬවූ ශ්‍රමන්ත කෙරෙහි කෝපයෙනි. මෝටර් රිය බ්ලූ එලිෆන්ට් වෙත ළඟාවිය. කරලැයින් පළමුව රියෙන් බැස්සාය. පසුව ශ්‍රමන්ත රියෙන් බැස මඳක් ඈතට ගියේය. “ මම අවුරුදු ගාණක් ඇමරිකාවේ ඉඳලා ලංකාවට ආවේ එන්ජෝයි වෙන්න............ එහෙම වෙද්දී බොරු හේතුවලට ඔයාලා රණ්ඩු වෙන්නේ ඇයි.....” දැයි අසමින් ඉවෝන් ශ්‍රමන්ත වෙත ගියාය. ඔහු සිටියේ කරලැයින්ට පිටුපා මඳක් ඈතිනි. ඉවෝන් ශ්‍රමන්ත සමග කතා කරන ආකාරය කරලැයින් දුටුවාය. අක්කා ශ්‍රමන්තටද බණිනවා ඇති ..කරලැයින්ට සිතුණාය. එහෙත් ඇයට ඔවුන් කතා කරන දේ ඇසුනේ නැත. “ අපි ගෙදර යමු..” ශ්‍රමන්ත කීවේය. “ඔයාලා දෙන්නා යන්න.... මම ‘මයි කයින්ඩ් ඔෆ් පැලස් එකට යනවා..” ඉවෝන් කීවාය. “මයි කයින්ඩ් ඔෆ් පැලස් ’ යනු තවත් සමාජ ශාලාවකි. ශ්‍රමන්ත සහ කරලැයින් දෙදෙනා රෝයල් පාර්ක් වෙත පැමිණීමට කුලී රියකට ගොඩ වූහ. රියැදුරු අසුනට වම්පස අසුනේ ශ්‍රමන්ත අසුන් ගත්තේය. ඒ අසලට ආ ඉවෝන් “මේ ඔක්කොම ඔයාගෙ වරදින්......” කියා ශ්‍රමන්තට බැණ වැදුණාය. ඒ ඉවෝන්ගේ මුවින් කරලැයින්ට අසන්නට ලැබුණු අවසන් වචන කිහිපයයි. ඒ බව කරලැයින් දැන සිටියා නම්..? පෙම්වතුන් දෙදෙනා එකිනෙකා සමග කතාබහ කළේ නැත. දෙදෙනා රෝයල් පාර්ක් වෙත එද්දී වෙලාව අලුයම 2.00 පමණ විය. ශ්‍රමන්ත, කරලැයින්ට පෙර ඇගේ කාමරයට ගියේය. “ අක්කා කෝ....... ” මව කරලැයින්ගෙන් ඇසුවාය. “ආවා...... කාමරේට ගියා..” සුපුරුදු පරිදි කරලැයින් මවට බොරුවක් කියා සිය කාමරයට ගියාය. ඇයට කලින් කාමරයට ආ ශ්‍රමන්ත ඇගේ ඇඳ මත සිටියේය. “ ඔයා මගේත් අක්කාගේත් සතුට විනාශ කළා... ඇයි එහෙම කළේ.....” කරලැයින් ශ්‍රමන්තට දොස් නගමින් නාන කාමරයට ගියාය. ශ්‍රමන්ත සිගරට්ටුවක් උරමින් බැල්කනියට විත් කල්පනා කරන්නට විය. නාන කාමරයේ සිටි කරලැයින් තුවායක් ඇඟ දවටාගෙන යළි කාමරයට ආවාය. කරලැයින් දෙස මඳ වේලාවක් බලා සිටි ශ්‍රමන්තට ඇය කෙරෙහි ආදරයක් ඇති විය. ඔහු සිගරැට්ටුව නිවා කාමරයට ආවේය. විදුලි පහන නිවා දැමුවේය. අලුයම තුනට පමණ අවදි වූ ශ්‍රමන්ත “ කරලැයින්..මම හැමදාමත් ඔයාට ආදරෙයි ” කියා ඇයට කීවේය. පසුව ඔහු මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබාදී මෝටර් රථයක් ගෙන්වා ගත්තේය. ඔහු යළි සිය නිවසට යාමටම කරලැයින්ගේ කාමරයෙන් පිටවී පඩිපෙළ දිගේ පහත මාලයට බසින්නට විය. ශ්‍රමන්ත විසිතුන්වැනි මහලේ සිට පඩිපෙළ දිගේ පහළට බසිද්දී ඉවෝන්ද පඩිපෙළ දිගේ ඉහළට නඟින ආකාරය ඔහු දුටුවේය. ඒ අවස්ථාවේදී ශ්‍රමන්ත විසි දෙවැනි මහල පසු කරමින් සිටියේය. ඔහු එහි නතර විය. ඉවෝන් දුටු විගස ඔහු තුළ ඈ කෙරෙහි කෝපයක් උපන්නේය. “ මේ හැම දෙයක්ම කළේ මෙයා....... කවද හරි මට කරලැයින්වත් නැති වේවි.. ” එසේ සිතමින් සිටි ශ්‍රමන්ත අසලට ඉවෝන් ආවාය. ඇය ශ්‍රමන්ත සමග කතා නොකරම ඔහු අසලින් ඊළඟ පඩිය නගින්නට සූදානම් වූවාය. එහෙත් ශ්‍රමන්ත ඇගේ ගමන වැළැක්වූවේය. දෙදෙනා එකිනෙකාට බැණ ගන්නට වූහ. බහින් බස් වීම දුර දිග ගොස් දෙදෙනා පොර බදන්නටද වූහ. කෝපයෙන් සිටි ශ්‍රමන්ත ඉවෝන්ගේ තඹ පැහැති කොණ්ඩයෙන් අල්ලා ඇගේ හිස පඩි පෙළ මත දෙතුන්වරක් ගැසුවේය. පඩි පෙළෙහි ගැට්ට මත ඉවෝන්ගේ හිස කිහිපවරක් තදින් වැදීම නිසා හිස පුපුරා ලේ ගලන්නට විය... මුහුණපුරා සීරීම් තැලීම් ඇති විය. ඇගේ රූමත් මුහුණ ලෙයින් තෙත් විය. ශ්‍රමන්ත වියරුවෙන් මෙන් ඉවෝන්ගේ හිස යළි යළිත් පඩි පෙළෙහි ගැට්ට මත ගැසුවේය. සිහින් කෙඳිරියක් හැර ඉවෝන්ගේ මුවින් කිසිදු ශබ්දයක් පිට නොවිණි. ඉවෝන්ගේ ලෙයින් ශ්‍රමන්තගේ දෑත් රත් පැහැ වී ඇත. ඇගේ තඹ පැහැති හිසකෙස් පඩිපෙළේ තැන තැන විසිරී ඇත. කන් පළඳනාව, අත තිබූ වළලු.. කැඩී බිඳී පඩිපෙළ පුරා ඇත. ශ්‍රමන්ත ඉවෝන්ගේ කෙස් වැටියෙන් අල්ලා විසි දෙවැනි මහලේ පඩියේ සිට දහනව වැනි මහලේ පඩි පෙළ දක්වා බිම දිගේ ඇදගෙන ආවේය. බිත්තිය පුරා තැන තැන ඉවෝන්ගේ ලේ විසිරී තිබිණි. ඔහුගේ අතේ ඇති ලේ තරප්පු පෙළෙහි අත්වාරුව පුරා ගෑවී ඇත. ඉවෝන් නිහඬය.... ඇගේ සිරුර දහනව වැනි මහලේ පඩි පෙළ මතය. එය නිසලය. දෙපා ඉහළ පඩි මතත් හිස පහළ පඩිය මතත් සිටින සේ ඉවෝන්ගේ සිරුර තැබූ ශ්‍රමන්ත වියරුවෙන් මෙන් ඒ දෙස බලා සිටියේය. ඇගේ සිහින් තොල් සඟලින් පිටතට ලේ විසිවී තිබිණි. විසිරුණු හිසකෙස් ලේ සමග එකට ගැට ගැසී ඇත. ඇඳ සිටි හැට්ටය ඇඹරී ඉහළට එසවී තිබිණි. දිව පිටතට ඇදී දත් අතර සිරවී ඇත. මුහුණු පුරා ශ්‍රමන්ත මිට මොළවා එල්ල කළ ප්‍රහාර නිසා තුවාල වී තිබිණි. ශ්‍රමන්ත වහා ඇය ඇඳ සිටි කලිසම පහළට ඇද්දේය. එය කණපිට හරවා කකුල් දෙක පිටුපසින් ගෙන එම කලිසමෙන් ඉවෝන්ගේ ගෙල සිර කර ගැටයක් දමා සිරුර මුනින් අතට හැරවූයේය. තම ඇඟිලි සලකුණ හෝ ඇගේ සිරුර මත පතිත නොකරන්නට ඔහු වග බලා ගත්තේය. සියල්ල හමාර විය. ශ්‍රමන්ත රහසේම පැන ගත්තේය. පසුදා පහන් විය. “ අක්කා තවම ආවේ නැහැ.....” කියා කරලැයින් ශ්‍රමන්තට කෙටි පණිවුඩයක් යැව්වාය. “ මම තාත්තා එක්ක වත්තට යනවා” ශ්‍රමන්තත් උත්තරයක් එවා තිබිණි. “ අක්කව පහළ පඩිපෙළේ මරා දාලා..” මව විලාප තබමින් කෑ ගැසුවාය. “අනේ මගේ අක්කා... ” කරලැයින්ට කෑ ගැසිණි. ඇය ශ්‍රමන්තට දුරකථන ඇමතුම් කිහිපයක්ම ගන්නට උත්සාහ කළත් ඔහු සම්බන්ධ කර ගැනීමට හැකිවූයේ නැත. කරලැයින්ට සිය පෙම්වතා යළි හමුවූයේ ඉවෝන්ගේ අවසන් කටයුතු කරන මොහොතේදීය. එම මොහොතේ ශ්‍රමන්ත සුසානභූමියට පැමිණ සිටියේය. ඒ මරණය වී දින එකහමාරකට පමණ පසුවය. “මොකක්ද වුණේ.... කොහෙද මෙච්චර කල් හිටියේ..” කරලැයින් දුක්මුසු ස්වරයෙන් පෙම්වතාගෙන් ඇසුවාය. “අක්කාගේ මරණයට මාවත් සැක කරන්න පුළුවන්.” ඔහු කරලැයින්ට කීවේය. ඒ වන විට ඉවෝන්ගේ මරණය පිළිබඳ පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට පවරා තිබිණි. රහස් පොලිසියේ එදා ස්ථානාධිපතිවරයාව සිටියේ ශානි අබේසේකරය. ඔහුගේ උකුසු ඇස ශ්‍රමන්ත වෙත එල්ල වෙමින් තිබිණි. ඝාතනය ශ්‍රමන්තගේ වැඩක් බව ඒ වන විටත් රහස් පොලිසිය දැන සිටියේය. ඒ අනුව ඉවෝන්ගේ අවමඟුල දා ශ්‍රමන්ත ද රහස් පොලිස් අත්අඩංගුවට පත්විණි. “ මං අහිංසකයි....... ඉවෝන්ව මැරුවේ මම නෙවෙයි.. කරලැයින් එක්ක රාත්‍රිය ගත කරලා සිගරැට්ටුවක් දල්වාගෙන පඩිපෙළ බහිද්දී ලේ විලක් මැද ඉවෝන්ගේ නිරුවත් සිරුර තියෙනවා මම දැක්කා.. මම බය වුණා... ඒක හීනයක් වගේ... ඉවෝන් මම ඉතාමත් ආදරය කළ තරුණියක්.. ඇයව මරන්න මට කිසිම වුවමනාවක් නැහැ... ඉවෝන් එක්ක මගේ සම්බන්ධය ආරම්භ වුණේ වයස අවුරුදු දොළහ දහතුනේදී. මම ඉවෝන් එක්ක නිතරම එළියට යන බව කරලැයිනුත් දැනගෙන හිටියා..’’ යැයි ශ්‍රමන්ත තම නිර්දෝෂීභාවය ශානි අබේසේකර ඉදිරියේ කියා පෑවේය. රෝයල් පාර්ක් නිවාස සංකීර්ණ පඩිපෙළෙහි අත්වාරුව මත ලේ පැල්ලම් කිහිපයක් තිබෙන බව පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම දුටුවහ. එම අත්වාරුවල තිබෙන්නේ යමෙකුගේ අත්ල සටහනකි. එම අත්ල සටහන් නිර්මාණය වී තිබුණේ යමෙකුගේ ලේ වලින් බවද පැහැදිලි විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අත්ල සටහනේ ඇති ලේ සාම්පලයක් සහ ඉවෝන්ගේ ශරීරයේ ප්ලීහාවෙන් ගත් ලේ සාම්පලයක් ඩී. එන්. ඒ. පරීක්ෂණයන් සඳහා ජින්ටෙක් ආයතනයේ මහාචාර්ය මායා ගුණසේකර වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඊට අමතරව එම අත්ල සටහන ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුවටද යවනු ලැබුවේ ශ්‍රමන්තගෙන් ලබාගත් අත්ල සටහනක් ද සමගිනි. ඉවෝන්ගේ මරණය පිළිබඳ නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙද්දී ඩී. එන්. ඒ. පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට මහාචාර්ය මායා ගුණසේකර විවෘත අධිකරණයට ආවාය. ඇය සිටියේ දැඩි ලෙස ගිලන්වය. ඒ නිසා ඇය සාක්ෂි දුන්නේ ගිලන් ඇඳක සිටය. “පණ තිබුණොත් අනිවාර්යයෙන්ම මේ නඩුවට සාක්ෂි දෙන්න එනවා.. යැයි රහස් පොලිසියට කියා තිබුණු මහාචාර්යවරිය ඇයගේ සාක්ෂිය ඉදිරිපත් කරමින් කියා සිටියේ අදාළ රුධිර සාම්පලයේ ඇති ඩී. එන්. ඒ. ඉතා සුවිශේෂී බවය. ඊට හේතුව ස්විස් ජාතිකයකු පියා වීමත් මව ශ්‍රී ලාංකික වීමත් බව කී මායා ගුණසේකර ඒ නිසාම එම ඩී. එන්. ඒ. වල විශේෂ හඳුනා ගැනීමේ ලක්ෂණ ඇති බව කීවාය. ඒ අනුව අත්වාරුවේ තිබූ අත්ල සටහනේ ඇත්තේ ඉවෝන්ගේ ලේ බවද එම අත්ල සටහන සැකකාර ජූඩ් ඇන්තනි ශ්‍රමන්තගේ බවද මායා ගුණසේකර කීවාය. තරප්පු පෙළ මත ඇති අත්වාරුවේ තිබී ලබාගත් ඉවෝන්ගේ රුධිරය සහිත ඇඟිලි සටහන්වල වැටි ලක්ෂණ දොළහත් ශ්‍රමන්තගේ ආදර්ශ ඇඟිලි සටහන්වල වැටි ලක්ෂණ දොළහත් සමග ගැළපෙන බව ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්වරයාද සාක්කි දෙමින් තහවුරු කළේය. ඒ අනුව ජූඩ් ඇන්තනි ශ්‍රමන්ත විසින් ඉවෝන් ජොන්සන් ඝාතනය කළ බවට තහවුරු කළ හැකි විද්‍යාත්මක එකම සාක්ෂිය වූයේ ඉවෝන්ගේ රුධිරයෙන් නිර්මාණය වූ ශ්‍රමන්තගේ අත්ල සටහනය. ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙය අනියම් මිනීමැරුමක් බවට තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න සැකකාර ශ්‍රමන්තට වසර දොළහක සිර දඬුවමක් නියම කළේය. නීතිපතිවරයා වෙනුවෙන් නඩුව එදා මෙහෙය වූයේ එවක අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතායි. අද ඔහු අගවිනිසුරුවරයාය. මෙම සිර දඬුවම බල රහිත කරන ලෙස ඉල්ලා පසුව ජූඩ් ඇන්තනි ශ්‍රමන්ත විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය. මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව පිළිබඳ සෑහීමකට පත් නොවන බවද චූදිතට මරණ දඬුවම නියම කරන ලෙසද ඉල්ලා නීතිපතිවරයාද අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය. මෙම අභියාචනා පෙත්සම් දෙකම ඩබ්ලිව්. එල්. රංජිත් සිල්වා සහ නලින් පෙරේරා යන විනිසුරු මඬුල්ල හමුවේ එක නඩුවක් ලෙස නැවත විභාග විය. වසර දොළහක සිර දඬුවම අභියාචනාධිකරණය විසින් මරණ දඬුවමක් බවට පත් කළේය. අභියාචනාධිකරණය විසින් චූදිතයෙකුට මරණ දඬුවම තීන්දු කළ පළමු අවස්ථාව මෙය බවද පැවැසේ. චුදිත විසින් ඉවෝන් නමැත්තිය ඝාතනය කරද්දී ඔහුට ඇය ඝාතනය කිරීමේ චේතනාව තිබූ බව පැහැදිලි යැයි විනිසුරු මඬුල්ල තීන්දු කළහ. ඒ අනුව ඇත්නනි ජූඩ් ශ්‍රමන්ත නමැත්තාට මරණ දඬුවම නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක හුස්ම හිරවනතුරු චූදිත එල්ලා මරා දමන ලෙස තීන්දු කළහ. අභියාචනාධිකරණයේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයද අනුමත කළේය. පෝරකය දෑස මානේ තිබියදී ශ්‍රමන්ත අද ඉන් ගැලවී ඇත. වැළිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරක් තුළ ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක හුස්ම හිරවනතුරු චූදිත එල්ලා මරා දමන ලෙස අභියාචනාධිකරණය එදා දුන් තීන්දුව වෙනස් කරමින් ජනාධිපතිවරයාම ශ්‍රමන්තට සමාව දී ඇත. වයස අවුරුදු දහසයේදී මරණ දඬුවම හිමිවූ ශ්‍රමන්ත අවුරුදු තිස් හතරේදී නිදහස ලැබුවේය. දැන් ඔහු නිදහස් මිනිසෙකි. කෙළිලොල් යොවුන් විය ජීවිතයක සුන්දරම කාලය. ශ්‍රමන්තගේ යෞවනය අගාධයකට ඇද වැටුණේ ඇයි..? ඔහු පවසන ආකාරයට කුඩා කලදීම මවගේ හා පියාගේ වෙන්වීමය. අනෙක් කරුණ ජාත්‍යන්තර පාසල් සංස්කෘතිය. ඇතැම් ජාත්‍යන්තර පාසල්වල සිසු දරුවන්ට හුරු කරවන අසංවර ගති පැවතුම් ශ්‍රමන්තට පමණක් නොව ඉවෝන්ට මෙන්ම කරලැයින්ගේ චර්යාවන්ටද බලපෑම් කරන්නට ඇත. මේ සංකර බව අද අපේ රටේ සදාචාරය ගිල ගනිමින් පවතී. මෙම පාසල්වල ඉගෙන ගන්නා දරුවන් කුඩා කල සිට රාත්‍රි සමාජ ශාලාවලට යෑම, මත්පැන් පානය කිරීම, වැනි දෑ තම අධ්‍යාපනයේම කොටසක් බවට පත්කරගෙන සිටිති. ඊට කාන්තා පිරිමි භේදයක් නොමැත. ඇත්තනි ජූඩ් ශ්‍රමන්ත සිසුවාද ගොදුරු වූයේ මේ ඛේදවාචකයටය... ඉවෝන් කරලැයින් දෙදෙනා ගොදුරු වූයේද මේ ඛේදවාචකයටමය. දියණියන් දෙදෙනාට දෙමව්පියන් විසින් ලබා දී තිබූ බටහිර පන්නයේ නිදහසද මේ ඛේදවාචකයට ප්‍රධානතම හේතුවකි. මේ සියල්ල නිසා මවකට, පියෙකුට දියණියක අහිමි විය. කරලැයින්ට තම සොයුරිය අහිමි විය. ගැටවර වියේ සිටි තරුණයෙකුගේ සුන්දර යොවුන් විය සිර ගෙදරකට සීමා විය. ලබන සතියට.... අජිත් අලහකෝන්
 

More News..