brand logo

මංගල උත්සවයට එනකම් මනාලයා කවුද කියලා ආරාධිතයෝ දන්නෙ නැහැ

07 September 2020

පහුගිය සතිය කලා ලොවේ බොහෝ දෙනාට මංගල සීනු හැඩවුණු සතියක්. ඒ අතර හිටිය සුන්දර මනාලියක් තමා විනු කියන්නේ. සති අග අරුණ - පිනිපලස තුළින් මේ කතා බහ සුන්දර යුග දිවියක් ඇරඹු විනූ සමග... මුලින්ම සුබ පතනවා විනු- කසුන් දෙපළට සුබ අනාගතයකට ස්තුතියි... සති අග අරුණ - පිනිපලසටත් කොහොමද දැන් අනාගතය සැලසුම් වෙලා තියෙන්නේ... ඇත්තටම නොහිතපු විදියට ගොඩක් දේවල් සිද්ධ වුණා. ඒ හැම දෙයක් ගැනම සතුටුයි. ඉතින් මම හිතනවා මට ලැබුණේ හොඳම කෙනා කියලා. එතැනදී මගේ ජිවිතේ ඉදිරි සැලසුම් හැමදෙයක්ම සාර්ථකව කර ගන්න හොඳ සහයෝගයක් දෙන සැමියෙක් මට ලැබිලා ඉන්නේ. ඒකට හොඳම උදාහරණය මගේ විවාහ උත්සවය. මම හිතපු විදියටම ඒ දවස ලස්සන කර ගන්න ගොඩක්ම ශක්තියක් වුණේ ඔහු. මගේ පවුලේ අය ඔහුගේ පවුලේ අය එක්ක ඔහුගෙන් ඒ ලැබුණු ධෛර්ය සහයෝගය නැත්නම් මේ තරම් මේ දවස ලස්සන නොවෙන්න තිබ්බා. ඉදිරියටත් බලාපොරොත්තු තියෙනවා. ලොකු ලොකු ඒවා නෙවෙයි. පොඩි බලාපොරොත්තු. ඒ හැම දේටම ඔහුගේ සහයෝගය ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. විනුගේ පවුලේ පළමු විවාහය මේ... ඔව්... මම පවුලේ මද්දුමයා. මට ඉන්නේ අයියයි, නංගියි. අයියා මට වඩා අවුරුදු දෙකයි වැඩිමල්. නංගි නම් පොඩියි තාම. අපේ පවුලේ පළවෙනි විවාහ අත්දැකීම මේ විවාහ උත්සයවය. විවාහ දිනයක් සම්පූර්ණයෙන්ම සැලසුම් කරනවා කියන්නේ භාරධූර කටයුත්තක්. හැබැයි මට හැමෝගෙම සහයෝගය ලැබුණා. ඒත් සමහර දේවල් මට ඕනේ වුණා මමම ඇස් දෙකෙන් දැකලා තීරණය කරන්න. කොහොම හරි අවසානයේ මට ඕනේ වෙලා තිබුණු විදියට විවාහ උත්සවය සැලසුම් කර ගන්න පුළුවන් වුණා. කසුන්ගේ පවුලේ කසුන් කීවැනියද? එයා පවුලේ බාලයා. කසුන්ට ඉන්නේ අක්කා කෙනෙක් විතරයි. අක්කා විවාහ වෙලා කාලයක් වෙනවා. අක්කට ලොකු දුවෙක් සහ පුතෙක් ඉන්නවා. අක්කගේ පුතා දෙවැනි මනමාලයෙක්ටත් හිටියා. මොකද එයාට වයස අවුරුදු 16ක් වගේ. එයා උසයි සහ ලස්සන පෙනුමක් තියෙනවා ඒ නිසා දෙවැනි මනමාලයෙක්ට ගත්තා. කසුන් ඉතින් පවුලේ බාලයා නිසා හැමෝගෙම ආදරය ලබමින් ඉඳලා තියෙන්නේ. ඉතින් අම්මලා විවාහ යෝජනා එහෙම බලලා තියෙනවා. කොහොම හරි අවසානයේ මගේ වුණා. එයාගේ පවුලේ අය කියන්නෙ මාව ලැබෙනකම් ඉඳලා තියෙන්නේ කියලා. මේ ආදර කතාව පටන් ගන්නේ විවාහ යෝජනාවකින් නේද? මේක විවාහ යෝජනාවක් වුණාට අපිට ආදරයකට පෙරලා ගන්න ලොකු කාලයක් ගියේ නැහැ. අපේ ආදර කතාව ආදර සම්බන්ධය ඉතා ඉක්මනින් ගොඩ නැගුණා. ඒ දැනුණු බැඳීම් සහ ශක්තිය තමා අපේ විවාහය සිද්ධ වෙන්නත් තීරණය වුණේ. මේ වෙද්දී අපි දෙන්නටම දැනිලා තියෙන දේ තමයි පෙර ආත්මයේ ඉඳන්ම පතාගෙන එන්න ඇති කියන එක. විනුට ආව විවාහ යෝජනා එක්ක. විනුට කසුන් ව සුවිශේෂී වුණේ කොහොමද? මගේ තිබ්බ ආදර කතා එක්ක බැලුවම මේ ආදර කතාවට තමා අඩුම කාලය ලැබිලා තියෙන්නේ. නමුත් විවාහයකට යන්න සුදුසු කෙනා වුණෙත් එයාමයි. මොකද දවසින් දවස එයාව මට දැනෙන ප්‍රමාණය වැඩි වුණා. සමහර අය ඇසුරු කරද්දීනේ වැටහෙන්නේ තියෙන අඩුපාඩුකම් නොගැළපීම්. කසුන්ගෙන් මම දැක්කේ දවසින් දවස හොඳ ගතිගුණ. ආදරය කියන දේත් කිසිම අඩුවක් නැතිව කිසිම ලෝබකමක් නැතිව මට ලබා දෙනවා. මට හමුවුණු ගොඩක් අය තමන්ට තියෙන දේට වඩා වැඩි දෙයක් පෙන්වන්න උත්සහ කරපු එක. නමුත් කසුන් එහෙම නැහැ. බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න උත්සහා කරන කෙනෙක්. එයා පවුලේ අයට ගොඩක් ලැදි කෙනෙක්. එයා මගේ පවුලේ අයට ලබා දෙන ආදරයත් පුදුමාකාරයි. ඒ දේවල්වලට මම හරි කැමැතියි. කාලයක් තිබ්බ කතාවක් විනූ විවාහයෙන් පස්සේ රට යනවා කියලා... කාලයෙන් කාලයට විවිධ කතා ආවා. හැබැයි මම රට යන්නේ නැහැ. කසුන් වුණත් කැමති නැහැ රට යන්න. එයාගෙන් ඉගෙන ගන්න දරුවන් ගොඩක් ඉන්නවා. එයාත් කැමති එයාගේ දැනුම දරුවන්ට බෙදා දෙන්න. උසස් පෙළ පළවෙනියා දෙවැනියා පවා කසුන්ගෙන් ඉගෙන ගත් දරුවන් අතරින් බිහිවෙලා තියෙනවා. ඒ නිසා කසුන් දිගටම ඔහුගේ දැනුම දරුවන් එක්ක බෙදා ගන්න ඕනේ කියන තැන ඉන්නේ. මමත් ලංකාව දාලා යන්න ආස නැහැ. රටකට ගියත් මට ලොකු කාලයක් ඉන්න බෑ. උපරිම මාසයයි ඉන්න පුළුවන්. මේ උපන් රට තරම් වෙන රටක් වටින්නේ නැහැ. ලංකාව තරම් ජීවත් වෙන්න හොඳ රටක් මම දකින්නෙත් නැහැ. විවාහ දිනය වෙනකම් පෙම්වතා ගැන නොකීවේ ඇයි? කාරණා දෙකක් බලපෑවා. එකක් මම වැඩිපුර කාටවත් කියන්නේ නැහැ කියන තැන සහ මම කාලයක් ආශ්‍රය කරලා බලන්න ඕනේ කියන තැන මම හිටියා. පවුල් දෙකේ අය හැරුණම මගේ පාසල් මිතුරියන් දෙදෙනෙක් පමණයි කසුන් ගැන මුල ඉඳන්ම දැන ගෙන හිටියේ. අනික් අතට මාධ්‍යට පෞද්ගලික තොරතුරු අවශ්‍ය නැහැ කියන තැන මම ඉන්නවා. මගේ වෘත්තීය පැත්තෙන් තොරතුරු දැන ගත්තම ඇති කියලා මට හිතෙන්නේ. ඒ වගේම ඔහුගේ ක්ෂේත්‍රය ගැන මට ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. ඔහු ඔහුගේ ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය කෙනෙක්. ඒක මට ගොඩක් දැනුණේ විවාහ දිනය ළං වෙද්දී. සමහර තැන්වලදී මටත් වඩා එයා ජනප්‍රියයි කියන එක මට දැනුණා. එයාගෙන් ඉගෙන ගත්ත දරුවන් ගොඩක් ඉන්නවා. මම ඔහුගේ මුහුණ නොපෙනෙන ජායාරූපයක් සමාජ මාධ්‍යට දැම්මම සමහර දරුවන් කසුන්ව අඳුනගෙන තිබ්බා. ඒ තරමට ඔහුව දරුවන්ට සමීපයි. අනිත් අතට මගේ විවාහ උත්සවයට ගොඩක් අය ආවේ කවුද මේ කෙනා කියන කුතුහලයෙන්. අනුෂා රණසිංහ ඡායාරූප - ධනුෂ්ක සේනාධීර/ ඩාර්ක් රූම්
 

More News..