brand logo

මංගලට - රන්ජන්ට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා නොදීමට තීන්දුවක්

04 December 2019

ජනපතිවරණ සමයේදී මහා සංඝරත්නයට අපහාස වන අයුරින් කටයුතු කිරීම නිසා මංගල සමරවීර සහ රන්ජන් රාමනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහා මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට එජාපය තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (02 වැනිදා) පැවැති පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ. මහා සංඝරත්නයට අපහාස වන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කටයුතු කිරීම ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද නොලැබීමට හේතුවක් බව මෙහිදී සාකච්ඡා කෙරී තිබේ. තවද ‘හොරු ඇල්ලීමට’ යැයි කියා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරයක් ලබාදීමට සුදුසු බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කිරීම සහ ඔහු මැතිවරණ වේදිකාවට කැඳවීමද ඡන්ද අඩුවීම සඳහා බලපා ඇති බවද මෙහිදී සාකච්ඡා කර තිබේ. ආරක්ෂක අමාත්‍ය ධුරය සරත් ෆොන්සේකාට ලබාදීමට යෝජනා කිරීමද ඡන්ද අඩුවීමට තවත් හේතුවක් බව අනාවරණය වී ඇත. ත්‍රිවිධ රත්නයෙන්, සංඝරත්නය ඉවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ටිවිට්ර් ප ණිවුඩයක් නිකුත් කිරීමද ඡන්ද අඩුවීම කෙරෙහි බලපා ඇති බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබේ. මේ නිසා මංගල සමරවීර මන්ත්‍රීවරයාට නාමයෝජනා ලබා නොදීමට තීරණය කළද, ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර ඇති බැවින් එය අනවශ්‍ය බවද තීන්දු කර තිබේ. මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා සියයට 58ක් ලබා ජයග්‍රහණය කරන බවට රාජ්‍ය අමාත්‍යවරයකුට අයත් සමාගමකින් ලබාදී තිබූ මත විමසුමෙන් පක්ෂය රැවටීමකට ලක්කර ඇති බවද මෙහිදී සාකච්ඡා කෙරී ඇත. මේ පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමටද ජ්‍යෙෂ්ඨයන් තීරණය කර තිබේ. උදයජීව ඒකනායක
 

More News..