brand logo

මංගලගේ දර්ශන ගැන පැමිණිලි විභාගයට ගිය මැතිවරණ නිලධාරීන් රූපවාහිනි අඩස්සියට

08 November 2019

පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි මැතිවරණ කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේදී අඩස්සියට ගැනීම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (07 වැනිදා) රාත්‍රි එම ස්ථානයටම ගොස් දැඩි විරෝධය පළ කර ඇත. ජාතික රූපවාහිනි සංස්ථාවේ කැමරාකරුවන් දෙදෙනකු ඇමැති මංගල සමරවීරගේ නිල නිවසට ගොස් ලබාගත් දර්ශන පෙළක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා මෙම විමර්ශන කණ්ඩායම පැමිණ තිබේ. විමර්ශන නිලධාරීන් සංස්ථා පරිශ්‍රයට ගොස් එම දර්ශන පරීක්ෂා කර යළි පිටතට පැමිණෙන විට සංස්ථා සේවකයන් පිරිසක් ඔවුන්ට විරෝධය පළ කර කාර්යාල අඩස්සියට ගෙන ඇත. ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට පැමිණි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සංස්ථා සේවකයන්ට සහ නිලධාරීන්ට මෙම සිද්ධිය පිළිබඳ දැඩි විරෝධය පළ කර තිබේ. එම අවස්ථාවද කැමරා මගින් වීඩියෝ ගත කිරීමට සංස්ථා සේවකයන් පිරිසක් කටයුතු කිරීම නිසා සභාපතිවරයා එම දර්ශන මකා දැමීමට ද පියවර ගෙන ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පක්ෂපාති ලෙස ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියට එරෙහිව පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම පැමිණිලි කේන්ද්‍ර කර ගනිමින් කොමිසමෙ සභාපතිවරයා අවස්ථා කිහිපයකදී ජාතික රූපවාහිනි සංස්ථා බලධාරීන්ට දැඩි ලෙස අවවාද කර ඇත. උදයජීව ඒකනායක
 

More News..