brand logo

භූමිතෙල් ගඳ ගහන කතාවක්

16 February 2019

පසුගිය 10 වැනිදා පෙට්‍රල්, ඩීසල් මිල වැඩි කරන ලද්දේ යක්කු ගස් නගින මධ්‍යම රාත්‍රියේ සුබ මොහොතෙනි. මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් වන මිල වාර්තාව අනුව පෙනී යන්නේ මෙරට භාවිත පෙට්‍රල් වර්ග 3කුත් ඩීසල් වර්ග 2කුත් ඇති බවය. මිල සූත්‍රය අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින්ද, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 5කින්ද සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 8කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින්ද වැඩි කරන ලදී. නව මිල වැඩිවීම අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරය රු. 129ක්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 152ක් බවටද පත්වී ඇත. සුපිරි ඩීසල් ලීටරයක නව මිල 126ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු. 103කි. නමුත් ආණ්ඩුව පසුගිය ජනවාරි 10 වැනිදා පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින්ද අඩු කෙරිණි. ඩීසල් වැඩි වුණත් අඩු වුණත් අපේ බස් කර්මාන්තයට නම් බලපෑමක් නැහැ. ඒ ඇතැම් බස් හිමියන් කියන කතාවය. ඔවුන්ට ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතයෙන් බස් රථ ධාවනය කරවීම ගැනය. මෑතකදී මේ ගැන තලංගම ජයසිංහ මහතා කාටුන් එකක් ඇඳ තිබුණි. එම කාටුනයේ බස් මගියෙක් ඩීසල් අඩු වූ විටක බස් ගාස්තු අඩු නොවන්නේ මන්දැයි බස් හිමියන්ගෙන් අසයි. ‘‘ඩීසල් අඩු වුණාට භූමිතෙල් මිල අඩු වුණේ නැති නිසා බස් ගාස්තු අඩු කරන්නට බෑ’’ යයි බස් රථ හිමියෝ පවසන්නේ උපහාසයෙනි. මේ බස් රථ හිමියන්ට වසර 2ක් බස් රථය භූමිතෙලෙන් දුවා එම ලාභයෙන් බස් රථයට අලුත්ම එංජිමක් තැබීම සොච්චම් වැඩකි. ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතය ඒ තරම් අධික ලාභ ලැබිය හැකි කටයුත්තකි. බස් රථවලට භූමිතෙල් ගැසීම රටේ දැඩි කතාබහට ලක් වූයේ පසුගිය වසරේ මාර්තුවේදීය. ඒ වකවානුවේ ඩීසල්වලට භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරමක් එළියට ආවේ රටම මවිතයට පත් කරමිනි. මේ ජාවාරම ඛනිජ තෙල් සංස්ථාවට කෙතරම් පීඩනයක් වූවාදැයි කිවහොත් රථවාහනවලට, ෆැක්ටරිවලට, බවුසර්වලට තොග වශයෙන් භූමිතෙල් අලෙවිය තහනම් කරන්නට චක්‍රලේඛයක් වහා නිකුත් කරන්නට සිදුවිය. ඒ අවස්ථාවේ තෙල් සංස්ථාවේ සමීක්ෂණයකින් පෙනී ගියේ ඇතැම් පිරවුම්හල්වල බෙදුම්කරුවන් අධික ලාභ ලැබීමේ අරමුණෙන් මෙම භූමිතෙල් බස් රථ සඳහා ලබා දෙන බවය. භූමිතෙල් තවමත් ලබා දෙන්නේ සහනාධාරයක් මතය. මෙසේ අධික ලෙස බස් රථවලට භූමිතලේ භාවිතයෙන් එම බර පැටවෙන්නේත් මහජනතාව මතමය. ඩීසල් වෙනුවට බස් රථවලට භූමිතෙල් ගහන පිරවුම්හල්වලට මේ ජාවාරම හසුවූ අවස්ථාවේ ඛනිජ තෙල් සංස්ථාව දැඩි තරවටුවක් කරන ලදී. ඩීසල් වෙනුවට භූමිතෙල් බස් රථවලට ගැසීම නීතිවිරෝධී කටයුත්තක් නිසා එවැනි පිරවුම්හල්වල බෙදුම්කාර ධුරය අහෝසි කරන බවට ඛනිජ තෙල් සංස්ථාව චක්‍රලේඛයක් ද නිකුත් කරන ලදී. එහෙත් දැනට වසරකටත් වැඩි එම චක්‍රලේඛය අනුව තහනම් කළ පිරවුම්හලක් ගැන නම් අසන්නට ලැබුණේ නැත. අද සමහර තැන්වල පිරවුම්හල්වල ප්‍රසිද්ධියේ බස් රථවලට භූමිතෙල් ගසන අවස්ථා දක්නට හැකිය. ඉංග්‍රීසි ආණ්ඩුව වාහන ලියාපදිංචිය හා රියැදුරු බලපත් නිකුතුව ආරම්භ කරන ලද්දේ 1916 අංක 14 දරන පනත මගිනි. 1927 අංක 20 දරන මෝටර් කාර් ආඥා පනත ගෙන එන්නේ ඊට පසුවය. වර්තමානය වන විට වාර ගණනාවකදී සංශෝධනයට ලක් වී ඇති 1951 අංක 14 දරන මෝටර් රථ වාහන පනන ගෙන එන්නේ ඊටත් පසුවය. වාහන ලියාපදිංචිය ගැන මෙතරම් විස්තරයක් කියන්නට වූ‍යේ වාහනය ලියාපදිංචියේදී එයට භාවිත කරන ඉන්ධන වර්ගය පැහැදිලිව දක්වා ඇති නිසාය. ලංකාවට ‘ඉලෙක්ට්‍රික් කාර්’ ප්‍රථම වතාවට ගෙන ආ පසු ඒවා ලියාපදිංචිය දැඩි අර්බුදයකට ලක්වූයේ ඒවායේ ඉන්ධන භාවිතයක් නොවූ නිසාය. වාහනවල අංක නිකුත් කිරීමේදී ප්‍රභේදයක් ලෙස ඉන්ධන වර්ගය සැලකිල්ලට ගනී. මෙරට බස් රථවලින් 100%ක් මෑතක් වන තුරු ඩීසල් බස් රථ විය. එහෙත් ඇතැම් ජපන් බස් රථ අතළොස්සක් වායු සමීකරණ සහිතව ආනයනය කර තිබූ අතර ඒවාට ඩීසල් හා පෙට්‍රල් වෙන වෙනම යොදන ටැංකි දෙකක් තිබුණි. එම ඒසී බස්වල ඇංජිම ධාවනය සඳහා ඩීසල් යොදා ගැනෙන අතර වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියා කරවීමට වෙනම පෙට්‍රල් යෙදිය යුතු විය. දැන් දැන් ජපානයෙන් ආනයනය කරන බස් රථ අතර පෙට්‍රල්වලින් දුවන බස් රථ බොහෝමයක් දැක ගත හැකිය. දැන් අපේ බස් රථවලට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව ඩීසල් වෙනුවට භූමිතෙල්වලින් බස් රථ ධාවනය කරන බවය.එහෙත් සෘජුවම භූමිතෙල් භාවිත කරන බස් රථ මෙන්ම යන්ත්‍රෝපකරණද තිබේ. භූමිතෙලෙන් දුවන වාහන හෝ යන්ත්‍රෝපකරණවලදී සිදුවන්නේ එම භූමිතෙල් අංශක 100 ගණනට උෂ්ණත්වයට ගෙන උණුසුම් කොට ඇටමයිස් (Atamize) ගෑස් වශයෙන් භාවිතයට ගැනීමය. තවමත් මෙවැනි භූමිතලේ භාවිත කරන මැසි ෆර්ගියුසන් ට්‍රැක්ටර් උතුරේ දැක ගත හැකිය. මේවායේ එන්ජිම විග්කොන්ෂි එයාර් කූල් සිස්ටම් ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් ඩීසල් බස් රථයක එන්ජිමේ කාබලේටරය ඇත්තේ උඩුපැත්තටය. නමුත් භූමිතෙල් භාවිත එන්ජිමක කාබලේටරය ඇත්තේ ලම්භකවය. පසුගිය යුදසමයේ ඩීසල් මෙන්ම පෙට්‍රල් වාහනත් යාපනේ දුවන ලද්දේ කපුරු බෝල දැමූ භූමිතෙල් භාවිතයෙන් බව අද බොහෝ දෙනාට අමතකය. එම වාහන පාරේ දුවන විට යාපනේ පාරවල් කපුරු බෝල සුවඳෙන් මුළු පළාතම සුවඳවත් වූ බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බස් රථයක් වාහන බාසුන්නැහෙලා හඳුන්වන්නේ පුලින් පවර් (Pullna Power) අඩුවන බවය. ඒ කියන්නේ ඩීසල් බස් රථයක් තුන්වැනි ගියරයේ යන කන්දක භූමිතෙල් ගැසූ බස් රථයක් යන්නේ දෙවැනි ගියරයේය. එමෙන්ම භූමිතෙල් භාවිත බස් රථවලින් පරිසරයට සිදුවන හානිය අතිමහත්ය. මේ බස් රථවලින් පිටවන්නේ කාබන්ඩයොක්සයිඩ් හා කාබන්මොනොක්සයිඩ්ය. කාබන් බද්ද තුළින් මේ ආණ්ඩුවට මේ බස් රථවලින් හොඳ ගතමන්ට් එකක් සොයා ගත හැකිය. භූමිතෙල් භාවිත බස් රථවලින් නිකුත් වන දුම ආඝ්‍රාණයෙන් ඇදුම, පපුවේ මහන්සිය හැදෙන්නේ නිතැතිනි. මෙම දුම ආඝ්‍රාණයෙන් හෘදයාබාධද ඇති වන බව අලුතෙන්ම සොයාගෙන ඇත. පෙණහලුවල කාබන් බැඳීමෙන් සිදුවන හානිය අති භයානකය. ස්වාසනාල හරහා මෙම වායූන් ගමන් කිරීමෙන් දොස්තරලාටවත් සොයාගත නොහැකි රෝගාබාධ වැලඳීම ඒකාන්තය. මෙහිදී ප්‍රධාන ප්‍රශ්නය මේ භූමිතෙලෙන් දුවන බස් රථවලට දුම් සහතික ලබා ගන්නේ කෙසේදැයි යන පැනයයි. ලංකාවේ ඇති නොම්මර එකේ ජාවාරම දුම් සහතික නිකුත් කිරීමයි. මේ දුම් සහතික ගැන ප්‍රායෝගික අත්දැකීමක් මා සතුව ඇත. ඒ ගැන ලිඛිත සාක්ෂිද ඇත. මීට වසර කීපයකට පෙර ෆිනෑන්ස් තිබුණ වෑන් රථයක් බොරැල්ලේ ගරාජයකට ගෙන යන ලද්දේ එන්ජිම ගලවා අලුත් එන්ජිමක් තැනීමටය. ඇන්ජිම බිම තැබූ දින රාත්‍රියේ ෆිනෑන්ස් කොම්පැනිය විසින් සීසර්ලා යොදවා වාහනය පැහැරගෙන ගියේ දොඹකරයක් ආධාරයෙනි. මාස කිහිපයකට පසු මෙම වාහනය අලෙවි කිරීමට මිල ගණන් කැඳවා තිබූ අතර එම රථයේ දුම් සහතිකය ගෙන ඉදිරි වසරට ලයිසන්ද ගෙන තිබුණි. එතකොටත් වාහනේ එන්ජිම බොරැල්ලේය. එසේ නම් ස්ටාට් වන්නේවත් නැති වාහනවලට දුම් සහතික ගත හැකි නම් භූමිතෙල්වලින් දුවන බස් රථවලට දුම් සහතික ගැනීම මොන කජ්ජක්ද? ලංකා ඉතිහාසයේ භූමිතෙල් ගැන ඉහළම සටහන තැබූ දිනය වන්නේ 2018 මැයි 10 වැනිදාය. එදා උදේ රු. 44ට තිබූ ලාම්පුතෙල් ලීටරය මධ්‍යම රාත්‍රියේ රු. 101 දක්වා තත්ත්වය උසස් කළේ භූමිතෙල් බස්වලට ගහන චෝදනාව නිසාය. භූමිතෙල් මිල බස්සන්නට එදා පෙරට ආවේ ධීවරයන්ය. ඒ ඔවුන්ගේ යාත්‍රා සඳහා යොදා ගන්නා භූමිතෙල් මිල 100%කටත් වැඩි කිරීමෙන් ධීවර කර්මාන්තය කොට උඩ යන නිසාය. එහෙත් මේ සටනට බස් රථ හිමියන් එක්වූයේ නැත්තේ බස් රථවලට භූමිතලේ ගසා දිවීම නීතිවිරෝධී කටයුත්තක් නිසාය. භූමිතෙල් මෙරට දේශපාලනය තුළ ප්‍රබල සාධකයකි. 2012 වසරේ පෙබරවාරි 15 වැනි දින හෙවත් මීට වසර 7කට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පුවත්පත් දැන්වීම් පළ කළේ ඊට දින තුනකට පසු විදුලිය නැති සෑම නිවසකටම රු. 200ක් වටිනා භූමිතෙල් සහනාධාරයක් දෙන බවටය. ජේ.ආර්. ගේ පාලන යුගයේද ඩීසල් බස්වලට භූමිතෙල් ගැසීමේ අර්බුදයක් හටගත් බව බොහෝ දෙනාට අමතකය. ජේ.ආර්. ඊට දුන්නේ ප්‍රායෝගික විසඳුමකි. භූමිතෙල් ගහන ඩීසල් වාහන සඳහා 50 ශ්‍රී නමින් වාහන කාණ්ඩයක් හඳුන්වා දුන් ඔහු ඒ සඳහා රු. 1200ක බලපත්‍ර ගාස්තුවක් නියම කළේය. භූමිතෙල් ගැසූ ඩීසල් බරවාහන 51 ශ්‍රී ලෙස රෙජිස්ට්‍රාර් කර රු. 2400ක බලපත්‍ර ගාස්තුවක් අයකරන්නට ජේ.ආර්. තීන්දු කළේය. මීට වසර 39කට පෙර මෙම බලපත්‍ර ගාස්තුව විශාල මුදලකි. ජේ.ආර්ගේ විසඳුම අද දක්වා ක්‍රියාත්මක වූවා නම් බස් රථ හිමියන්ට නීත්‍යනුකූලවම භූමිතෙල් භාවිත කොට බස් රථ දුවන්නට හැකියාව තිබුණි. ඒත් ඒ දුවන බස්වලින් නිකුත් වන වායුවේ දුර්ගන්ධය නම් බලපත්‍රයෙන් වැසිය නොහැකිවනු නියතය. වජිර ලියනගේ
 

More News..