brand logo

භික්ෂූන් වහන්සේලා හතළිස් දහසකට සිවුරු සළුසලෙන්

18 September 2020

මෙරට සංඝරත්නය වෙනුවෙන් අවශ්‍ය කරන සිවුරු දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස කර්මාන්ත ඇමැති විමල් වීරවංශ ලංකා සළුසල ආයතනයේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ. මෙරට වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා 40,000කට අධික පිරිසක් වෙනුවෙන් අවශ්‍ය කරන නියමාකාර ප්‍රමිතියෙන් යුතු සිවුරු වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ආනයනික සිවුරුවලින් බවත් ඊයේ (17 වැනිදා) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. එහිදී කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ලදී. මීට දශක ගණනාවකට පෙර මෙරට ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු සිවුරු රාජ්‍ය ආයතනයක් වන ලංකා සළුසල ආයතනය විසින් නිර්මාණය කළ බව උන්වහන්සේ කියා සිටියේය. නමුත් පසුකාලීනව දේශීය සිවුරු නිෂ්පාදනය ඉතා අවම මට්ටමකට වැටීම නිසා තායිලන්තය වැනි රටවලින් මෙරටට සිවුරු වැඩි වශයෙන් ගෙන ආ බවත් පැවැසීය. මෙකී කරුණු සැලකිල්ලට ගනිමින් නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිවුරු නිෂ්පාදනයට අවශ්‍ය අධ්‍යයනයන් සිදුකරන ලෙස මෙම සාකච්ඡාවට පැමිණ සිටි ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් අභ්‍යාස ආයතනයේ නිලධාරීන්ට විමල් වීරවංශ ඇමැතිවරයා උපදෙස් ලබාදුන්නේය. ශිරන්තනි මානවඩු
 

More News..