brand logo

භානුකලත් මහින්දලත් නෑදෑ‍යෝ ද ?

17 September 2022

භානුකගේ පරම්පරා ඉතිහාසය සොයා

රාජපක්ෂලා තරම් මෙරට අටලෝ දහමට පාත්‍රවූ අනෙක් පවුලක් නොමැති තරම්ය. 2009 වසර වන විට තිස් වසරක යුද්ධයක් නිම කරමින් සමස්ත ශ්‍රී ලාංකේය ජාතියට අභය දානය දීමේ ‘පිනට’ දෙවිවරුන් ලෙසින් සැලකුම් ලැබූ රාජපක්ෂලා ඉන් වසර දුසිමක් ගෙවී යන කල එකී සමාජයේම මිනිසුන් විසින් දුම්මල ගසා එළවිය යුතු යක්ෂ පරම්පරාවක තැනට ඇදදැමීය. රාජපක්ෂ සංහතියම එසේ බැණුම් අසද්දී, එයින් සහමුලින්ම වෙනස් ප්‍රතිචාරයකට ලක්ව මුළු රටක ආදරයට පාත්‍ර වූ රාජපක්ෂ කෙනෙක් ඉතිරිවිය. ඒ වනාහී භානුක රාජපක්ෂය. ඉකුත්දා ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පිලේ වැටී තිබූ ඉනිම ගොඩගනිමින් තරගයේ වීරයා බවට භානුක රාජපක්ෂ පත්වූ විට ‘රටම ආදරය කරන එකම රාජපක්ෂ’ ලෙසින් සමාජ මාධ්‍යවල සමහරක් පෝස්ටු පළව තිබුණේ ඒ රාජපක්ෂලාට ගල් ගසන ගමන් මෙම රාජපක්ෂට මල් පිදීමටය. මේ අතරවාරයේ ඒ රාජපක්ෂලා සහ මේ රාජපක්ෂලා ඥාතින් යැයි සමාජයේ සමහරෙක් කීහ. සමහරක් වෙබ් අඩවිවල පවා එවැනි ඥාතිත්වයක් ගැන සඳහන් කර ඇත්තේය. සැබැවින්ම මේ රාජපක්ෂ ඒ රාජපක්ෂලාගේ පරපුරේ අයෙක්ද? ඒ රාජපක්ෂලාත් මේ රාජපක්ෂලාත් අතර දුරින් හෝ ඥාතිත්වයක් ඇත්තේද? අපි භානුකගේ පරම්පරා ඉතිහාසය හාරැවිස්සුවේ ඒනිසාය. භානුකගේ තාත්තාගේ තාත්තා නැතහොත් සීයාගේ පරම්පරාවේ ඇත්තෝ මාතරය. ඔහුගේ තාත්තාගේ මව උඩරටය. එහෙත්, ප‍්‍රමෝද් භානුක බණ්ඩාර රාජපක්ෂ යන භානුකගේ සම්පූර්ණ නමේ ‘බණ්ඩාර’ කොටස එන්නේ ඒ උඩරට සම්බන්ධයෙන් නම් නොවේ. භානුකගේ පියපස පරම්පරාවේ වාසගම ‘රාජපක්ෂ’ පමණක් නොවේ. ඒ වාසගම ‘බණ්ඩාර රාජපක්ෂ’ ය. එකී පරම්පරාවේ සෙස්සෝද භාවිත කරන්නේ ‘බණ්ඩාර රාජපක්ෂ’ නාමයයි. භානුකගේ මුත්තනුවන්ගේ මුල මාතර වුවද ඒ පියපස මුත්තනුවන් හා මිත්තනියගේ පදිංචිය කොළඹ රත්මලාන ප්‍රදේශය විය. භානුකගේ පියපස එකී පරම්පරාව ව්‍යාපාරිකයන් වූ අතර පංචිකාවත්තේ ඔවුනට වාහන අමතරකොටස් ව්‍යාපාරයක් විය. භානුකගේ පියපස ඥාති පරම්පරාව හෙවත් රාජපක්ෂ පරම්පරාව විහිදුනේ මාතර දක්වා පමණි. ඉන් ඔබ්බට ඔවුන්ගේ ඥාති රාජපක්ෂලා ‍නොවීය. එනම් මැදමුලනේ රාජපක්ෂලා හා මේ බණ්ඩාර රාජපක්ෂලා දෙපිරිසකි. එසේ නොවන්නට වෙනත් පසකින් හෝ භානුකට, මැදමුලන රාජපක්ෂ පවුලේ ඥාතිත්වයක් තිබේද යන්නත් අපි සොයා බැලුවෙමු. භානුකගේ මවුපස ඇත්තෝ ‘සිංගාරවේල්’ වාසගම ඇත්තෝය. ඔවුන් එදා පටන්ම රත්මලාන ආශ්‍රිතව විසූ අය ය. භානුකගේ සීයා නිහාල් සිංගාරවේල් යනු රටේ නමගිය අධිනීතිඥවරයෙකි. එම අධිනීතිඥතුමා සහ දිනේෂ් ගුණවර්ධන දේශපාලන පරම්පරාව අතර ඇති හිතවත්කම් මත මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා දැන හඳුනාගෙන තිබුණිද එය බොහොම සාමන්‍ය මට්ටමේ හිතවත්කමක්ම මිස කිසිදු ඥාති සබඳතාවක් ඔවුන් අතර නොවීය. එයද එකී පරම්පරාවට පමණක් සීමාවිය. මේ පරම්පරා ඉතිහාසය හාරාඇවිස්සීමේදී මෙකී පවුල් දෙකේම ඉතිහාසයත් වර්තමානයත් දන්නා අයෙකු අපට පැවසුවේ ‘භානුකගෙ ගෙදර අය මහින්ද රාජපක්ෂලා එක්ක ඥාතිත්වයක් තියා, මම හිතන්නෙ නෑ සාදයකදිවත් මුණගැසිලා තිබෙනවාය කියලා’ය. ‘අනික ඔය දෙගොල්ලො ඥාති නම් භානුක ඔය තරම් දක්ෂ වෙලා අවුරුදු 10ක් විතර ජාතික කණ්ඩායමෙන් කැපිලා තියෙන්නෙ නෑනේ. එහෙනම් භානුකට අසාධාරණයක් නොවෙන්න මහින්දලා පෙනී ඉන්නවනේ’ යනුවෙනි.එයද බැහැර කළ හැකි තර්කයක් නොවේ. ඒ රාජපක්ෂලා එක ආරයකි. මේ රාජපක්ෂලා තව ආරයකි. ‘ආරේ ගුණ නෑරේ’ කියමට අනුවත් භානුකලා ඒ රාජපක්ෂලාගෙන් වෙනස්ය. මහින්ද රාජපක්ෂගේ වචනයෙන්ම කියනවා නම් ඔවුන් දකුණේ ‘බයියන්’ ය. ඒ බයියෝ කොස්, දෙල්, අල, බතල කෑමට ප්‍රියයෝය. භානුක රාජපක්ෂලා එයට වෙනස්ය. භානුක වැඩිපුරම කෑමට කැමති චොකලට්ය. වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු මිකී ආතර් විසින් කියා තිබුණේ භානුකගේ ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යෑමට ඔහුට බාධකය වී ඇත්තේ චොකලට් කෑමට ඇති අධික ප්‍රියතාවය යැයි කියාය. භානුකලා හෙවත් මේ බණ්ඩාර රාජපක්ෂලා චොකලට් කන රාජපක්ෂලාය. මහින්දලා හෙවත් ඒ රාජපක්ෂලා හැලප, මුං කැවුම්, ආස්මී කන රාජපක්ෂලාය. මේ සහමුලින්ම වෙනස් පරම්පරා දෙකකි. ඉන්ද්‍රජිත්
 

More News..