brand logo

භාතිය සන්තුෂ් රෝහණට සුනිල්ට ඇඩ්‍රස් නැති කරයි

27 February 2021

ගීතයක් නිර්මාණය වන්නේ තුන් කට්ටුවකගේ එකතුවෙනි. ඒ ගීතය ලියන්නා, ඊට තනුව නිමවන්නා සහ ගීය ගයන්නා ලෙසිනි. නමුත් එසේ නිර්මාණය වූ ගීතයේ හිමිකරුවා ලෙස ආරම්භයේ සිටම ගීත ක්ෂේත්‍රය තුළ පෙන්වූයේ සහ පිළිගැනුණේ ගායන පාර්ශ්වය පමණි. ග්‍රැමෆෝන් යුගයේ සහ ගුවන්විදුලිය ආරම්භක යුගයේද ගීතයේ හිමිකම දී තිබුණේ ගායකයාටමය. ගුවන් විදුලි යුගයේ මුල් කාලයේ ගීතයක් වාදනයට පෙර නිවේදක නිවේදිකාවන් කීවේ මේ ගීතය ගයන ගායකයා හෝ ගායිකාව අසවලාය යන්න පමණි. ඒ නිසාම දශක ගණනාවක් යන තුරුත් ගීතය යනු ගායන පාර්ශ්වයට අයත් වූවක් ලෙස තහවුරුව පැවතුණි. එහිදී සංදර්ශන ක්ෂේත්‍රයේත් මුදල් ලැබුණෙත් ගායන පාර්ශ්වයට පමණි. අදට වඩා එදා ‘ගීතය’ නිර්මාණය වූයේ මුදලටම නොවේ. ගීපද රචකයා නොමිලේ ලියූ ගී බොහෝය. නොමිලේ නිර්මාණය කළ තනු බොහෝය. එදා සරල ගී පරීක්ෂණයකින් සමත් වන ගායකයකුට බොහෝ ගීත ලියවුණේත් තනු නිමවුණේ මිතුරුකමටයි. බොහෝ ජනප්‍රිය වූ මේ ඇතැම් ගීතවලින් ඉන්පසු ‘ගායක ගායිකාවන්’ පමණක් වේදිකාවේත්, තැටිපදවලිනුත් ඇතැමුන් පසුකාලීනව යූ ටියුබ් චැනල්වලිනුත් ඉපැයීම් කරද්දී රචකයාටත් සංගීතඥයාටත් සිදුවූයේ එදෙස උපේක්ෂාවෙන් බලා සිටින්නට පමණි. 1979 වසරේ එවකට වෙළෙඳ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් බුද්ධිමය දේපළ පනත ලංකාවට හඳුන්වා දෙනුයේ ගීත ක්ෂේත්‍රයේ එවන් පසුබිමක් පැවැති සමයකයි. ඊට සමගාමීව ජන මාධ්‍ය අමාත්‍යව සිටි ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ සංකල්පනාවකට අනුව ගීතයේ අයිතිකරුවන් තුන් දෙනාටම එක හා සමාන සාධාරණයක් වුණේය. ඒ ගුවන් විදුලියේ ගීතයක් ප්‍රචාරය වෙද්දී එහි පද රචකයාට, තනු රචකයාට මෙන්ම ගායන ශිල්පී ශිල්පිනියන්ටද රුපියල බැගින් ගෙවීමටයි. ගීතයකට මුල්ම කතෘභාවය ප්‍රදානය කෙරුනේ ඒ ඇසුරිනි. ඉන්පසු ගුවන් විදුලියෙන් ගායකයාගේ මෙන්ම සංගීතඥයාගේත් රචකයාගේත් නමද ප්‍රචාරය වුණේය. එකල එය අසන කෙනකුට නම් ‘ගීතයක්’ මේ පාර්ශ්ව තුනටම අයිතිය යන්න හිතට දැනුණේය. එසේම ගීතයේ හිමිකරුවන් තිදෙනාගේම හිතට එය සතුටක්ද විය. නමුත් ඇතැම් අවස්ථාවක සමහර නිවේදක නිවේදිකාවන් එදවස ඒ නම් කීමද නොසලකා හැරි අවස්ථා බොහෝ විය. ඉන් අවුරුදු දෙකකට පසු ඒ රුපියල රුපියල් දෙක බැගින් ගෙවන්නට නියම විය. ඒත් ටික කලකින් අනතුරුව ගුවනින් ප්‍රචාරය වන ගීතවලට ගෙවීම සම්පූර්ණයෙන්ම නැවතී ගියේය. ගුවන් විදුලි ගීතයට එවන් ඉරණමක් අත් වෙද්දී පෞද්ගලික නාළිකාවන්ගේ ආරම්භයත් සමග තවත් අසාධාරණයක් සිදුවුණේය. ගීතයට ගෙවීමක් තබා ගීතයේ හිමිකරුවන් තිදෙනාගේම නම්වත් සඳහන් කිරීම ඔවුන් කළේ නැත. ඒත් පළකට නැති තොරතෝංචියක් නැති හිස් වචනවලට පත් වෙළෙඳ දැන්වීම්වලටත් රටටම ඇසෙන්නට බොළඳ සංවාද කරමින් හුරතල් වන්නටත් කාලය නම් තිබුණි. ලෝක බුද්ධිමය දේපොළ සංවිධානයේ මෙහෙයවීමෙන් ඔවුන්ගේ දේශකයන් ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපොළ හිමිකම් කාර්යාලය හරහා ලංකාවට පැමිණ අපේ නිර්මාණකරුවන් දැනුවත් කිරීම වරින් වර සිදු වූයේත් මේ කාලයේය. ඔවුන්ගේ ආරාධනයෙන් අපේ නිර්මාණකරුවන්ද විදෙස් රටවල එවැනි සම්මන්ත්‍රණවලට සහභාගි කරවා ගැනීමත් තවත් පැත්තකින් සිදුවිය. ඒ අතරතුරේ සංගීත නිර්මාණකරුවන්ගේ සුබසාධන සංගමයක අවශ්‍යතාව ලාංකීය සංගීත නිර්මාණකරුවන්ට ඇතිවිය. ඒ අනුව ජයන්ත ධර්මදාස මහතාගේ සභාපතීත්වයෙන් OSCA නමින් සංගීත නිර්මාණකරුවන්ගේ සංවිධානයක් බිහි වුණේය. සංගීත නිර්මාණකරුවන්ගේ සුබ සාධනයට අමතරව ඔවුන්ගේ අයිතීන් හා හිමිකම් පිළිබඳවද මේ කාලයේ එම සංවිධානය උනන්දුවෙන් කටයුතු කළේය. බුද්ධිමය දේපොළ හිමිකම් කාර්යාලයේ උපදෙස් පරිදි OSCA සංගීත නිර්මාණකරුවන්ට බොහෝ අයිතීන් ලබාදීමට කටයුතු කළේය. ඒත් අවාසනාවට එම සාමාජිකත්වයෙන් කොටසක් අධ්‍යක්ෂ මණ්ඩලය හා ඇති වූ විරසකභාවය හේතුවෙන් එතැනින් ඉවත්ව ගොස ACPO නමින් අලුත් සංගමයක් ආරම්භ කළහ. ලෝක බුද්ධිමය දේපොළ සංවිධානයේ නිර්​දේශය වූයේ ශිල්පීන්ගේ නිර්මාණ සියල්ල කිසියම් සංවිධානයකට පවරා ඒ සංගමය මගින් කර්තෘභාග ලබා ගැනීමේ වරම ලබා ගත යුතු බවයි. ඒ වෙනත් රටවල සිදු කෙරෙන පිළිවෙතයි. ඔවුන් විසින් අප සංවිධානවලට දැන්වූයේද එයයි. ඒත් මේ සංවිධාන දෙකේ කඹ ඇදිල්ල නිසා ‘අයිතීන්’ කෙසේ වෙතත් ශිල්පීන් භේද භින්නවීම නම් සිදුවුණේය. ඒ අතරතුර 2003, 2011, 2019 සහ 2020 වසරවල බුද්ධිමය දේපොළ පනත වරින්වර සංශෝධනය හා යාවත්කාලීන වෙමින් නීති කෙටුම්පත් ගැසට් නිවේදන නිකුත් කළේය. එහෙත් විද්‍යුත් නාළිකා ඇස්කන් පියාගෙන එහෙව් පනතක් ගැන කිසිවක් නොදන්නා සේ මුනිවත රැක්කේ මේ සංගම් අරගලය තුරුම්පුවක් කරගෙනයි. ලෝක බුද්ධිමය දේපොළ සංවිධානයේ නීති රීතිවලට අනුව කර්තෘභාග දේශීයව හා ජාත්‍යන්තරවද (සමාජ මාධ්‍ය ඔස්සේ) අයකිරීමේ බලය ඇත්තේ එක් CMO ආයතනයකට පමණය. මේ කඹ ඇදිල්ලෙන් පාඩු සිදුවන්නේ සමස්ත කලාකරුවන්ටම නිසා නිර්මාණ ක්ෂේත්‍රයේ යෙදී සිටින තරුණ කොටස් ප්‍රබලව නැගී සිටියේය. පසුගියදා ඒ නිසා ACPO සංවිධානය OSCA සංවිධානය සමග එක්ව එක සංගමයක් ලෙස කටයුතු කරන්නට එකඟ වුණේය. OSCA ආයතනයේ සිටි අධ්‍යක්ෂ මණ්ඩලය තුළ නිර්මාණකරුවන් නියෝජනය වූයේ නැත. එය එක්තරා අඩුපාඩුවක් වූවේය. බුද්ධිමය දේපොළ හිමිකම් කාර්යාලය හා ජාත්‍යන්තර සංවිධානවල උපදෙස් මත මුල්වරට නිර්මාණකරුවන් දෙදෙනකු අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කර ගනු ලැබීය. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නත් රෝහණ වීරසිංහ වන මමත්ය. පසුව මේ ආයතනයට තරුණ සංවිධානය එකතු වීමත් සමග භාතිය ජය​කොඩි මහතාටද අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරක් ලැබුණි. OSCA සංවිධානයටත් එහි පැරණි සාමාජිකයන්ටත් නූතන සංගීත ලෝකයේ නව ප්‍රවණතා හිමිකම් අයිතිවාසිකම් ගැන බොහෝ දේ දැනුවත් කළේ ඔහු ඇතුළු පිරිසයි. මේ එක්සත්කම හා තරුණ ජවය තුළ මුළු මහත් සංගීතකරුවන් තුළම අලුත් බලා​පොරොත්තුවක්ද මෝදු වුණේය. කෙසේ වුවත් සංගම් දෙකම එකක් වූවාට පසුව විද්‍යුත් නාළිකාවන්ට කර්තෘභාග ගෙවීම බෑ කියන්නට බැරි වුණේය. මාස් පතා OSCA සංවිධානයට කර්තෘ භාග ගෙවීමට ඔවුන්ගේ මාධ්‍ය සංසදය එකඟ වුණේය. නමුත් තරමක් ලජ්ජාවෙන් කිවයුතු දෙයක් ඇත. ඔවුන් එකඟත්වයකට පැමිණියේ එක් ගුවන් විදුලි ගීතයකට පාර්ශ්ව තුනම වෙනුවෙන් රුපියල් විස්සක මුදල් ගෙවීමටයි. රුපියල් 20 අද යාචකයකුට දෙන තරමේ මුදලක් බව ඔවුන්ට නොතේරීම කනගාටුදායකය. දැනට දෙරණ, හිරු, සිරස, වී.එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාව එසේ මුදල් ගෙවන්නට එකඟ වූ අතර ඔවුන්ගේ රූපවාහිනී ගීතයකට රුපියල් 100ක් ගෙවීමටද එකඟ වුණේය. ඒත් ඒවාද පිළිවෙළකට මාස් පතා ගෙවන්නේ නාළිකා එකක් දෙකක් පමණි. සමහර නාළිකා ගෙවීම් අරඹාවත් නැත. මීට සමගාමීව OSCA සංවිධානය මහන්සියෙන් දිනාගත් තවත් වරප්‍රසාදයකි. සංදර්ශන පැවැත්වීමේදී එහි සංවිධායකවරුන් විසින් එහි ගැයෙන ගීතවල පදරචකයන්ටත් සංගීත නිර්මාපකයන්ටත් කර්තෘ භාග ගෙවිය යුතු බවට සම්මත කර ගැනීමයි. පළාත් පාලන අමාත්‍යාංශ හරහා ඒ නියෝග දිවයිනේ සෑම පළාත් පාලන ආයතනයකටම යවා ඇත. සංදර්ශන සංවිධායකයෝ ප්‍රසංගයක් පැවැත්වීමට පළාත් පාලන ආයතනයෙන් අවසර ගත යුතුවාක් මෙන්ම එහි ගැයෙන ගීත සඳහා හිමිකරුවන් වෙනුවෙන් අදාළ කර්තෘ භාග මුදල් OSCA සංවිධානයට ගෙවා එහිද අවසරය ලබා ගත යුතු වෙයි. එවිට එම මුදල OSCA සංවිධානයෙන් ගීත රචකයන්ටත් සංගීත අධ්‍යක්ෂවරුන්ටත් ලබා දෙයි. මේ දිනාගැනීම වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් කටයුතු කළේ ප්‍රවීණ ගේය පද රචක සුනිල් ආර්. ගමගේ මහතාය. ඒ අනුව කොළඹ මහ නගර සීමාව තුළ ශාලාවල පවත්වන ප්‍රසංගවල එක ගීතයකට රුපියල් 3000ක් ද අනෙකුත් නගරවල නම් එය රුපියල් 2000ක්ද ගෙවිය යුතු වේ. එමෙන්ම විද්‍යුත් නාළිකාවක් විසින් පවත්වන සංදර්ශනවලදී මේ මුදල ගීතයකට රුපියල් පන්දහසක් වේ. එලිමහන් සංදර්ශනවලදී මුළු ප්‍රසංගය වෙනුවෙන්ම රුපියල් 5000ක් ගෙවිය යුතු වේ. මේ සංගීත නිර්මාණකරුවන් කිසිසේත් සතුටු වන මුදලක් නොවූවත් ආරම්භයක් ලෙස මේ යුතුකම ඉටු කරන තුරු ඔවුහු බලා සිටිති. සමහර මහත්මා ගති ඇති ගායක ගායිකාවන් තමා සංදර්ශනවලින් උපයන මුදලින් ගීත රචකයන්ටත් සංගීත අධ්‍යක්ෂවරුන්ටත් කර්තෘභාග මුදලක් ගෙවන අවස්ථාද ඇත. මේ සියලු කාරණා එසේ වද්දි පසුගිය කාලයේ ගීත සඳහා අයිතියක් ඇති අය වගේම අයිතියක් නැති අයත් ‘යූ ටියුබ්’ චැනල් හරහා ගීත මගින් සල්ලි හොයන්නට ගත්තෝය. ඒ පවතින ගීතයෙන් සහ ගීත ‘රී මික්ස්’ කිරීම මගිනුත්ය. නිර්මාණයක මුල් හිමිකරුවන් සිටියදී ඔවුන් හා නීත්‍යානුකූල ගිවිසුමක් නැතිව කිසිදු ගෙවීමක් නොකර එසේ කිරීම නීතිවිරෝධී කටයුත්තකි. මාද යූ ටියුබ් චැනලයක් අරඹා ඇත්තෙමි. දැනට මාස හයක් පමණ තිස්සේ මට ලැබෙන ආදායමද සියලු පද රචකයන්ටත් ගායන ශිල්පීන්ටත් සාධාරණ ලෙස බෙදා දෙන්නෙමි. මා එසේ කරන්නේ මට අනුන්ගේ නිර්මාණ මුදල් කොල්ල කෑමේ කැමැත්තක් නැති නිසාය. පසුගිය දිනක මට යූ ටියුබ් චැනලයේ ප්‍රචාරය වන වීඩියෝ පටයක් කෙනෙක් එවා තිබුණි. එහි අන්තර්ගත වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද රචනයෙන් මගේ තනුව හා සංගීත අධ්‍යක්ෂණයෙන් යුතුව ඇඩ්‍රස් නෑ චිත්‍රපටය සඳහා නිර්මාණය කළ තේමා ගීතය සිසිල් බීම ප්‍රචාරණ කටයුත්තක් සඳහා මුළුමනින්ම භාවිත කිරීමකි. අප දෙදෙනාගේ කිසිදු අනුදැනුමක් අවසරයක් නොමැතිව සිදුවී ඇති මේ වීඩියෝව නිර්මාණය කර තිබු‌ණේ භාතිය සන්තුෂ් දෙපළට අයත් ‘සරිගම’ යන නිෂ්පාදන ආයතනයකින් බව දැනගත් විට අපි පුදුම වූයෙමු. අපේ අයිතීන් සුරැකීමට දිවුරා පොරොන්දු වූ ඔවුන් OSCA අධ්‍යක්ෂ මණ්ඩලයේම ජ්‍යෙෂ්ඨයින් වන අපගේ අයිතියට හිමිකමට පිටුපා නිර්මාණ කොල්ලයක් සිදු කර තිබීම අපව තුෂ්නිම්භූත කරනු ලැබීය. අපි භාතිය හා සන්තුෂ්ගෙන් මේ පිළිබඳව විමසුවෙමු. ඔවුන් පවසා සිටියේ මේ පිළිබඳව කිසිවක් නොදන්නා බව හා එම වීඩියෝවට ගීත තෝරාගෙන සියලු කළමනාකාරිත්වය සිදු කර ඇත්තේ ඔවුන්ගේ සමාගමේ විධායක නිලධාරියකු බවයි. සිදුවී ඇති වැරැද්ද සපුරා පිළිගන්නා බවත් ඒ පිළිබඳව සමාව අයදින බවත් ඔවුන් පවසද්දී අපට සිතුණේ අපේ අයිතිවාසිකම් රැකීම සඳහා පෙරමුණ ගෙන තිබෙන්නේ මෙවැනි අවස්ථාවාදීන් නොවේද යන්නයි. අප සියලු දෙනාවම දැනුවත් කරමින් අපට බලාපොරොත්තු දෙමින් දේශන පැවැත්වූ මේ අය අපටම මෙසේ සිදුකිරීම කෙතරම් ඛේදජනකද? අපි OSCA සංවිධානය වෙත මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඔවුනට දඬුවමක් ලබා දියු යුතු බවට යෝජනා කළෙමු. ඒ දඬුවම මිලියනක වන්දියක් අපට ලබා දිය යුතු වීමයි. අපව රැවටීම, නොසලකා හැරීම, අයිතීන් පිළිබඳ දේශනා කරමින් ඒවා අමුඅමුවේ උල්ලංඝනය කිරීම ආදී වරදවල් ගණනාවක් පැහැදිලිවම ඔප්පු වී තිබියදී ඒ දඬුවම අප නොදුන්නොත් එය ඉතිහාසයේ ලියැවෙන නරක පූර්වාදර්ශයක් වනු ඇති බව අපි OSCA සංගමයට පැහැදිලි කළෙමු. කෙසේ හෝ මේ දඬුවම් මුදල ගෙවීමට තරම් ආර්ථික ශක්තියක් නැති බව පැවසූ මේ දෙදෙනා OSCA සංවිධානය ලවා මේ මුදල හෙට්ටු කරමින් ලක්ෂ පහකට එකඟවන්න හැකිදැයි විමසා සිටියහ. ඒ හාස්‍යජනක ඉල්ලීමට අප කීවේ මෙපමණයි. ‘‘නෑ සතයක්වත් එපා. අපි දෙදෙනාම මේ OSCA අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වීම ඊට වඩා හොඳය කියාය.’’ ඒ අනුව මහාචාර්ය සුනිල් ආරියරත්නත් මමත් පසුගියදා OSCA සංවිධානයේ සාමාජිකත්වය තබාගෙන අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අස්වූවෙමු. සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ

භාතිය ජයකොඩි මෙසේ කියයි

සංගීතවේදී රෝහණ වීරසිංහට සිදුව ඇති මේ සිද්ධිය පිළිබඳ දැන ගැනීම සඳහා භාතිය ජයකොඩි සම්බන්ධ කරගැනීමට අප කීපවරක් මුලින් උත්සාහ කළෙමු. ඒ අවස්ථාවේ සම්බන්ධ නොවූ ඔහු අවසානයේ වරුණ අතිරේකය මුද්‍රණයට යවන මොහොතේ අප හා සම්බන්ධ විය. මෙය හොරකමක් දැයි අප ඇසූ විට ඔහු කියා සිටියේ මේ ගීතය වෙනුවෙන් ඔවුන් අදාළ චිත්‍රපට නිෂ්පාදකයාට මුදල් ගෙවූ බවයි. ඒ වෙනුවෙන් ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලැබූ බවත්, ඒ සම්බන්ධ සියලු නිල ලිපි ලේඛන ඔවුන්ගේ ආයතනය සතුවන බවත්ය.
 

More News..