brand logo

බෞද්ධ-පාලි සරසවියේ අක්‍රමිකතා ගැන අනධ්‍යයන සේවකයන්ගෙනුත් සාක්‍ෂි කැඳවේ

08 June 2020

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් ද සාක්ෂි කැඳවා ඇත. විශ්වවිද්‍යාලයේ අක්‍රමිකතා පිළිබඳව වන සාක්ෂි ලිඛිතව ලබා දෙන ලෙස ද අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට දැනුම් දෙනු ලැබ තිබේ. ලිඛිතව නොව නිර්නාමිකව සාක්ෂි ලබා ගන්නේ නම් අනධ්‍යයන සේවකයන්ගෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියාවක් පවතින බව එහි ආචාර්යවරුන්ගේ අදහස වී ඇත. විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන්ට අදාළ ලිපිලේඛන මේ වන විට තමන් භාරයට ගෙන ඇති කමිටුව ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. කොවිඩ් වයිරස් තත්ත්වය හේතුවෙන් කමිටුවේ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා තවත් මාස දෙකක කාලයක් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ආචාර්යවරුන්ට උසස් වීම් ලබා දීමේදී සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා මෙන්ම විදෙස් ශිෂ්‍යත්ව ලබා දීමේ දී ඇතැම් ආචාර්යවරුන්ට විශේෂ කර සැලකීම සම්බන්ධයෙන් ද එම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය හිමියන්ට චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම විදේශීය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් නේවාසිකාගාරයක් තිබියදී රුපියල් දෙකෝටියක් වැය කරමින් තවත් දෙසිය නමකට නේවාසිකාගාරයක් ඉදි කිරීම ආරම්භ කිරීම මෙන්ම බෞද්ධාලෝක මාවතේ පිහිටි එම විශ්වවිද්‍යාලයීය කොළඹ කාර්යාලය සඳහා වෙනත් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා කටයුතු කරමින් සිටීම යන චෝදනා ද මහෝපාධ්‍යායන් වහන්සේට එල්ල වී ඇත. මෙම චෝදනා ඇතුළත් කරුණු ගණනාවක් එහි ආචාර්යවරුන් පිරිසක් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනට ලබා දී ඇති අතර ඉහත කමිටුව පත් කර ඇත්තේ ඒ අනුවය. කමිටුව පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. නිලන්ත මදුරාවල
 

More News..