brand logo

බෝම්බ බිය අස්සෙන් ඩෙංගු බිය මතුවෙයි

30 May 2019

පසුගිය දිනවල පාසල් වසා දැමුණේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත බිය නිසාය. පාසල් පටන් ගත්තද දරුවන් පාසල් එවන්නට දෙමාපියන් මැළිවූයේ බෝම්බ බිය සම්පූර්ණයෙන්ම පහව නොගිය හෙයිනි. දැන් යළි පාසල් ආරම්භ වී ඇතත් ගම්පහ පැත්තේ පෞද්ගලික පාසලකට දරුවන් යවන්නට දෙමාපියන් මැලි වී තිබේ. එයට හේතුව වෙනත් බියකි. ඒ ඩෙංගු බියයි. එයට හේතුව වැඩ බිමක ඩෙංගු මදුරුවන් පැතිරී ඇතැයි යන පුවතත් සමින් දෙමාපියන් දරුවන් පාසල් යවන්නට මැලිවී තිබීමයි. ඩෙංගු අධි වසංගත තත්ත්වයක් මෙරට ඇති වූයේ 2017 වසරේයි. එම කාලයේ ඩෙංගු රෝගීන් ගණන එක්ලක්ෂ අසූ දහසද ඉක්මවා ගියේය. මියගිය ගණන හාරසිය හතළිහක් පමණ වෙද්දී මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ජනාධිපති කාර්ය සාධක බළකාය එක්ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට යෙදුණි. එහිදී පාසල් වැඩබිම් නිවාස, හමුදා කඳවුරු රෝහල් පරිශ්‍ර එම විවිධ ස්ථාන පරීක්ෂාවට ලක් කරමින් එක් නිශ්චිත වෙලාවක් තුළ පවිත්‍ර කිරීම් හා ධුමායනය සිදුවිය. අවශ්‍ය උපදෙස් මෙන්ම ගැටළු සහගත පරිශ්‍ර යථා තත්ත්වයට ගැනීම සඳහා නීතිමය පියවර ගැනීම් රතු නිවේදන නිකුත් කිරීම් සිදුවිය. සිකුරාදා දිනයේ පාසල්වල පැය කිහිපයක් පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමට වෙන් කර තිබුණි. එහෙත් වසර මැද යළිත් ඩෙංගු මදුරුවා හිස ඔසවමින් ඇත. කඩින්කඩ ඇති වන වැස්ස සහ සති ගණනක් පාසල් වසා දැම්මද ඩෙංගු මදුරුවාට අවශ්‍ය පරිසරය සැකසීය. කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමලය සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩිවී ඇත්තේ ඒ අනුවයි. 2019 වසරේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් 17783 දෙනකු වාර්තා වී තිබේ. ඉන් මියගිය ගණන 26කි. ඉකුත් ජනවාරි මාසයේ සිට ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, කරාපිටිය, හිරිඹුර, අම්පේගම, බලපිටිය ආදී ප්‍රදේශවල වැඩි සංඛ්‍යාවක් ඩෙංගු රෝගීන් වාර්තා වූ අතර ඉකුත් දින කිහිපය තුළ එහි වැඩිවීමක් සිදුවිය. මේ වනවිට දක්ෂිණ නාවික කඳවුරේ සෙබළුන් 12 දෙනකු ඩෙංගු යැයි සැකකොට රෝහල්ගත කර ඇති අතර ඉකුත් ජනවාරි මාසයේ සිට සෙබළුන් පනස් දෙනකුට පමණ ඩෙංගු වැලඳී ඇත. ගාල්ල කරාපිටිය රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන්ගේ ගණන 64ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරවීර මහත්මිය පැවසුවාය. ඩෙංගු රෝගීන්ගේ වැඩිම වාර්තා වීම හැමදාමත් වාගේ බස්නාහිර පළාතෙන් සිදුවන අතර මේ වසරේ මේ වන විට හමු වී ඇති ඩෙංගු රෝගීන් ගණන 7156 ක් යැයි ඇය සඳහන් කළාය. ඩෙංගු රෝගීන් 43 දෙනකු දැනට අංගොඩ උණ රෝහලේ (IDH) ප්‍රතිකාර ලබන අතර, කොළඹ ජාතික රෝහලේ පමණක් ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 48කි. තවද දකුණු කොළඹ මහරෝලේ (කළුබෝවිල) රෝගීන් 22 දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබයි. වාර්ෂිකව ඩෙංගු මර්දන කටයුතු වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමින් වැය කරන මුදල අති විශාලය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු මර්දන කටයුතු සඳහාම කම්කරු පත්වීම් යටතේ, සේවකයින් එක්දහස් පන්සියයක් දෙනකු බඳවා ගෙන ඇති අතර, ඩෙංගු අවදානම් කලාප හඳුනාගෙන ඔවුන් එහි දෛනික රාජකාරියේ යෙදවේ. ඔවුන්ට අයත් රාජකාරි කටයුතු අතර නිවාසවලට ගොස් මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගැනීම ඇතුළු අවශ්‍ය උපදෙස් සැපයීම සහ ධුමායනයද සිදුවේ. එය ඔවුන්ගේ බිම් මට්ටමේ රාජකාරිය වන අතර, ජනතාවට ද තම පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වගකීමෙන් බැහැර විය නොහැකි බව සමරවීර මහත්මිය පෙන්වා දුන්නාය.විශේෂයෙන්ම එකතුවන කැළි කසළ නිසි පරිදි බැහැර ‌නොකිරීම ප්‍රශ්නය වඩාත් උග්‍ර වීමට හේතුවක් වී ඇත. 2017 වසරේ ඇති වූ ඩෙංගු අධි වසංගත තත්ත්වය නිසාම මෙරට ස්වේච්ඡා සංවිධාන ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ක ඩෙංගු මදුරුවා මට්ටු කරන්නට විවිධ වැඩපිළිවෙළ දියත් කළේය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් මෙන්ම තවත් වගකිවයුතු කොටස් ඊට එක්විය. 2018 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 51659කි. එය අඩුවීමක් වන්නේ 2017 වසරට සාපේක්ෂව පමණි. ඩෙංගු මදුරුවා මේ අයුරින් හිස ඔසවන්නට තවත් හේතුවක් වන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හෝ ස්වේච්ඡා සේවකයන් නිවාස පරීක්ෂාවට එද්දී පමණක් පරිසරය පිරිසුදුව තබා ගැනීමට ඇතැමුන් උත්සුක වීමය. එදාට පමණක් පොල්කටු, තැඹිලි කෝම්බ සහ යෝගට් කෝප්ප ආදිය අනෙක් පස හරවා පලක් නැත. ඇතැම් නිවැසියන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පැමිණෙන විට නිවාසවල දොරගුලු සහ ගේට්ටු වසා ගන්නා අවස්ථාද ඇතැයි සඳහන්ය. ඉකුත් දා ඇති වූ බෝම්බ බිය සමගින් ඩෙංගු මදුරු බිය හිත්වලින් අමතක වී යාමද ඩෙංගු මදුරුවාට නැගී සිටින්නට හොඳ අවස්ථාවක් වී ඇත. ඒ පිළිබඳ අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දුන්නේ පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව මේ දිනවල රටේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන නිසා ඩෙංගු මර්දන කටයුතු වෙනුවෙන් ඔවුන්ගෙන් ලබාගත හැකි දායකත්වයේ අඩුවක් ඇති බවය. එමෙන්ම මහජනතාවට ද බෝම්බ බිය ආ බැවින්දෝ මදුරුවා පිළිබඳ සහ පරිසරය පිළිබඳ වූ අවධානය අඩුවීම ඩෙංගු යළි හිස එසවීමට කාරණයක් වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අන්දමට ඉකුත් වසරේ මේ වන විට ඩෙංගු යැයි සැක‌ කළ රෝගීන් 21236ක් හමුවී ඇත. ඉකුත් වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් මෙන්ම මරණ සංඛ්‍යාවද අඩුවී ඇතැයි එම අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය නගර පුරා ප්‍රදර්ශනය කරන බැනරයක් තිබේ. එහි දැක්වෙන්නේ මරණ වරෙන්තුව අපිම ලියා ගන්නවාද යන්නයි. එය ඩෙංගු මදුරුවාට විය යුතු බව ද එහි කියා ඇත. එහෙත් මේ වසරේ මේ වන විට ඩෙංගු වැලඳී රෝගීන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අමාත්‍යාංශය කී පරිදි මරණ වරෙන්තුව ඩෙංගු මදුරුවන්ට පමණක් වී නම් එසේ මරණ වීමට ඉඩක් නැත. එසේ නම් බෝම්බ බිය තරමටම ඩෙංගුවලටත් බියවීම හොඳය. බෝම්බ බිය තුරන් කරන්නේ ආරක්ෂක හමුදාව වන නමුත් ඩෙංගු බිය තුරන් කිරීම කරගත යුත්තේ අපමය. ඒ සඳහා සතියකට විනාඩි 30ක්වත් තම අවට පරිසරය පිරිසුදු කිරීමට යොදවන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසාය. දීපා වසන්ති එදිරිසිංහ
 

More News..