brand logo

බෝධිසත්වයන් උපන් ගමේ රුපියල් අසුපන් ලක්ෂයට ගිය හරක් මස් කඩේ

31 October 2020

බලන්ගොඩ හරක් මස් කඩය ලක්ෂ 85 කට වෙන්දේසි වී ඇති බව වාර්තා වූයේ පසුගිය 27 වැනි අඟහරුවාදාය. ගව මස් කඩය වෙන්දේසි වී ඇති මුදල හරියටම කිවහොත් රුපියල් 85,99,900 කි. තව රුපියල් සියයක් දැම්මා නම් හරක් මස් කඩේ වෙන්දේසි වී ඇත්තේ ලක්ෂ අසූහයකටය. ඒ කියන්නේ හරක්මස් කඩේ කෝටියකට වෙන්දේසි වීමට තව මදි වුණේ ලක්ෂ දාහතරක් පමණි. මේ ගවමස් කඩය සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ පිරිස 12 දෙනෙකි. 2021 ට ලක්ෂ 85 කට මෙම හරක්මස් කඩය අලෙවි වුවද 2020 වසරේදී එය වෙන්දේසි වී ඇත්තේ රුපියල් ලක්ෂ 19 කටය. මෙවර වෙන්දේසි මිලත් පසුගිය වසරේ මිලත් අතර ඇති පරතරය අදහාගත නොහැකි එකකි. එය ලක්ෂ වලින්ම කිව්වොත් ලක්ෂ 66 කි. බලන්ගොඩ කිව්වාම අප මතකයට එන චරිත තුනක් ඇත. මුලින්ම බලන්ගොඩ මානවයාය. ඉන්පසු බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ය. ඊටත් පසු ජනකාන්ත චිත්‍රකතා සිත්තරකු වූ බලන්ගොඩ සරත් මධුය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හිමියන් ජීවතුන් අතර සිටියදී දේශනා කරන ලද්දේ තම ජීවිතයේ අවසන් අරමුණ ‘මතු බුදුවීම’ බවය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අසූව දශකයේ ‘‘පිළිසඳර’’ නමින් වැඩසටහනක් නිෂ්පාදනය ක​ළේ චන්ද්‍රසෝම විතානගේය. එම වැඩසටහන මෙහෙයවන ලද්දේ ගුණදාස ලියනගේ විසිනි. බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් තම ජීවන තොරතුරු සඳහන් කරමින් වැඩසටහන අවසානයේ ප්‍රකාශ කළේ තමන් වහන්සේගේ ජීවිතයේ අවසන් අරමුණ වන්නේ මෛත්‍රී බුදුහිමියන් වීම බවය. බලන්ගොඩ හරක්මස් කඩේ ලක්ෂ 85 කට වෙන්දේසි වීමේ සුවිශේෂත්වය වන්නේ මතු බුදුවන බුදු කෙනකු උපන් භූමියක හරක් මස් කඩයක් කෝටියකට ආසන්න මුදලකට වෙන්දේසි වීමය. ප්‍රේමකීර්ති ද අල්විස් ගව ඝාතනය ගැන ලියා ඇති ජනප්‍රිය ගීයක කොටසක් මෙසේ ය. ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ උගෙන් මැඩූ බැත දනට පුදන්නේ උන්ගෙම හම බෙර හඬට බඳින්නේ උන් බැදි ගැල් නැග පන්සල් යන්නේ කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ බත් සහ කිරි රස දෙකම නොදන්නෝ මිනිසත් බව ලැබ කුමට උපන්නෝ මේ ගීතය රසවත්ම කොටස එය නොවේ. මේ ගීතය ලියූ ප්‍රේමකීර්ති ද අල්විස් මෙම ගීතය රචනාකොට ඇතැයි කියන්නේද ‘ඩෙවල් බීෆ්’ එකක් සමග අරක්කු බෝතලයකින්ද සප්පායම් වෙමිනි. රත්නපුර ප්‍රදේශයේ කලකට ඉහත ජීවත් වූ විරිදු කැසට් ශිල්පියකු රටපුරා ගියේ ගවමස් කෑමේ ආදීනව ගැන විරිදු කැසට් විකුණන්නටය. ඒත් ඉතිං අන්තිමට රාත්‍රියට රත්නපුර බාර් එකට යන ඔහුගේ ප්‍රියතම බයිට් එක වූයේ ‘ෆ්‍රයිඩ් බීප්’ය. හරක් මස් බිස්නස් එකත් එක්ක බද්ධ වූ පර්යාය වචනයක් නම් ‘හොර හරක් බිස්නස්’ එකය. දැන් හරක් මස් කිලෝවක මිල රුපියල් දහසකට අධිකය. ආනයනික හරක් මස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 2500 ත්, 3500 ත් අතර මිලකටය. අපට මේ බලන්ගොඩ හරක් මස් කඩය ලක්ෂ 85 ට වෙන්දේසි වීම විමතියට කරුණක් වුවත් හොර හරක් බිස්නස් කාරයකුට මේ ගාන පියවා ගැනීමට හොර හරක් 50 ක් ඉස්සීම හොඳටම ප්‍රමාණවත්ය. ඒ හැම හරකෙක්ම කිලෝ 100 කට වැඩි නිසාය. ලක්ෂ 85 කට හරක් මස් කඩයක් වෙන්දේසියකින් මිලදී ගැනීම ‘ගොන් වැඩක්’ නොවන්නේ ඒ නිසාය. අනගාරික ධර්මපාලතුමාගෙන් පසු මෙරට ගවමස් කෑම තුරන් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ ‘දොලුකන්දෙ’ හිමියන්ටය. උන්වහන්සේගේ ප්‍රාතිහාර්යය ගැන මොන මතිමතාන්තර තිබුණත් ‘බුදුගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි’ කියමින් ගමින් ගම ගොස් බණ කීම නිසා මෙරට ජනතාව ගවමස් විරෝධීන් කිරීමට උන්වහන්සේ සමත් වූ බව නොකියා බැරිය. පසුගිය සැප්තැම්බර් 8 වැනි දා අගමැති මහින්ද රාජපක්ෂ කැබිනට් පත්‍රිකාවක් ගෙනාවේ ලංකාවේ හරක් මැරීම තහනම් කිරීමටය. ඒත් ටික දිනක් ගතවන විට කැබිනට් තීරණය පල්ලම් බැස ගියේය. කොටින්ම කිවහොත් සැප්තැම්බර් 9 වැනිදා ලංකාවේ සමහර හරක්මස් කඩ ඇරියේ නැත්තේ ලංකාවේ හරක්මස් තහනම් කළ බව සිතාය. ඒත් ඉතිං ටිකක් දවල්වන විට වසා දමා තිබූ හරක්මස් කඩත් විවෘත වූයේ ආගම සිහිකර තඩි හඳුන්කූරු පොකුරක් ගැසීමෙන් පසුවය. ඒත් ඉතිං අද වනතුරුත් ගවමස් තහනමක් ගැන වගේ වගක් නැත. අන්තිමට ෆේස්බුකියේ පළ වූයේ වසු පැටියකුගේ රුවක් සහිතව මෙවැනි වැකියකි. ‘‘මරන්න තහනම් කරනවා කියලා අපිවත් රැවැට්ටුවේ ඇයි අගමැති මාමේ’’ යනුවෙනි මීට දෙවසරකට පෙර එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගවමස් තහනම් කරන බවට සිංහ නාදයක් කළ බව අද කාටත් අමතකය. එතුමා කළ ප්‍රකාශය 2017 ඔක්තෝබර් 27 වැනිදා පළ වූයේ මෙසේය. ‘‘ගවයන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නියෝග කර තිබේ. නීති විරෝධී අයුරින් ගවයන් ප්‍රවාහනය කිරීම ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඒ තුළින් කිරි ගව කර්මාන්තයට මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතාවන්ටද දැඩි බලපෑමක් එල්ල වී ඇත. ඒ අනුව ගවයන් ප්‍රවාහනය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවනු ඇත. දැනට ගවයන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් හරහා සිදු වෙයි.’’ නීති විරෝධී අන්දමින් ගවයන් ප්‍රවාහනය කිරීමේදී සිදුවන බරපතළ අනතුරු හා ජීවිත හානි රැසක් පිළිබඳ මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් ද පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර එහි ආසන්නතම සිදුවීම පසුගියදා (26 වැනිදා) අනුරාධපුරයේ බුලංකුලම ප්‍රදේශයේදී සිදු වූ අතර අනතුරකින් තරුණියන් දෙදෙනකුගේ ජීවිත අහිමි විය.’’ 2017 දී හා 2020 දී ජනාධිපතිවරු දෙදෙනකු හරක්මස් තහනම් කළත් බලන්ගොඩ හරක්මස් කඩයක් ලක්ෂ 85 කට වෙන්දේසි වීම මෙරට ‘හරක් මස්’ අලෙවිකරන ව්‍යාපාරිකයන් මෙරට දේශපාලන තීන්දු ගැන හොඳ අවබෝධයක් ඇති පිරිසක් බවට හොඳම සාක්ෂියකි. ගව ඝාතනය නතර කරන ලෙස සිරුරට ගිනි තබාගත් බෝඅත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වීය. ඒත් ඉතින් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ගව ඝාතනය ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලබාදෙන වරදකි. එම ප්‍රාන්තයේ ගව ඝාතකයන්ට ඇප නැත. ඉන්දියාවේ හින්දු ජනයා අතර ගවයා පූජනීය සතෙකි. ‘ගවයා යනු ඉන්දියානු සංස්කෘතියේ සංකේතයකි.’ එසේම ඉන්දියාවෙන් පැමිණි නිර්මල බුදුදහම අදහන බෞද්ධයන් සමහරකුට නම් ඔය කියන ‘ගවයා’ නිකම්ම නිකම් බයිට් එකක් පමණි. ලංකා ඉතිහාසයේ වැඩිම හරකුන් සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබුවේ ලංකාවේ බෝරා සමුළුව පැවති කාලයේ යැයි කියති. එවකට සත්ත්ව හිංසා ජාතික එකමුතුව පෙන්වා දුන්නේ ගෝ ඝාතක ආඥා පනත දැඩි ලෙස උල්ලංඝනය කරමින් විශාල ගවයන් ප්‍රමාණයක් දිනපතා මරන බවය. ඒ අතර වසුපැටුවන්, එළදෙනුන්, ගැබ්බර එළදෙනුන් පවා සිටි බව අනාවරණය විය. බලන්ගොඩ හරක් මස් කඩය ලක්ෂ 85 කට යාම ගැන ජනතාව විමතියට පත් වීමට හේතුවක් නැත. බලන්ගොඩ සිටින මුස්ලිම් ප්‍රජාව ඍජුවම සම්බන්ධතා පවත්වන නගරයක් නම් ඒ අලුත්ගම මුස්ලිම් ප්‍රජාව සමගයි. මේ නගර දෙක අතර ප්‍රවාහන බස් රථ පවා ඇත. මේ කියන මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රධාන ආහාරයක් වන්නේ හරක්මස්ය. පෑලියගොඩ මාළු මාකට්ටුවේ කොරෝනා පොකුරක් ව්‍යාප්ත වීමත් සමග ජනතාව මාළු කෑමට බිය විය. අන්තිමට ලේනපරව්, බෝල්ලු වැනි මාළු කිලෝවක් රු. 50 ටවත් සමහර පැතිවල විකුණ ගන්නට බැරි තත්ත්වයක් උදා විය. මාළු කෑ සමහරුන් හරක්මස් කෑමට යොමු වීම නිසා හරක් මස් අලෙවිය ඉහළ ගියේ බලා සිටියදීය. නගර සභාව හුදු ලාභය තම එකම අරමුණ කොටගෙන හරක්මස් කඩයක් ලක්ෂ 85 කට වෙන්දේසි කොට එම මුදල් නගර සභාවේ ලාච්චුවට දමාගෙන අත පිසදාගත්තත් හරක්මස් කඩයක් ගැන ඊට එහා ගිය ආඥාවක් ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. අද ගවයන් කුර රෝග සහ මුඛ රෝගවලට බහුලව ගොදුරු වී ඇත. මේ අතර පසුගිය සතියේ වාර්තා වූයේ කුර සහිත සතුන් මධ්‍යම පළාතට ගෙන ඒම හෝ ගෙන යාම තාවකාලිකව අත්හිටවූ බවය. මේ ගැන වෛද්‍ය ආර්. එම්. කේ. පී රාජනායක මහත්මිය ප්‍රකාශ කොට ඇත්තේ මෙසේය. පශු වෛද්‍යවරුන් හරහා සතුන්ගේ පූර්ව මරණ පරීක්ෂණ නොපැවැත්වීමත්, සතුන් ඝාතනයේදී පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයක් සිදු නොවන නිසා එලෙස රෝගී සතෙකු ඝාතනයට ලක් වුවහොත් එම සතාගේ මස් ප්‍රවාහනයේදී ඒ හරහාද කුර සහ මුඛ රෝගය ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතිනවා. කොරෝනා වසංගතයෙන් මුළු රටම පීඩා විඳිද්දී අති විශාල මුදලකට හරක් මස් කඩයක් අලෙවි වීම සැලකිල්ලට ගත යුතු තත්ත්වයකි. ඒ කුර රෝග හා මුඛ රෝග ඇති ගවයන් හොර රහසේ මරා අලෙවි කිරීමෙන් කොරෝනාවට වඩා භයානක වයිරසයන්ට ජනතාව ගොදුරු විය හැකි නිසාය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට ක්ෂය රෝගය ඇති ගවයකු හඳුනා ගැනීම අපහසු කටයුත්තකි. එයට දක්ෂ වෛද්‍යවරයකු විය යුතුය. දැන් ප්‍රශ්නය ඇත්තේ මතු බුදුවන බුදුන් උපදින බිමේ ගව ඝාතනය නීත්‍යනුකූල කෙරේවිද යන පැනයය. මේ ගව ඝාතකාගාරයකට ගෙන එන ගවයකු මරණයට පැය 24 කට පෙර පශු වෛද්‍යවරයකු පරීක්ෂා කළ යුතුය. ඊටත් වඩා ඝාතනය කළ හැක්කේ නිරෝගී සතෙක් පමණි. නීතිය අනුව මේ මස් මඩුවේ මරන්නට එන ගවයා කාටත් පෙනෙන්නට කණුවක ගැටගසා තැබිය යුත්තේ හොරෙන් ගෙනා සතෙකු බවට අයිතිකරු ඉදිරිපත් වීමටත් වඩා සතාගේ ආතතිය අඩු කිරීමටය. රෝගී තත්ත්වයක් හඳුනා ගැනීමටත්, ලංකාවේ නීතියේ හැටියට කිරි දෙනුන් හා වසු පැටවුන් ඝාතනය කළ නොහැකිය. මැරිය හැක්කේ වයසට ගිය එල ගොනෙකු පමණි. ඊළඟට ප්‍රශ්නය වන්නේ බලන්ගොඩ හරක්මස් කඩේ ලක්ෂ අසූපහකට ගත් ගැනුම්කරුට තමන් ආයෝජනය කළ මුදල සොයා ගැනීමට වයසට ගිය එළහරක් සොයැ ගැනීමේ ගැටලුවය.
 

More News..