brand logo

බෝගම්බර ජේලර්ලට ආතතිය

16 September 2020

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බොහෝ පිරිසක් රඳවා තබා ගැනීමට සිදුව තිබෙන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද නිසා බවත් එයට පිළියමක් ලෙස කඩිනමින් රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට එහි කාර්ය මණ්ඩලය වැඩිකිරීමට සඳහා විශේෂ අනුයුක්ත කිරීම් සිදු කිරීමට ජනපතිවරයා පියවර ගෙන තිබෙන බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. මේ වන විට 11000 ක් රඳවා තැබිය හැකි තැන 31000 ක් රඳවා සිටින බවත් මින් බහුතරය මත්ද්‍රව්‍ය චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බවත් ඇය ප්‍රකාශ කළාය. දුම්බර බෝගම්බර නව බන්ධානාගාරයේ හා බෝගම්බර පැරණි බන්ධනාගායේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරිය ඊයේ (15) මේ බව පැවසුවාය. දැනට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරය යළි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව යටතට තාවකාලිකව පවරාගෙන අලුත්වැඩියාකර රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පිරිසක් එයට ගෙන ඒමට අදහස් කරන බවද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය. රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීමට හැකියාව ලැබුණහොත් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින විශාල පිරිසක් අධිකරණයට ඉදිරිපත්කර ඇපමත මුදා හැරීමට හැකි බවද ඇය කීවාය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූවන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ එකම නීතිය යටතේ බවත් මේ නිසා මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ අයට ඇප ලබා ගැනීමද මහාධිකරණය මගින් කළ යුතුව තිබෙන බවත් කී රාජ්‍ය ඇමැතිනිය ඔවුන් කලින් හඳුනාගෙන අධිකරණය හරහා පුනරුත්ථාපනට යොමු කිරීමට හැකි ලෙස නීති සංශෝධනය විය යුතුව තිබෙන බවත් පැවසුවාය. රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින කිසිවෙක් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩබිම් වලට යොමු කිරීම සඳහා නීතියෙන් ඉඩක් නොමැති බවත් මොවුන් බන්ධනාගාර ගතකර තිබීම තරුණ ශ්‍රමය අපතේ යාමක් ලෙස තමන් දකින බවත් ඇමැතිවරිය ප්‍රකාශ කළාය. බන්ධනාගාර වල විශාල නිලධාරී හිඟයක් තිබෙන බවත් රැඳවූවන් 11000 ක් සිටිය යුතු තැන 31000 ක් සිටියදී නිලධාරීන් කටයුතු කරන්නේ දැඩි ආතතියකින් බවත් ඇය පැවසුවාය. පසුගිය කාලයේ සිරකරුවන්,අධිකරණ,පොලීසි මෙන්ම අපරාධ වැඩිවී තිබුණත් බන්ධනාගාර නිලධාරීන් ප්‍රමාණය වැඩිවී නොමැති බවද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කළාය. දැනට නිලධාරීන් 2000 කගේ පමණ හිඟයක් තිබෙන බවත් ඉදිරියේදී අවශ්‍යය අනුමැතියක් ලබාගෙන එම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් කී ඇමැතිවරිය සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව 450-500 ක් පමණ පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබෙන බවද අවධාරණය කළාය. කමල් සුරවීර මහනුවර
 

More News..