brand logo

බේරේ වැවදිගේ කූල් ගමනක්

01 September 2019

යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුවට යන්නට පිටත් වුවද වෙනදා බසයේ නැගී තෙරපී මිරිකී යනවාට වඩා සුවයක් හිතට දැනෙයි. මාර්ග තදබදයක් පේනමානෙක නැති දියඹේ සිසිල මැදින් දියාත්‍රා ඉදිරියට ඇදෙන්නේ සිසිල් සුවයෙන් ගත පුරවාලමිනි. වෙනදා තිරිංග තද කරමින් වදිනා බ්‍රේක් පහර වෙනුවට මේ ගමන දියඹ මැදින් යන්නේ නැලවිල්ලේය. සැබෑ වෙනසකි, මහ පාරෙන් වෙනුවට වැව පාරෙන් කොළොම්පුරට ළඟාවෙද්දී යුනියන් පෙදෙසේ ගොඩනැගිලි ඇස්මානයෙන් මැකෙන්නත් පෙර අපි කොළඹ කොටුවේය. ගතවූයේ විනාඩි කිහිපයකි. හරියටම කිවහොත් යූනියන් පෙදෙසේ සිට මැකලම් ගේට්ටුව අසලට එන්නට දියාත්‍රාවට ගතවූයේ විනාඩි දහයක් වැනි කාලයකි. ඒ වන විට ‘‘දියාත්‍රාව’’ අපේක්ෂාවෙන් හතළිහක පනහක පමණ පිරිසක් මග බලමින් සිටිනු ‘‘දියාත්‍රාව’’ තුල සිටි මම දුටුවෙමි. දියඹේ ඇදී එන බෝට්ටුවේ හුරුබුහුටි බව දකිද්දී වතුරට බිය අයෙකුගේ සිතට වුවද මඳ අස්වැසිල්ලක් ලබාදෙන බව නම් නිසැකය. දැන් කාගේත් ඇස් දිය මත ඇදී එන බෝට්ටුව වෙතය. තාරාවුන්, හංසයන් එකා දෙන්නා ද දියමත රංගනයක යෙදෙන්නේ දින කිහිපයක සිට එහාට මෙහාට යන අලුත් හිතවතිය ගැන ආඩම්බරයෙන් වගේය.යාත්‍රාව ජැටියට ළංවිණි. නාවික හමුදා නිලධාරීන් යාත්‍රාව මනා ලෙස ජැටියට සමීප කරනු පෙනිණි. කොටුවට පැමිණ මම අවට පරිසරය දෙස ‘‘දියාත්‍රාව’’ තුල සිට බලා සිටියදී එහි සිටියවුන් බැස ගොස් දියාත්‍රාවෙන් යූනියන් පෙදෙසට යාමට සිටි පිරිස ඊට ගොඩවී හමාරය. ඒ ගොඩවෙද්දී දියමත සියුම් චලනයක්වත් නැති තරම්ය. ජැටියේ සිට බෝට්ටුවට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි අයුරින් සියල්ල නිමවා තිබීම හොඳය. එකවරම දැනුණු සිසිලස, මධ්‍යාහ්න අව්දැල්ල දියකර හරින්නට සේම, සිතට සොඳුරු චමත්කාරයක් ගෙන දෙන්නටද සමත්විය. දියාත්‍රාවට ගොඩවූ පිරිස අතර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, රෝෂාන් ගුණවර්ධන මහතාද සිටියේය. ‘‘අපිට මේ වැඩේට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දියත්‍රා යාත්‍රාව මගී ප්‍රවාහනයට එක්කලේ නියමු ව්‍යාපෘතියක් විදිහට. ඇත්තටම රටක් දියුණු වෙනවා කියන්නේ තමන්ට පෞද්ගලික වාහන තියෙනවා කියන එක නොවෙයි. දුප්පතාටත් පෝසතාටත් එක විදිහට යා හැකි පොදු ප්‍රවාහන සේවාවක් තිබීමයි. මීට අවුරුදු පනහකට හැටකට කලින් බස් ජනසතු කළා. මොකක්ද සිද්ධ වුණු දියුණුව. එදා තිබුණු පරණ බස්මයි තවම. ඒ පහසුකම් වැඩි දියුණු වුණේ නැහැ. ඉතින් ජනතාව පොදු ප්‍රවාහන සේවය වෙනුවට පෞද්ගලික වාහනේ ගමන් යනවා. ඊළගට ට්‍රැෆික්. අපිට ඕන මේ තත්ත්වයට විසඳුමක්. මේ වැඩේට ජනතාවගේ කැමැත්ත හොඳයි. අපි මෙය දිගින් දිගටම අධ්‍යනය කරනවා. නඩත්තුව විදියට යන වියදම බලාගන්නත් එක්ක තමයි මුල් මාසය නොමිලේ මගින් ගෙන යන්නේ. ඒ වගේම අපට අනෙකුත් ජල මාර්ග උපයෝගී කරගෙන මේ සේවාව අරඹන්න පුළුවන්කම තියෙනවා. වැල්ලවත්ත ඇළ මාර්ගයේ සිට බත්තරමුල්ලට පහසුවෙන් ආ හැකි පරිදි බෝට්ටු සේවාව ලබා දෙන්නයි අපේ ඊළඟ බලාපොරොත්තුව.’’ ඔහු හා කතාවෙන් අනතුරුව බේරේ දියමත අපූරුවට ඇදෙන සුව පහසු යාත්‍රාව තුලට යළිත් නෙත් යොමු කළෙමි. සුව පහසු අසුන් යට ආරක්ෂිත කබා තබා තිබේ. ඉදිරියේ තබා ඇති රූපවාහිනි තිරය ඔස්සේ පටිගත කළ දර්ශන ඔස්සේ, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත කබාය පැලඳ ගන්නා ආකාරය ගැන මගීන් දැනුවත් කෙරේ. දැන් සියල්ලන්ගේම ඇස් ඇත්තේ වැව දෙසටය. බැලූ බැල්මට ආසියාවේ දැවැන්තයකු වන නෙළුම් කුලුන මගේ වම් පසින් පෙනිණි. බොහෝ දෙනකුගේ ජංගම දුරකථනවල වීඩියෝ කැමරාව ක්‍රියාත්මකය. බේරේ බෝට්ටුවක යමින් ලොකුම නෙළුම් මලේ අපූර්වත්වය ළංව විඳගන්නට ඔවුන්ට ලැබුණ පළමු අවස්ථාව මෙය විය හැකි බැවිනි. ‘‘බේරේ කිව්වම අපේ චිත්‍රය මේක නෙවෙයි. ගඳ ගහන පල් වතුරක් ඔළුවේ තිබුණේ. මේක හොඳ වැඩක්. සංචාරකයන්ව අද්දගන්න පුළුවන් විදියට මෙය තවත් වැඩිදියුණු කරගැනීමයි වැදගත් වෙන්නේ’’. ඒ බෝට්ටු ගමනට එක්ව සිටි තවත් අයකුගේ අදහසකි. දැනට මෙම ප්‍රවාහන සේවාවට එක්ව ඇත්තේ ‘දියාත්‍රා’ බෝට්ටුව පමණක් වුවත් දියාත්මාද තවත් නොබෝ දිනකින් ‘දියාත්‍රා’ හා එක්වීමට නියමිතව තිබේ. මෙම බෝට්ටුවත් ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉල්ලීම මත නාවික හමුදාවේ දෑතින් නිමවෙමින් ඇත. ‘දියාත්‍රා’ හා ‘දියාත්මා’ යන නම් තබා ඇත්තේ අහුබුදු පරපුරේ සමන්ති අහුබුදු මහත්මිය විසිනි. මෙම නම්වල තේරුම වන්නේ ජලයේ ගමන හා ජලයෙන් අවස්ථා නිර්මාණය කිරීම යන්නයි. ගඟක වැවක බෝට්ටුවක යද්දී ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්නට සිදුවෙයි. ‘දියාත්‍රා’ බෝට්ටුව සු​ඛෝපභෝගී බසයක් මෙනි. නාවික යාත්‍රා තැනීම් අංගණයේදී වැඩ නිමවූ විවෘත බෝට්ටු දෙකක් ‘දියාත්‍රා’වට අමතරව මගී ප්‍රවාහනයට දැනටමත් එක්ව තිබේ. එහි යන්නේ නම් ආරක්ෂිත ජැකට්ටුව පැලඳිය යුතුය. විනෝදයට බෝට්ටු පදින්නන් තුළ එහි ගමන් කිරීමට වැඩි කැමැත්තක් ඇත. ඉකුත් ඉරිදා දිනයේ පමණක් ‌බෝට්ටුවේ ගමන් කිරීමට දහසකට අධික පිරිසක් පැමිණ තිබේ. කාර්යාල වේලාවන්වලදී පමණක් නොව සවස හතෙන් පසුව විනෝදාත්මක ගමන් සඳහාද දියාත්‍රා බෝට්ටුව වෙන් කරවා ගත හැකි බව දැනගන්නට ලැබිණි. විශේෂයෙන් බේරේ වැවේ රාත්‍රියට බෝට්ටුවේ යෑම දහවලට වඩා චමත්කාර ජනකය. නෙළුම් කුලුන විදුලි එළියට හැඩට පෙනෙන්නේ රාත්‍රියටය. ලේක්හවුස් පස සිට එද්දී දකුණු පැත්තේ අලුත් ගොඩනැගිලි දකින්නට ලැබෙන අතර වම් අත පැත්තට වන්නට දකින්නට ඇත්තේ වරාය අධිකාරියට අයත් පැරණි ගුදම්ය. බේරේ වැව දෙපස පරිසර අලංකාරය වැඩි දියුණු කළ හැකි අයුරු සිතා බලන්නේ නම් එය බෝට්ටු ගමනේදී කාගෙත් සිත් ඇද බැඳ ගන්නා කාරණයක් වනු ඇත. පැමිණි පිරිස අතර ළමුන් වැඩිහිටියන් සේම පෙම්වතුන් පෙම්වතියන් යැයි සිතිය හැකි පිරිස්ද විය. අප ‘දියත්‍රා’ බලන්නට ගියේ කාර්යාල නිමවන ​වේලාවක නොවූවත් එහි හැඩරුව බලන්නට ‘කෑම පැයේ කාර්යාලවලින් පිටතට පැමිණි කිහිප දෙනකුම අපට හමුවිය. පිටකොටුවේ ඇවිද බටු මුට්ටු ගෙන නිවසට යමින් සිටි පිරිසක්ද බෝට්ටුවේ යන්නට පැමිණ සිටියේය. ඒ අතර සිටි කුඩා දරුවන් පාසල් නිවාඩු කාලයේ බෝට්ටු ගමනක අත්දැකීම විඳගන්නට කියා පැමිණි පිරිසකි. ‘‘අපි නාගදීපේ ගිය වෙලාවේ බෝට්ටුවෙන් ගියා. ඒ බෝට්ටුවල යද්දී පැද්දෙන නිසා බයයි. මේ බෝට්ටුවේ යද්දි බෝට්ටුවක යනවා කියලා හිතෙන්නෙවත් නෑ. සැප පහසුවට ලස්සන බල බලා ආවා. නෙළුම් කුලුනේ ලස්සන දැකලා ඇස්වලට කඳුළුත් ආවා.’’ ඒ මොරටුවේ සිට පැමිණි මාග්‍රට් මහත්මියයි. ඇය පුතා හා ලේළිය සමග පැමිණ තිබුණේ හඳුන්වා දුන් අලුත් ප්‍රවාහන සේවයේ ගමන කෙසේ දැයි දැක බලා ගැනීමටම තිබුණු ආසාවටය. ‘‘මේ දවස්වල උදේට කොළඹ වාහන තදබදය ටිකක් අඩුයි. ඉස්කෝල පටන් ගත්තම තමයි ට්‍රැෆික් වැඩිවෙන්නේ. යූනියන් පෙදෙසේ ඉඳලා පිටකොටුවට වතුරෙන් යන්න ඕන කිලෝමීටර් දෙකයි. මේ කියන්නේ රස්තියාදු ​නොවී කූල් එකේ ඔෆිස් යන හැටිය. ත්‍රීවීලරයක යනවාට වඩා රුපියල් පනහක් වැනි මුදලක් වැයකර නිදහස් සිතින්, පොකැට්ටුවටද ලොකු බරක් නැතිව විනාඩි දහයෙන් ගමනක් යන හැටිය. දීපා වසන්ති එදිරිසිංහ ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..