brand logo

බෙස්ට් ෆිනිෂර් නිමා කරයි

25 August 2020

ඉන්දියාවෙන් එතෙක් මෙතෙක් බිහිකළ සාර්ථකම ක්‍රිකට් නායකයා සේ සැලකෙන මහෙන්ද්‍ර සිං දෝනි. පසුගිය 15 වැනිදා සිය ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කළේය. ටෙස්ට් ලකුණු දසදහස පසු කළ ප්‍රථම ක්‍රීඩකයා වූ සුනිල් ගවස්කාර් මෙන්ම ටෙස්ට් හා එක්දින පිටියේ වැඩිම ලකුණුලාභියා මෙන්ම ශතකලාභියාද වන සචින් තෙන්ඩුල්කාර් යන අයද ඉන්දීය නිෂ්පාදන වුවද ඔවුහු සාර්ථක නායකයෝ නොවූහ. දෝනි විශේෂ වන්නේ නායකත්වය සමග ඔහු පිත්තෙන්ද, එසේම විශේෂඥ කඩුළු රකින්නෙකු සේද දැක්වූ දස්කම් නිසාය. ඉන්දියාව එක්දින තරග ක්ෂේත්‍රයේත් ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලදීත් අංක එක තැනට පැමිණියේ දෝනිගේ නායකත්වය යටතේය. ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් ගැන දන්නෝ බොහෝය. ඒත් අනූ විය ඉක්ම වූ මේ ලෝක පූජිත සංගීත ශිල්පිනිය බරපතළ ක්‍රිකට් ලෝලිනියක බව දන්නෝ නම් ඉතා අල්පය. ඕනෑම ක්‍රිකට් ප්‍රේමියකුට ක්‍රිකට් පිටියේ තමන්ගේම කියා වීරයෙක් සිටී. ලතා මංගෙෂ්කාර්ටද එය පොදුය. එසේම ඕනෑම ක්‍රීඩකයකුටද සංගීත ලෝකයේ තමන් ප්‍රිය කරන වීරවරයෙක් හෝ වීරවරියක් සිටී. ඒත් මේ දෙදෙනාට දෙදෙනා තම තමන්ගේ වීරවරයන් වන අවස්ථාවක් වේ නම් ඒ ඉතා විරලය. ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර්ටත්, මේ යුගයේ ක්‍රිකට් වීරයා ඊයේ පෙරේදා ක්‍රිකට් පිටියට සමුදුන් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහෙන්ද්‍රසිං දෝනිය. එසේම බරපතළ සංගීත ලෝලියකු වන දෝනිගේ ප්‍රියතම ගායිකාව වන්නේ ලතා මංගේෂ්කාර්ය. ලතා දෝනිට කොයි තරම් ප්‍රිය දැයි කිවහොත් පසුගිය වසරේ දෙදෙනා හමු වූ මොහොතක දැන්ම ක්‍රිකට් පිටියට සමු නොදෙන්නැයි ලතා දෝනිගෙන් ඉල්ලා සිටියාය. ඊට ලතාට සිනාවකින් පිළිතුරු දුන් දෝනි ඒ ඉල්ලීමෙන් වසරක් ගිය තැන පසුගිය 15 වැනිදා ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළේය. දෝනි ලොවක් වසඟ කළ ලතා මංගෙෂ්කාර්ගේ පමණක් නොව සමස්ත ක්‍රිකට් ලෝකයම වසඟ කළ ඉන්දීය ක්‍රිකට් තරුවකි. මහෙන්ද්‍ර සිං දෝනිගේ තිස්අටවැනි උපන් දිනය යෙදී තිබුණේ පසුගිය ජූලි 7 වැනිදාටය. එදා ලංකාවේ උතුරු කොනේ යාපනයේ දෝනිගේ රසිකයන් පිරිසක් ලේ දන්දීමේ පින්කමක් සහ කයිතඩි විශේෂ අවශ්‍යතා පාසලේ සිසුන්ට දිවා ආහාර වේලක්ද ලබාදී තිබුණි. මේ එවැන්නක් සිදුවූ පළමුවැනි වතාවය. මීට පෙර කිසිම දිනක කිසිම ඉන්දීය ක්‍රීඩකයකු, ලංකාවෙන් එවැනි සැමරුමක් ලබා නැත. යාපනේ තරුණයන් දෝනිගේ උපන් දිනය එසේ සැමරුවත් ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට නම් දෝනි ‘ඇණයකි’. දෝනි, ලංකාව සමග පළමු එක් දින තරගය පැවැත්වූයේ 2005 වසරේදීය. ඔක්තෝබර් 31 වැනිදා ජායිපූර්හි පැවැති තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ලංකා කණ්ඩායම ලකුණු 298ක් ලබා ඉන්දියාවට පන්දුවට පහරදීමේ අවස්ථාව දුන්නේ සුවපහසු තැනක සිටය. තරගය ආරම්භයේදීම සචින් තෙන්ඩුල්කාර් ලකුණු දෙකකට දැවී ගියේය. ඊළඟට පිටියට ආවේ බෙල්ලෙන් පහළට කොණ්ඩය වවාගත් අලුත් තරුණ ගැටයෙකි. පිටියට ආ තැන සිට ලංකා පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ මේ කොලුවා තරගය ඉන්දියාවට ජයග්‍රහණය කරවූයේ පන්දු 145කදී ලකුණු 183ක් ලබා ගනිමිනි. ඒ කොලුවා අද අපේ කතානායකයා වී සිටින දෝනිය. එදා සිට දෝනි හැමදාමත් ලංකාවට ඇණයක්ම විය. එහි කූටප්‍රාප්තිය වූයේ 2011 ලෝක කුසලාන අවසන් එක්දින තරගයයි. ඒ තරගයේදීද ජයග්‍රාහී මාවතට පිවිස සිටි ලංකා කණ්ඩායමේ තරගෙට හිටියේ දෝනිය. 1980-90 කාලයේ ආසියානු ක්‍රිකට් පිටියේ තරග දිනවන්නන් දෙදෙනෙක් වූහ. ඒ පකිස්තානයේ ජාවඩ් මියැන්ඩාට්ය. ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංගය. මියැන්ඩාට්-අර්ජුන දෙදෙනා පිත්ත රැගෙන පිටියේ සිටින විට අවසන් පන්දුව යවන තුරුම තරගය කොයි අතට යා දැයි කිසිම ජගතෙකුට කිව නොහැකි බව ඒ කාලයේ ප්‍රචලිත කතාවක් විය. පසු කාලයම එකී ආසියානුවන්ගේ ගොඩට එකතු වූ ක්‍රීඩකයා මහෙන්ද්‍ර සිං දෝනිය. ‘තරග දිනවන්නා’ යන අපර නාමය දෝනිට පටබැඳුණේ ඒ නිසාය. සැහැල්ලු අවස්ථාවලදී ආක්‍රමණශීලි දෝනි කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටින විටදී ඉතා සන්සුන්ය, කලබල නැත. එවන් අවස්ථාවලදී ඔහු පහරවල් තෝරා බේරා ගන්නේ මසුරෙක් තම මුදල් පෙට්ටියට අතදමා කාසියක් තෝරාගන්නා තරම් සීරුමාරුවටය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳම තරග නිමකරන්නා (බෙස්ට් ෆිනිෂර්) යන විරුදාවලිය දෝනිට ලැබී ඇත්තේද ඒ නිසාය. ඔහුගේ එක්දින ඉනිම් 297න් 84ක්ම නොදැවුණු ක්‍රීඩකයෙක් සේ සටහන් වීමෙන් ඒ බව කදිමට ඔප්පු කර තිබේ. එසේම දෝනි තරම් මසුරු ලෙස ජයග්‍රහණ පිපාසාවෙන් පෙළුණු වෙනත් ඉන්දීය ක්‍රිකට් නායකයකුද නැති තරම්ය. ඒත් ඔහු ඒ පිපාසය සංසිඳුවා ගත්තේ හීන්සීරුවේය. 1981 ජූලි 7 වැනිදා බිහාරයේ රංචි හි උපන් මහෙන්ද්‍රසිං දෝනි පාසල් සමයේ ක්‍රිකට් ක්‍රීඩකයකු නොවේ. එකල්හි ඔහු ප්‍රකටව සිටියේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු හැටියටය. ඔහු පාසල් පිලේ ගෝල රකින්නාය. මෙම ගෝල රකින්නාගේ ශරීර රිද්මයන් දුටු පාසලේ ක්‍රිකට් පුහුණුකරු දෝනි ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්නේය. ඉන්දීය ක්‍රිකට් වංශයට මහෙන්ද්‍රසිං දෝනි නමින් සුවිශේෂී චරිතයක් එකතු වන්නේ ඒ පුහුණුකරුගේ නිවැරදි දැක්ම නිසාය. දෝනි ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගන්නේ 2004 වසරේදීය. එනම් යන්තම් වයස අවුරුදු 17 පසුවෙද්දීය. වයස අවුරුදු දහඅටේදී ටෙස්ට් වරම් ලබාගත්තේය. 2007 වසරේදී ඉන්දීය එක්දින හා T20 කණ්ඩායමේ නායකත්වය,2008 වසරේදී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයටත් පත්වන දෝනි සිය වගකීම නිම කරන්නේ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් නායකයා හැටියටය. මේ කාලය තුළදී දෝනි ටෙස්ට් එක්දින හා T20 තරග 332කදී ඉන්දියාවට නායකත්වය දී ඇති අතර ඉන් තරග 178ක්ම නිමකළේ ජයග්‍රහණයෙනි. ඒ ජයග්‍රහණ මල්ලේ 2007 T20 ලෝක කුසලානයත් 2010 හා 2016 වසරවල ආසියානු කුසලානයත් 2011 වසරේ ලෝක එක්දින ශූරතාවයත් 2013 වසරේ චැම්පියන් කුසලානයත් අඩංගු වන්නේය. මෙවන් දස්කමක් කළ වෙනත් ඉන්දියානු ක්‍රිකට් නායකයෙන් නොවන අතර ලෝක මට්ටමෙන් බැලුවද දෝනි දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටිංට පමණි. එසේ වුවද, සීමිත ඕවර එක්දින කුසලානයත් T20 ලෝක කුසලානයත් අයි.සී.සී. ශූරයන්ගේ කුසලානයත් යන තුනම දිනා ගැනීම සඳහා කණ්ඩායමක් මෙහෙය වූ නායකයෙක් ලෝකයේම වෙත් නම් ඒ මහෙන්ද්‍ර සිං දෝනි පමණි. එසේම 2008/2009 වසර දෙකෙහිම ලෝක ක්‍රිකට් කවුන්සිලය තේරූ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේද දෝනිය. එපමණක්ද නොව 2013 වසරේදී ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමක් සියලුම තරගවලින් ඉන්දියාවට, පැරදුනේද දෝනි ඉන්දීය කණ්ඩායමේ නායකයාව සිටියදීය. එවැනි දස්කමක් ඉන්දීය කණ්ඩායම දක්වා තිබුණේ ඊට අවුරුදු හතළිහකට පෙරදීය. 2007 වසරේදී දෝනිට ගාන්ධි රත්න සම්මානයත් 2009දී ඉන්දියාවේ ගෞරවයෙන් සිව්වැනි ස්ථානයෙහිලා ගැනෙන පද්ම ශ්‍රී සම්මානයත් 2018දී ඊටත් ඉහළ තැන තිබෙන පද්ම භූෂන් සම්මානයත් ලැබුණේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්දියාවට ලබාදුන් කීර්තියට ගෞරවයක් හැටියටය. මෙවැනි ගරු සම්මාන පමණක් නොව 2011 වසරේදී දෝනි, ඉන්දියානු පළාත්බද හමුදාවේ 106 වැනි රෙජිමේන්තුවේ (පැරෂුට් රෙජිමේන්තුවේ) ලෙෆ්ටිනන්ට් කර්නල් තනතුරකින්ද පුද ලබන්නේය. ඉන්දීය හමුදාව මෙවැනි ගෞරවයක් මීට පෙර ලබාදී ඇත්තේ තවත් එක් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකුට පමණි. ඒ 1983 ලෝක කුසලානය ඉන්දියාවට ලබාදීමට නායකත්වය දුන් කපිල්දේව්ට පමණි. සාමාන්‍ය ක්‍රමයට ඉන්දීය පැරිෂුට් හමුදාවට එක්වන භටයකු අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු පැරෂුට් පිමි පහක් වේ. ගරු තනතුරක් සේ ලැබුණද දෝනිද එම අසීරු පිමි පහම සම්පූර්ණ කළේය. ඒ ඔහුගේ කැපවීම හා ධෛර්යයයි. මේ හමුදා තනතුර නිසා දෝනි පසුකලෙක ක්‍රිකට් පිටියේ ප්‍රශ්නයක්ද ඇති කරගත්තේය. ඔහු 2019 ලෝක කුසලාන තරගාවලියට බැස්සේ ඉන්දියානු හමුදා ලාංඡනය සහිත අත් වැසුමක් පැලඳගෙනය. එහෙත් එය ගලවා දමන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට අවවාද කළේය. එසේම පසුගිය වසරේ පෙබරවාරියේදී ඉන්දු පකිස්තාන් දේශ සීමාවේ පුල්වාමා හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගුවන් හමුදා නිලධාරීන්ට උපහාර දැක්වීම සඳහා දෝනි කළේ ඒ වන විට ඉන්දියාවට පැමිණ සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පැවැති තුන්වැනි තරගයේදී කාසියේ වාසිය බැලීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට යුද හමුදා හිස්වැසුම් බෙදාදීමයි. එම තරගයෙන් ලැබෙන මුදල ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල් අතර බෙදාදීමටද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුණි. කෙසේ වෙතත් දෝණිගේ ඒ තොප්පි බෙදාදීමට ද එදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර තිබුණි. කෙසේ වෙතත් 2004 වසරේ බංගලාදේශයට එරෙහිව පළමු එක්දින ජාත්‍යන්තරයට සහභාගි වී පළමු ඉනිමේදීම ලකුණු බිංදුවකට දැවී ගිය දෝනි නම් කොණ්ඩය වවාගත් කෙට්ටු කොලුවා අද වන විට ඉන්දියාවේ සුපිරි කෝටිපතියෙකි. 2012 වසරේදී ජාත්‍යන්තර සඟරාවක් දෝනි හඳුන්වා දී තිබුණේ ලොව දහසය වැනි තැනට අලෙවි වන ක්‍රීඩකයා හැටියටය. 2015දී ෆෝබර්ස් ශ්‍රේණිගත කිරීම්වල හැටියට ඔහු ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයන් අතර 23 වැනි තැන සිටියේය. එකල ගණනය කිරීම්වල හැටියට ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 32ක් විය. 2008 වසරේ ඉන්දිය ප්‍රිමියර් ලීග් (IPL) තරග පටන් ගන්නා විට වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා දෝනිය. එකල ඔහුට ඩොලර් මිලියන එකහමාරක් ගෙවූ අතර එය එවකට ඉන්දියානු රුපියල් කෝටි දහතුනක් පමණ විය. 2011 ඉන්දියාවට ලෝක කුසලානය දිනාදුන් සමය ඔහුගේ ක්‍රිකට් දිවියේ ඉහළම කාලයයි. මේ යුගයේදී (2016දී) දෝනිගේ ජීවන චරිතය ඇතුළත්ව බොලිවුඩයේ චිත්‍රපටයක්ද නිපද වූයේය. M.S. Dhoni The Untold Story යනුවෙන් නම් කළ එම චිත්‍රපටය 2016 වසරේදී ඉන්දියාවේ දෙවැනියට වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන්නේය. එම චිත්‍රපටය අවසන් වන්නේද 2011 ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන අවසන් තරගය ජයග්‍රහණය නිම කරන දෝනි තම පිත්ත ඉහළට ඔසවන දර්ශනයෙනි. මේ මොනවා කළත් දෝනි මඳක් පසුබැස්ස කාලයක්ද විය. ඒ කාලයේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුමේ A+ තැන සිටි ඔහු A මට්ටමට ඇද වැටුණේය. 2019 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම නවසීලන්තයට පරාජය වූයේය. නැවත ඉන්දීය ක්‍රිකට් ලෝක ශූරයන් වනු දැකීමේ පිපාසයෙන් පෙළුණු ඉන්දියානුවෝ පරාජයේ අවමානය පැටවූයේ​ දෝනිගේ කරපිටය. දෝනිගේ මන්දගාමී පිතිහරඹයත් අනවශ්‍ය මො​හොතකදී වූ දුවද්දී දැවීයාමත් එම පරාජයට හේතුව බවට හතර අතින්ම චෝදනා එල්ල වෙන්නට පටන් ගත්තේය. එහෙත් දෝනි ප්‍රකටව සිටියේ ප්‍රතිවාදී කණ්ඩායම අන්දමන්ද කරමින් කඩුළු අතර දුවන්නෙකු හැටියටය. එසේම විදුලි වේගයෙන් කඩුල්ල බිඳ දමන කඩුළු රකින්නෙකු හැටියටය. කෙසේ වෙනත් නවසීලන්තය හමුවේ ලැබූ එම පරාජයත් සමග දෝනිගේ නිවසට පොලිස් ආරක්ෂාව දෙන්නට පවා ඉන්දීය ආරක්ෂක අංශවලට සිදුවිය. ඒ ක්‍රිකට් ආගමක් කරගත් ඉන්දියාවේ හැටිය. මේ සිද්ධියත් සමග දෝනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි. ලොව ප්‍රකට ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් සිය වීරයා හමුවේ දැන්ම සමුනොගන්නැයි ඉල්ලා සිටියේ තීරණාත්මක මොහොතේදීය. උපාලි තිලකරත්න
 

More News..