brand logo

බෙලි කටුවෙන් වාසනාව පැතීම

13 January 2019

1965 වර්ෂයේ තිරගත වූ ‘චණ්ඩියා’ චිත්‍රපටය ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වූවකි. එනිසාම පසුකාලීනව ‘චණ්ඩියා’ යන නම ඇතුළත්ව චිත්‍රපට ගණනාවක්ම බිහි විය. ‘චණ්ඩින්ගෙත් චණ්ඩියා’, ‘හිත හොඳ චණ්ඩියා’, ‘එදත් චණ්ඩියා අදත් චණ්ඩියා’ එවැනි චිත්‍රපට කිහිපයකි. ‘චණ්ඩියා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ ටයිටස් තොටවත්තයන්ය. 1992 වර්ෂයේ දී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් තොටවත්තයන් පවසා සිටියේ ‘‘චණ්ඩියා’’ චිත්‍රපටයට ළං වෙන්නටත් බැරි ‘නොණ්ඩි’ දැන් සිනමා ශාලාවේදී දැකගත හැකි බවකි. තොටවත්තයන් එසේ පවසන විට ‘බජාර් එකේ චණ්ඩියා’ නම් චිත්‍රපටයක් සිනමාහල් හි ප්‍රදර්ශනය වෙමින් පැවතිණි. එහි ප්‍රධාන හෙවත් ‘බජාර් එකේ චණ්ඩියාගේ’ චරිතය නිරූපණය කළේ බන්දුල දිසානායක නමැති නළුවෙකි. ටයිටස් තොටවත්තයන් නොණ්ඩියකු ලෙස හැඳින්වූ ඒ චණ්ඩියා පසුගිය දිනක පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය. එහෙත් ඒ චණ්ඩිකමක් නිසා නොව වංචා චෝදනාවක් යටතේය. චෝදනාව වූයේ සිතූ පැතූ සම්පත් දෙන බව කියමින් රුපියල් ලක්ෂ ගණන් මිලට වාලම්පුරි අලෙවි කරමින් මුදල් වංචා කිරීමය. සිනමාවේදී බන්දුල දිසානායක වුවත් ඔහු මේ වාලම්පුරි වෘත්තියේ යෙදුණේ කීර්ති දිසානායක යන නමිනි. ඔහුගේ සම්පූර්ණ නම කීර්ති බන්දුල දිසානායකය. ආරම්භයේ දී මිරිහාන පොලිස් පටුමගේ පිහිටි ස්ථානයකදීද, පසුව අංක 94/13/368, ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයේ සිව් මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ‘නමෝ නාරායන’ නම් ආයතනය නමින් මෙම වාලම්පුරි ජාවාරම සිදු විය. වාලම්පුරියක් ළඟ තබා ගැනීම මගින් ධනය, බලය, වාසනාව ඇතුළු සකල සෞභාග්‍යයම උදාකරගත හැකි බව කීර්ති දිසානායක පවසයි. ඔහු තම ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නේ රටේ ජනතාව වැඩි දෙනෙක් බැඳී සිටින රූපවාහිනී නාළිකාය. අංක ගණිත ජ්‍යොතිර් විද්‍යාවට අනුව පුද්ගලයකුගේ වාසනා අංකය සොයාගෙන එම අංකයට ගැළපෙන වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් සිතූ පැතූ සම්පත් උදාකරගත හැකි බව කීර්ති දිසානායක මාධ්‍ය මගින් ප්‍රචාරය කළේ ය. එහිදී ධන ලක්ෂ්මී වාලම්පුරියක ඇති වාසනා ගුණය ඔහු වැඩි වැඩියෙන් අවධාරණය කරන්නට විය. එකී ප්‍රචාරය අනුව තමන්ගේ දියුණුව අපේක්ෂා කළ බෙලිඅත්තේ පුද්ගලයකු මෙම නමෝ නාරායන ආයතනයෙන් ‘වාලම්පුරියක්’ මිලට ගත්තේය. රු. ලක්ෂ 4 1/2 ක් ගෙවා ලබාගත් එම වාලම්පුරියට නියමිත පුද සත්කාර කළ ද අපේක්ෂා කළ දියුණුව ඔහුට ළඟා නොවී ය. එබැවින් වාලම්පුරිය ගැන සැක මතු වූ ඔහු ඒ පිළිබඳ මිරිහාන පොලිසියට පැමිණිලි කළේ ය. පසුව පොලිසියත් එම පුද්ගලයාත් එක්ව වාලම්පුරිය ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (නාරා) යවා පරීක්ෂා කරන්නට යෙදුණි. නාරා ආයතනයේ පරීක්ෂණයට අනුව වාලම්පුරිය ව්‍යාජයක් බවට තහවුරු විය. කීර්ති දිසානායක අත්අඩංගුවට පත්වන්නේ ඉන් අනතුරුවය. කැල්සියම් කාබනේට්වලින් ස්වභාවිකව නිර්මාණය වන හක්බෙල්ලාගේ පිටවැස්ම හෙවත් කටුව වමට කැරකී ඇති අවස්ථාව වාලම්පුරියක් සේ හැඳින්වේ. සාමාන්‍යයෙන් හක් බෙල්ලාගේ කටුව කැරකී තිබෙන්නේ දකුණු අතට බැවින් එය වම් අතට කැරකී තිබීම සුවිශේෂී අවස්ථාවකි. මේ නිසාම එය ඉතා දුර්ලභය. එවැනි බෙලිකටුවක් හමුවන්නේ ලක්ෂයකට එකක් පමණය. මේ නිසාම ‘ට්‍රයිටන් ෂෙල්’ නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එවැනි හක් බෙල්ලන් සංරක්ෂිත බෙල්ලන් සේ නම් කර ඇති අතර එවැනි බෙල්ලන්ගේ කටු නැතහොත් වාලම්පුරි ළඟ තබා ගැනීම ද තහනම්ය. කීර්ති දිසානායක විසින් බෙලිඅත්තේ පුද්ගලයකුට ලක්ෂ 4 1/2 කට විකුණා ඇති හක් බෙල්ලා ශ්‍රී ලංකාවෙන් වාර්තාවන හක් බෙල්ලකු නොවේ. එය දකුණු ඇමෙරිකාවේ සමුද්‍රාසන්නව සුලබව දැකිය හැකි හක්බෙල්ලන් විශේෂයකි. දකුණු ඇමෙරිකාවෙන් හමුවන මෙම හක් බෙල්ලන් ස්වභාවයෙන්ම වාමාවර්තය. එය සාමාන්‍ය තත්ත්වයකි. එම හක් බෙල්ලන් විද්‍යාත්මකව හඳුන්වන්නේ ‘බ්‍රෂිකම් කොන්ටාරියම්’ ලෙස වන අතර එවැනි හක් බෙල්ලන් වාලම්පුරි ලෙස නොසැලකෙන බව නාරා ආයතනයේ සමුද්‍ර ජීව විද්‍යා අංශයේ විද්‍යාඥ මධුර වීරසේන පෙන්වා දෙයි. වාමාවර්ත හක් බෙල්ලාගේ කටුව හෙවත් ‘වාලම්පුරිය’ ක් සතු පුද්ගලයාට වාසනාව උදාවන බවට අතීතයේ සිට මෙරට සමාජය තුළ මතයක් තිබේ. එහෙත් එයට විද්‍යාත්මක පදනමක් ඇතිද යන්න සනාථ වී නැත. කීර්ති දිසානායක ප්‍රයෝජනයට ගෙන තිබුණේ අනාදිමත් කාලයක සිට මෙරට ජන සමාජය තුළ පැලපදියම්ව පැවති මෙම විශ්වාසයයි. තමන් අලෙවි කළේ ද වාමාර්තව කැරකුණු බෙල්ලකු වූ නිසා වංචාවක් නොකළ බව කීර්ති දිසානායකට තර්ක කළ හැකිය. නමුත් ඔහු ව්‍යාපාරයක් ලෙස මෙම වාලම්පුරි වෙළෙඳාම කරන්නේම වංචනික අදහසින් ජනතාව රවටමින් බව අපගේ අදහසය. ඔහු තමන් හඳුන්වා ගන්නේ මහාචාර්ය විශ්වකීර්ති, දේශබන්දු, යන විශේෂණ පද යොදා ගනිමිනි. ඔහුගේ මේ විශ්ව කීර්ති, දේශබන්දු ගෞරව සම්මාන ලැබුණේ කෙසේදැයි අප දන්නේ නැත. අද මේ ලියන මමත්, කියවන ඔබත් කැමැති ගෞරව නාමයක් නමට ඉදිරියෙන් යොදා භාවිත කිරීමට හැකියාව තිබේ. ඒ ගැන කිසිවකු ප්‍රශ්න කරන්නේ නැත. දේශබන්දු යන ගෞරව නාමය ආණ්ඩුව විසින් ලබා දෙනු ලබන ගෞරව නාමයකි. ආණ්ඩුව එවැන්නක් ප්‍රදානය කර තිබේදැයි අප දන්නේ නැත. අපේ ආණ්ඩු කරන වැඩවල හැටියට එවැන්නක් මේ කීර්ති දිසානායකට ප්‍රදානය කර තිබෙන්නට ද බැරි නැත. එහෙත් ඔහු මහාචාර්ය යනුවෙන් භාවිත කිරීම තනිකරම වංචාවකි. නියමිත අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමෙන් පසු ආචාර්ය උපාධිය දිනා ගන්නා අය සේම, විශ්වවිද්‍යාල නොවන අටවා ගන්නා ආයතන විසින් පිරිනමන ‘ආචාර්ය’ පට්ටම් භාවිත කරන අයද අද සමාජයේ එමටය. එහෙත් මහාචාර්යවරයකු විය හැක්කේ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට පමණකි. ඒ නිසා මේ ‘වාලම්පුරි’ ව්‍යාපාරිකයා මහාචාර්ය නාමය භාවිත කිරීම මුළුමනින්ම සමාජය නොමග යැවීම සඳහා භාවිත කළ උප්පරවැට්ටියකි. කනගාටුවට කරුණ වන්නේ මූල්‍යමය වාසි තකා මෙවැනි වංචනිකයන් සමාජගත කරන්නට ඇතැම් මාධ්‍යයද කටයුතු කිරීමය. කීර්ති දිසානායක නමැති මේ වංචනිකයා මෙරට විද්‍යුත් මාධ්‍ය ආයතනයක සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගි වූයේ සම්පත්දායකයකු ලෙසය. මේ නිසා ප්‍රේක්ෂකයන් ඔහු කෙරෙහි විශ්වාසය තැබූ අතර එය ඔහුගේ ‘වාලම්පුරි’ වෙළෙඳාමේ වර්ධනයට ඉතා සාධනීය හේතුවක් විය. මේ පුද්ගලයා අදාළ සම්මුඛ සාකච්ඡාවලට සහභාගි වූයේ ආරාධිතයකු ලෙස නොව තමන්ම මුදල් ගෙවා බව බොහෝ දෙනකු දන්නේ නැත. පැයකට හෝ දෙකකට අදාළ මුදල ගෙවා ගුවන් කාලය ලබා ගන්නා මෙවැනි පුද්ගලයන් තමන් නම් කරන ඉදිරිපත් කරන්නකු ලවා තමන්ගේ ජාවාරම ප්‍රවර්ධනය වන අන්දමට තමන්ට අවශ්‍ය ප්‍රශ්න අසා ඒවාට පිළිතුරු දෙන්නේ තමන් ජනතාවට සේවයක් කරන බව හැඟවෙන පරිද්දෙනි. තමන්ගේ ජාවාරම සිත්සේ කරගෙන යන්නට අවශ්‍ය ප්‍රභූත්වය ආරෝපණය කර ගැනීම සඳහා මාධ්‍ය පමණක් නොව දේශපාලකයන්ද මිලදී ගන්නට මේ පුද්ගලයන් දක්ෂය. සමාජයේ ප්‍රභූන් මෙන්ම දේශපාලකයන් සමග ඇති සම්බන්ධතා නිසා ජනතාව වැඩි වැඩියෙන් ඔවුන්ව විශ්වාස කිරීමට පෙලඹෙති. බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා වර්ෂ 2016 දී කීර්ති දිසානායක නමැති මේ පුද්ගලයා බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය. ඒ අනුව ඉදිරි දිනකදී ඔහු දේශපාලනයට බැසීමට වුවද බැරි නැත. කීර්ති දිසානායකට එරෙහිව ‘වාලම්පුරී’ මිලදී ගත් අය පමණක් නොව ඔහුගේ සුඛෝපභෝගී සිව්මහල් ‘නමෝ නාරායන’ මධ්‍යස්ථානය ඉදිකළ ඉදිකිරීම්කරුද පොලිසියට පැමිණිලි කර ඇත. ඒ එම කාර්යය වෙනුවෙන් ලැබිය යුතු මුදල නිසි පරිදි ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා කරමිනි. මේ වන විට කීර්ති දිසානායකගේ නමෝ නාරායන මධ්‍යස්ථානයේ කටයුතු අත්හිටුවා තිබේ. ඔහුගේ වෙබ් අඩවිය සේම සියලු දුරකථන ද නිහඬය. එහෙත් තව ටික දිනකින් ඔහු එම ස්ථානයේම හෝ වෙනත් තැනකින් සිය සුපුරුදු ජාවාරමට අවතීර්ණ වීමට ඉඩ තිබේ. ජනතාවගේ ප්‍රශ්න, දුක, කඳුළ ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ව මුළාකොට මුදල් ගැරූ කීර්ති දිසානායක වැනි පුද්ගලයන් ගැන මීට පෙරද හෙළිදරව් වී තිබේ. දැනටත් එවැනි පුද්ගලයෝ බොහෝ පිරිසක් මේ සමාජයේ සිටිති. හෙට දවසේ තවත් එවැනි අය බිහිවනු ඇත. අපේ රටේ ජනතාව මේ වංචාකාරයන්ට හසුවන තෙක් එහි නැවතීමක් අපේක්ෂා කළ නොහැක. තුෂාර උඩවත්ත
 

More News..