brand logo

බුර්කාව තහනම් කර ආගමික පක්ෂ අත්හිටුවන්න

21 February 2020

සම්පූර්ණයෙන් ආවරණ වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඊයේ (20 වැනිදා) යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය. පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජයේ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයවික්‍රම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාවේ මේ බව සඳහන්කර ඇත.
යම්කිසි පුද්ගලයෙකු ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණය කරගෙන සිටින විටදී අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා එම මුහුණු ආවරණ ඉවත් කිරීමට යමෙක් අවනත නොවේ නම් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ බලය ද පොලිසියට තිබිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත. වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවීමට අවශ්‍ය නීති පැනවීම සඳහා මැතිවරණ කොමිසමට මෙම වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත. මේ අනුව අදාළ පක්ෂ නාමයන් හෝ එහි ව්‍යවස්ථාවේ යම් වාර්ගික හෝ ආගමික ගැටුම්කාරි තත්ත්වයක් ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කිරීමත් දැනට එවැනි පක්ෂයක් ඇති නම් එය නිශ්චිත කාලයක් ඇතුළත (වසර 2-3) ආගමික හෝ වාර්ගික නොවන දේශපාලන පක්ෂයක් බවට පත් කළ යුතු බවටත් අදාළ වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කොට තිබේ. වසර තුනක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය යටතේ ඇති සාමාන්‍ය පාසල් පද්ධතියට අන්තර් ග්‍රහණය කළ යුතු බව ද මෙම වාර්තාවේ සඳහන් වේ. මද්‍රාසා පාසල් ක්‍රියාත්මක විය යුත්තේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරීමෙන් පසු මවුලවිවරුන්ගේ අධ්‍යාපනය සඳහා පමණක් බව යෝජනා කර ඇත. සියලු ඉස්ලාමීය අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම, ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සඳහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ මීට අමතරව ඉදිරියේදී එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම, ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමන නීතිය සංශෝධනය කිරීම, විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම, මුස්ලිම් සිවිල් සමාජය බල ගැන්වීම, වකුෆ් පනත් සංශෝධනය කිරීම, අන්තර් ආගමික සහජීවනය තහවුරු වන පිරිදි ආගමික මධ්‍යස්ථාන හා දහම්පාසල් ඉදිකොට පවත්වා ගෙන යාම, සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම හා හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් 14කට අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.
සාලිය කුමාර ගුණසේකර
 

More News..