brand logo

බුර්කාවට නීති ගේන්න ඕන නෑ - ඒක හරිම ‘සෙන්සිටිව් ඉෂූ’ එකක්

27 August 2019

සති කිහිපයක් තිස්සේ උදේ 7.30 ට රැස්වූ ආණ්ඩුවේ ‘කැබිනට් රැස්වීම’ පසුගිය අඟහරුවාදා රැස් වූයේ පැයක් පමණ ප්‍රමාද වී ය. මෙහිදී ප්‍රධාන වශයෙන් ම සාකච්ඡා කෙරුණේ ‘ඇමරිකාවෙන් ආධාර ගැනීම’ සම්බන්ධයෙනි. මංගල සහ රනිල් එය ‘ඉක්මනින්’ කළ යුතු බව කියද්දී, ජනාධිපතිවරයා දිගින් දිගටම ඊට ‘හරස් කැපුවේ’ ය. ‘‘ඔය ණය ලැබෙන්නෙත් කොටස් වශයෙන්... ඒ වගේ ම ඔය වැඩේ තවත් අවුරුදු තුනක් විතර දිග්ගැස්සෙයි... ඒ වුණාට ඇමරිකාව ඕක දෙන්නෙත් අපිට එක එක බලපෑම් කරලනෙ... ඕක හරියන වැඩක් නෙවෙයි...’’ ජනාධිපතිවරයා කීවේ ය. ‘‘ඒ වුණාට මේක ණයක් නෙවෙයි... ප්‍රදානයක්... මේක ගත්තොත් අනෙක් ආයෝජකයොත් ධෛර්යවත් වෙනවා...’’ අගමැති රනිල් කීවේ ය. ‘‘මම කියන්නෙ නෑ ඇමරිකාවෙ ආධාරයම ගන්න ඕන කියලා... නමුත් ‘පොලී අනුපාත’ පහළ ගිහින් තියෙන මේ වෙලාවෙ කොහෙන් හරි අඩු පොලියට ණය දෙන තැනකින් ණය අරගෙන, වැඩි පොලියට කලින් ගත්තු ණය ටික ගෙවල දැම්මනං හොඳයි...’’ චම්පික රණවක කීවේ ය. එවිට ජනාධිපතිවරයා පැවසුවේ මෙසේ ය. ‘‘මේ වැඩේ හදිස්සියෙ කරන්න ඕන නෑ... අපි තව ටිකක් සාකච්ඡා කරලා තීන්දුවක් ගමු...’’ ඉන් අනතුරුව ‘කැබිනට් මේසයට’ ආවේ අධිකරණ ඇමතිනිය තලතා සහ මුස්ලිම් කටයුතු ඇමති හලීම් යන දෙදෙනා එක්ව ඉදිරිපත් කළ ‘මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට’ අදාළ ‘කැබිනට් පත්‍රිකාව’ යි. ‘‘මොන ආගමික සංස්ථාවක් විසින් කළත්, ගැහැනු පාර්ශ්වයේ කැමැත්ත නැතිව බලහත්කාරෙන් බැන්දවීම ‘අන් එතිකල්’... ’’ තලතා කීවා ය. ‘‘හරි... හරි... අපි මේක පාස්කරමු...’’ සියලුදෙනාම ඊට එකඟ වූ අතර මේත් සමඟම ‘බුර්කාවට අදාළවත් නීතියක් පැනවුණොත්’ එය ඉතා අගනේ යැයි, තවත් අයෙක් කීවේ ය. ‘‘නෑ... නෑ... බුර්කාවට නීති ගේන්න ඕන නෑ... ඒක හරිම ‘සෙන්සිටිව් ඉෂූ’ එකක්...’’ රාවුෆ් හකීම් එක හෙළා ම විරුද්ධ වූ අතර මංගල සමරවීර ද හකීම් කී දෙය අනුමත කරමින් ඔහුගේ පැත්ත ගත්තේ ය. ‘‘ඒ වුණාට පහුගිය දවස්වල මේ ගැන බරපතළ ආන්දෝලනයක් ආවා... එක් එක්කෙනාට වෙනස් වෙනස් විදියෙ වරප්‍රසාද තිබුණම හැමෝම අතරෙ ආතතිය වැඩි වෙනවා... හැම දෙයකටම පොදු නීති තියන එක තමයි හොඳ... පහුගිය දවස්වල ඉන්දියාවත් ‘පොදු නීති’ ගෙනාවනෙ...’’ චම්පික කීවේ ය. ‘‘ඕනැම නං ‘පොලිස් ඕඩිනන්ස් එකට’ අදාළව චක්‍රලේඛයක් දාලා බුර්කාව භාවිතයට අදාළව පියවරක් ගන්න... වෙනම නීති ගේන්න නං එපා...’’ හකීම් නැවතත් කිවේ ය. කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ‘ජනාධිපතිවරයා’ වෙත යොමු කළ කැබිනට්ටුව ඊ ළඟට කතා කළේ, ‘ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිධුරයට පත්කිරීම සම්බන්ධයෙන් පැන නඟින විදෙස් විරෝධතා’ ගැන ය. කැබිනට් මණ්ඩලයේ වැඩි දෙනකු එය ‘හෙළා දුටු’ අතර ඒ සම්බන්ධයෙන් ‘නිවේදනයක්’ නිකුත් කරන ලෙස ද ‘විදේශ කටයුතු’ ඇමතිවරයාට දැනුම් දුන්හ. විදේශ ඇමති තිලක් මාරපන ‘කතිකා කරගත් ආකාරයට’ ම එය කළ අතර පක්ෂ විපක්ෂ බොහෝ මැති ඇමතිවරු ඒ වෙනුවෙන් ඔහුට පෞද්ගලිකවම කතා කර ප්‍රශංසා කළහ. මේ අතර ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන්, විරෝධය පළ කළේ ‘විදේශ නියෝජිතයන්’ පමණක් නොවේ. ඔහු මෙම තනතුරට පත් කරන්නට යන බව දැනගත් වහාම, ජනාධිපතිවරයා ළඟින් ම සිටින ශ්‍රී.ල.නි.ප.යේ එක් අයෙක් ඊට විරෝධය පළ කළේ ය. ඔහු කීවේ මෙවැන්නකි. ‘‘සර්... ඔය වැඩේ නං කරන්න එපා... මොනවයින් මොනව වෙයි ද දන්නෙ නෑ... ගෝඨයි ශවේන්ද්‍රයි දෙන්නම එකම රෙජිමන්ට් එකේනෙ...’’ කෙසේවෙතත්, ජනාධිපතිවරයා ඊට ඇහුම්කන් නොදී ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් කර තිබුණු අතර විදෙස් බලපෑම් හමුවේ වුවත්, එම තීරණය ආපසු හැරවූයේ ද නැත.
 

More News..