brand logo

බුදුපිළිම කැඩුවාම අපි ආණ්ඩුව ඇතුළෙ අරගල කළා

17 May 2019

- පාඨලී චම්පික රණවක මෙගා පොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය නොසිතූ මොහොතක රටට දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙද්දී ජනපති අගමැති හා ඔබ ඇතුළු ආණ්ඩුව නිදාගෙන හිටියෙ ඇයි? අපි නම් නිදාගෙන හිටිය නෑ. 2003, 2013 හා 2014 දී මම පොතුත් ලියල මේ ගැන සියලු දෙනා දැනුවත් කළා. මේ සිදුවීම් එනකොටත් මම සියලු වගකිවයුතු අයට අනතුරු ඇඟෙව්වා. මාවනැල්ලෙ බුදු පිළිම කඩන කොට ආපු තොරතුරු මත වනාතවිල්ලුවෙ අවි පුහුණු කඳවුරක් ඇල්ලුවා. ඒ තොරතුරු දුන්න කියල ඇමැති කබීර්ගෙ ලේකම්ට වෙඩිත් තිබ්බා. අප්‍රේල් 16 දා කාත්තන්කුඩියෙ මේ ත්‍රස්තයො ‘‘ටෙස්ට්’’ බෝම්බයකුත් පිපිරෙව්වා. අපේ වගකිවයුතු අය මේව හරියට තේරුම්ගත යුතුව තිබුණා. අපි මේවා ගැන ආණ්ඩුව ඇතුළෙ අරගල කළා. ජාත්‍යන්තර හා මෙරට බුද්ධි අංශ තොරතුරු ලබා දීලත් එය කළමනාකරණය කර ගැනීමට ඉහළම දේශපාලන අධිකාරිය හා ආරක්ෂක අංශවලට නොහැකිවීම බරපතළයි නේද? ඔව්. ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් හා පාර්ලිමේන්තුව තුළ සිදු කරන පුළුල් පරීක්ෂණයෙන් කවුද හරි කවුද වැරදි කියන සියලු තොරතුරු එළිවේවි. ඇමෙරිකාවේ බුද්ධි අංශ හා ආරක්ෂක අංශවල තිබුණු සම්බන්ධීකරණයේ දුබලකම නිසා අල්කයිඩා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයටත් ගැහුවා. මෙහෙ සිදුවුණෙත් ඒ වගේම දෙයක්. අපි ඒවා වහා නිවැරදි කරගන්නවා. මහින්ද මහත්තයත් රටට ඇත්තටම ආදරේ නම් බොරදියේ මාළු බාලා පටු වාසි ගන්නවා වෙනුවට ආරක්ෂක කවුන්සිලයට එන්න ඕනෑ. පොලිසියේ දෙන්නෙක් මැරුවට බණ්ඩාරවෙල බස් එකේ බෝම්බයක් පිපිරුණාම ‘‘කොටි එනවෝ’’ කියල දඟලපු විපක්ෂයේ මුග්ධ රැළගෙ දැඟලිල්ල නිසා ආරක්ෂක අංශත් නොමග ගිහින් කොටි හෙව්වා මිසක් මුස්ලිම් ත්‍රස්තවාදය හෙවීම අවම කළා. ඒකත් විශාල ගැටලුවක් වුණා. ත්‍රස්තවාදය යළි හිස එසවිය හැකි බවත් ජාතික ආරක්ෂාව යම් අනතුරක බවත් විපක්ෂය හා ඊට අනුබද්ධ කොටස් පෙන්වා දෙන විට ආණ්ඩුවට එය ‘‘නයාට අඳුකොළ’’ වුණා ඔබට මතකද? මේ විපක්ෂය ‘‘කොටි එනවෝ’’ කියල පටු දේශපාලන වාසි තකා ජනතාව භීතියට පත් කළා විතරයි. ඔය රාජපක්ෂ නඩය මුස්ලිම් අන්තවාදයක් හෝ එම ත්‍රස්තවාදයක් ගැන කියපු එක තැනක් තියෙනවා නම් මට පෙන්නන්න. මෙයාලා මුස්ලිම් ත්‍රස්තවාදය පෝෂණය කළේ මෙයාලට බලය තිබුණු 2015ට පෙරයි. ඒ නිසා කොටි ගැන මතක් කරලා ‘‘සහරාන්ලගෙ මුස්ලිම් ත්‍රස්තවාදය’’ මෙයාලා වැහුවා. මොකද සහරාන්ලා හැදුවේ අද විපක්ෂයේ සිටින පිරිසයි. ලොව ක්‍රිස්තියානි හමුදා අයි.එස්.අයට ප්‍රහාර දෙන නිසා ලංකාවේදී ඊට එරෙහි ප්‍රතිප්‍රහාර දුන් බව අයි.එස්. ත්‍රස්ත නායකයා කීවා. ඔබ ඒ තුළ ලංකාවේ විපක්ෂයට ප්‍රහාරදීම සාධාරණද? 2015ට කලින් ඔය මුස්ලිම් අන්තවාදීන්ට පඩි නඩි ඉඩම් දීලා තව තව දේවල් දීලා පෝෂණය කළේ කවුද කියලා රටම දැන් දන්නවා. හිටපු පාලකයො පඩි දීලා ඔය ත්‍රස්ත කල්ලිය ඇතුළෙ අය අල්ලගත්ත නම් ඔවුන් මර්දනය කළ යුතුයි. ඒත් එහෙම නොකර තම දේශපාලන න්‍යාය පත්‍රයට වාසි ලෙස ඔවුන් යොදා ගැනීමයි එදා සිදු කළේ. එදා පෝෂණය කළ පිරිස තමයි අයි.එස්. එක එක්ක එකතු වුණේ. මෙවර ප්‍රහාරය ඒ තුළ ජාත්‍යන්තර එකක්. ඒක මෛත්‍රී, රනිල් හෝ මහින්ද ඉලක්ක කළ එකක් නොවෙයි. ඒ මෙරට මුස්ලිම් ත්‍රස්තවාදයේ මූලබීජ පෝෂණය කළ අයට ඒ පවෙන් ගැලවෙන්න බෑ කියන එක විතරක් මතක තියාගන්න කියලයි මම කියන්නෙ. නමුත් 2015 දී භාරගත් සාමකාමී රට තුළ යළිත් ‘‘ත්‍රස්තවාදී ගිනිදැල්’’ ඇතිවීමේ වගකීම භාරගන්න අද කිසි කෙනෙක් ඉදිරිපත් නොවීම ගැටලු සහගත නැද්ද? ජනාධිපතිතුමා, අගමැතිතුමා, කැබිනට් එක ඇතුළු මුළු ආණ්ඩුවම මෙහි වගකීම් අඩු වැඩි ලෙස භාරගන්නවා. ඉන් මිදෙන්න කාටවත් බෑ. පාලකයන් නිසි වෙලාවට නිසි තීන්දු ගත්තෙ නෑ කියන චෝදනාව බැහැර කරන්න බැහැ. ඕනෑම රටක යුද්ධයක් නැති වුණාම ආරක්ෂාව ගැන අවධානය එහා මෙහා වෙනවා. ඒක කරන්න නරකයි. මේ රජය ආරක්ෂක අමාත්‍යාංශයට ඉහළම මුදල වෙන් කළා. බඳවා ගැනීම් කළා. උපකරණ ගත්තා. ඒත් ‘‘අවධානය’’ මඳක් ගිලිහුණා. එය බරපතළ අතපසුවීමක්. අප පෙන්වා දුන් ඇතැම් දේත් බැහැර කළ අවස්ථා නැත්තේ නැහැ. එදා කොටි පැරදවීමේ බරපතළම වැඩ කොටසක් අපි ඉටු කළා. 95 දී ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය පටන් ගත්ත අපි ෆෙඩරල්, පී ටොම්, මාවිල්ආරු ජල ප්‍රශ්නයේදී සමහරු පස්ස ගහනකොට ‘‘ඩබල් ගේම්’’ ගහන කොට සෘජු ස්ථාවරයක හිටියෙ අපියි. අපි තමයි දේශප්‍රේමී, අපි තමයි සිංහල බෞද්ධ කියන සමහරු හා සමහර හිමිවරු ඒ කාලෙ හිටියෙ කොහෙද කියල අපි දන්නෙ නෑ. තවත් අය නිහඬව හිටියෙ. තවත් සමහරු ඒ කාලෙ පිටරටවල හිටියාය කියල අද එයාලටත් මතක නෑ. මේ පසුබිම තුළ ඔබ 2015දී ගත් තීන්දු ගැන අද යම් අතෘප්තිකර බවක් තිබෙනවාද? කිසිසේත්ම නැහැ. අපි පටු බල කෑදරකමට නොව රටේ දේශපාලන ප්‍රමුඛතාවලට අනුගත වෙලා රටට අවශ්‍ය වෙනස්කම් කරන්න ඉදිරියෙන්ම ගමන් කරන පිරිසක්. 83 දී 2005 දී හා 2015 දී අපි රටේ හා ජනතාවගේ අවශ්‍යතා අනුවයි ක්‍රියා කළේ. 2019 ප්‍රහාරයත් එක්ක අලුත් දැක්මක් අනුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඉස්ලාම් මූලධර්මවාදය හා සෙසු සමාජය අතර ගැටුම නිරාකරණය කිරීම එම වගකීමයි. මහින්ද වගේම මෛත්‍රී - රනිල් එක්කත් අපි ක්‍රියා කරන්නෙ අපේ අනන්‍යතාව රැකගනිමිනුයි. පවුල්වාදයෙන් තොර නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් සඳහායි අපි 2015දී ක්‍රියා කළේ. රැල්ලට යාම නොව රැල්ලට එරෙහිව ගිහින් ජනතාවට ජයගෙන ඒම අපේ ක්‍රමයයි. කොටි පැරදීමට අපි කෙළින් හිටගත්තේත් ඒ පදනමිනුයි. එදා කොටි පරාජයේ වගකීම් භාරගන්නවා හා ලකුණු දමාගන්නවා සේම මේ මුස්ලිම් ප්‍රහාර තුළින් ඇති වූ ‘‘කඳුළු‘‘ වල වගකීමුත් ඔබ භාරගන්නවද? මට හෝ එජාපයට ආරක්ෂක හෝ නීතිය සාමය වගකීම නොතිබුණත් සාමූහික වගකීම භාරගන්නවා. ඒත් දැන් එක එක්කෙනාට ඇඟිල්ල දිගු කිරීමෙන් හෝ පටු දේශපාලන වාසි වෙනුවෙන් ක්‍රියා කිරීමෙන් රටට වෙන සෙතක් නෑ. ඇති වූ තත්ත්වයෙන් මිඳීමට කැපවීම කාගෙත් වගකීමයි. කවුරු අතින් මොන වැරැද්ද හා අතපසුවීම වුණත් ඒකට පිළියම් යොදලා ජිහාඩ් ත්‍රස්තවාදය පරාජය කිරීම රටට ආදරේ කාගේත් වගකීමයි. මේක මාස 03න් මර්දනය කරනවද නැතිනම් වසර 03ක් දක්වා ගෙනයනවාද වසර 30ක ‘‘ශාප ලත් යුද්ධයක්’’ කරනවාද කියලා අපට දැවැන්ත තීන්දුවක් ගන්න වෙලාව ඇවිත් තියෙනවා. මුස්ලිම් ත්‍රස්තවාදය මර්දනයේදී ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට යම් වගකීමක් නොපැවරීම ගැන මොකද කියන්නෙ? වගකීම් පැවරීම ගැන තීන්දු ගැනීම ජනාධිපතිතුමා සතුයි. ත්‍රස්තවාදය පරාද කිරීමේදී ෆොන්සේකාගෙන් නෙවෙයි යක්ෂයන්ගෙන් හරි උදව් අරන් මේක ඉක්මනින් ඉවර කිරීම සියලු දෙනාගේම වගකීමයි. වසර 30ක යුද්ධයේ අත්දැකීම් ඇති සියලු දෙනාගේ හැකියාවෙන් ප්‍රයෝජනය ගැනීම ඉතා වාසිදායකයි. පළාත් පාලන ඡන්දයේදී ජනතාව එජාපෙට කනේ පහරක් දී ඇති පසුබිමක අගමැති රනිල් හා එජාපෙ රකිමින් ඉදිරියට යාම ගැටලු සහගත නැද්ද? එජාපෙ ඡන්ද පදනම පළාත් පාලනවලදී පහළ ගියේ ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ආණ්ඩුවට ගහපු ශ්‍රීලනිප අයගෙ හැසිරීම් හා දූෂණ නැති කරල හිටපු දූෂිතයන්ට දඬුවම් දෙන්න ආපු එජාපය බැඳුම්කර වංචාව සිදු කිරීම නිසයි. අපි රනිල්, මහින්ද හෝ මෛත්‍රී රකින අයට වඩා ප්‍රතිපත්තිමය පදනමක සිට ක්‍රියා කරන අයයි. විශ්වාසභංගයේදී රනිල් රැක්කේ අවස්ථාවාදීන්ගේ දේශපාලන ගේම් එක පරදවලා 2015 මහ මැතිවරණයේදී එජාපෙට ලැබුණු ලක්ෂ 50ක ජනවරම රකින්නයි. දින 54 හොර ආණ්ඩුව පලවා හරින්න අපි පෙරමුණ ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රකින්නයි. 2015 ජනපතිවරණය දිනුවාම ශක්තිමත් පාර්ලිමේන්තු බලයකුත් අවශ්‍ය නිසයි අපි එජාපෙත් එක්ක එකට ගියේ. 2015 දී එක පවුලක් සංවර්ධනයේ මුවාවෙන් රට දැරිය නොහැකි ණය බරකට දාලා ජාතික මංකොල්ලයක් කළා. බලය යොදලා ජනතාව උගතුන් ජනමාධ්‍ය පවා මර්දනය කළා. 2019 දී යළි ඒ අඳුරු යුගයට රට ගෙන යා යුතු නැති බව ජනතාව තේරුම් ගන්න ඕනෑ. පළාත් පාලන ප්‍රතිඵල අනුව ඊළඟ ජනපතිවරණ ප්‍රතිඵල එන්නෙ නෑ. 2014 දී මහින්ද පළාත් සභා උඩින් දිනලා 2015දී ජනපතිවරණය පැරදුණා. මේ ත්‍රස්ත ප්‍රහාරය නිසා ඉන්න අය ගෙදර යා යුතුයි. අපට බලය දෙන්න ඕනෑය, මේක කරන්න පුළුවන් අපට විතරයි කියන ‘‘දුක් ගී’’ වලට ජනතාව රැවටිලා රට යළිත් පරණ අඳුරට රට යොමු කළ යුතු නෑ. මේ රජය යටතේ හිමිවරු හා බුද්ධි අංශ අපහසුතාවලට ලක්වීම ගැන ඔබගේ මැදිහත්වීම ‘‘දියාරු’’ වුණේ ඇයි? නීතිය මේ රටේ කාටත් එකයි. මේ ආණ්ඩුව එතැනට රට ගෙනාවා. සිවුරු හෝ ලෝගු ඇන්දා හෝ බුද්ධි අංශවල හිටියා කියලා නීතිවිරෝධී වැඩ කරන්න සාමයට බාධාවන රළු ප්‍රකාශ කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒත් පොලිසිය ඇතැම් අවස්ථාවල ක්‍රියාත්මක වූ හැටි ගැන අපට ප්‍රශ්න තියෙනවා. අපි ඒ ගැන ‘‘දියාරු’‘ නෙවෙයි දැඩි හඬක් නැගුවා. ඒත් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ බලවතුන්ට එක විදියකටත් සාමාන්‍ය ජනතාවට තවත් විදියකටත් නීතිය ක්‍රියාත්මක වීම අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඇවන්ගාඩ් හා මිග් ගනුදෙනුවේ චූදිතයො ඉහළ උසාවිවලින් පහළ උසාවිවල නියෝග පවා අවලංගු කර ගත්තා. එක පතොරමක් අහුවුණාමත් ගිනි අවි ආඥා පනතින් නඩු පවරනවා. ඒත් අවි නැව් අහුවුණාම එහෙම සිදුවුණේ නැහැ. ඒ නිසා මහේන්ද්‍රන් කියන ‘‘මහ හොරා’’ වගේම නීතියට අභියෝග කරන රටින් පැනපු උදයංග හා රට තුළම ඉන්න තවත් හුඟක් අයට ලැබෙන ආවරණ ගැන ජනතාවට පුදුමයි. මේ රජය නීතිය සාධාරණ කළා. ඒත් කාර්යක්ෂම හා අපක්ෂපාතී කළේ නෑ. ජනාධිපතිතුමා කුඩු අල්ලනවා වගේ මේවත් නිවැරදි කරන්න ඕනෑ. මුස්ලිම් ත්‍රස්තවාදය ඉක්මනින් මැඬලමින් මුස්ලිම් ප්‍රමුඛ සියලු ජාතීන් අතර සමගියට පදනම දැමීම ගැන ඔබේ දැක්ම කෙබඳුද? පටු දේශපාලන අන්තවාදීන් හා පාදඩයන් මේකට මැදිහත් වෙලා ජාතීන් අතර ගැටුමක් නිර්මාණය කරන්න හදනවා. පාසල් ළමයි තුළ භීතිය වපුරනවා. එවැනි අයට නීතිය අනුව දැඩි දඬුවම්වලට යටත් වෙන්න වෙවි. ඇතැම් ජනමාධ්‍යත් එතැන ඉන්නවා. මුස්ලිම් අන්තවාදය නැති කරන්න සාමාන්‍ය මුස්ලිම්වරුන්ට ගහල බෑ. ඔවුන්ගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍යයි. බුර්කාව ගැන නීති සකස් කළ යුතුයි. මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය මහින්ද යුගයේ කුඩාවට පටන් ගත්තෙ. එය ජනසතු කළ යුතුයි. මද්‍රසා හා අරාබි පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගත යුතුයි. මේ රටේ එකම නීතියක් ක්‍රියාත්මක කරන්න මුස්ලිම්වරුන් හදවතින්ම සහාය දෙන්න ඕනෑ. මේ රට ‘‘සිංහල බෞද්ධ’’ බව කාදිනල්තුමා පවා පිළිගනිද්දි ඔබේ කැබිනට් සගයා මංගල එසේ නොවන බව ප්‍රකාශ කිරීම ඔබේ බෞද්ධ හා දේශපාලන පදනමට පවා අභියෝග කිරීමක් බව පිළිගන්නවාද? මංගල ඇමැතිතුමාට හැම දෙයක් ගැනම එයාගෙ මතයක් තියෙනවා. ඔහු ඒක කියනවා. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වගේ දේවල් ගැන ඔහුගේ මතවලට අපි එකඟයි. ඒත් ඉතිහාසය, සංස්කෘතිය ගැන එයා කියන දේට එකඟ නෑ. සිංහල යනු අපට අනන්‍ය බසක්, අපේ සංස්කෘතිය බුදු දහම මත පදනම් වූ එකක්. අපි අපේ දේ රැක ගත්තා මිසක් අපේ දේවල් අනුන්ට බලෙන් පටවන්න ගියේ නෑ. අපි බොහෝ ජාතීන් හා ආගම් ඉතිහාසය පුරා රැක්කා. මේ රටේ සෙසු ජාතීන්ට හා ආගම්වලට අනන්‍යතාවක් තියෙනවා. අපි සිංහල බෞද්ධ වගේම ඒ අයත් රැකගෙන ලාංකීය ලෙස හිතන පසුබිමක් හදන එක වටිනවා. සමහර කොටස් ඊට එකතු නොවීම ගැටලුවක්. බටහිර හෝ අරාබි විදියට මේ රටේ ඉන්න ගියොත් ගැටලු එනවා. 80 දශකයේ ඉඳලා ආගම හා භාෂාව මුල් කර ගෙන මුස්ලිම්වරු හිතන්න ක්‍රියාකරන්න ගත්තම ලාංකීය බව ගිලිහෙන්න ගත්තා. එහෙම බෑ. ඔවුන් ලාංකීය කරගැනීමයි අවශ්‍ය. ඇමැති රිෂාඩ්ට එරෙහිව රතන හිමි ගේන බව කියන විශ්වාසභංගයට සහාය දෙනවද? ගේන්නෙ කවුද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අන්තවාදයට ත්‍රස්තවාදයට දූෂණයට භීෂණයට මිනීමැරුම්වලට එරෙහිව පටු දේශපාලනය සඳහා නොවී ගේන ඕනම දේකට අදාළ චෝදනා ගැන සලකල ඒවා සත්‍ය නම් අපි එතැනදි හරි තැන හිටගන්නවා. අශෝක ජයතුංග
 

More News..