brand logo

දුව මුස්ලිම් සැමියාගේ හිරකාරියක් වුණා

03 August 2020

ලංකාවේ බුද්ධි අංශ එක් කාන්තාවක සොයා ගැනීමට වසරක් තිස්සේ මහත් පරිශ්‍රමයක් දරමින් සිටිති. බුද්ධි අංශ සොයන මේ කත පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ය. කවුද මේ සාරා. ඒ ගැන දැන ගැනීමට නම් වසරකට ඉහත දී පාස්කු දින මීගමුව කටුවාපිටිය පල්ලියට එල්ල වූ ප්‍රහාරයේ සුලමුල දැන ගත යුතුය. මේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළේ සහරාන් කල්ලියේ සාමාජිකයකු වන මොහොම්මද්දු හස්තුන්ය. ඔහු නීතිය පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය ලැබූවෙකි. ප්‍රහාරය එල්ල කිරීමට පෙර හස්තූන් කටුවාපිටිය දේවස්ථානයට යාබදව ඩේවිඩ් මාවතේ නිවසක් කුලියට ගනු ලබන්නේ අනෙක් අයගේ ද සහාය ඇතිවය. ප්‍රහාරයෙන් පසු බුද්ධි අංශ හස්තුන්ගේ අලගිය මුලගිය තැන් සොයද් දී හෙළි වූයේ ඔහුගේ බිරිය සාරා සැකකටයුතු තැනැත්තියක් බවය. මේ අතරේ අම්පාරේ සයින්දමර්දුහි නිවසක සහරාන්ගේ තවත් කල්ලියක් සිටින බව​ තොරතුරු හෙළි විය. එය වැටලීමට ගිය යුද හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සහරාන් හෂීම්ගේ දෙමාපියන් සහ සහෝදරියන් ඇතුළු 17ක් මිය ගිය බවත් සාරා ද ඒ අතර සිටින බව පොලිසිය එදවස නිල වශයෙන් කීවේය. එය ප්‍රකාශ කළේ එකල පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකරය. කෙසේ නමුදු පසුව සාරාගේ මව සමග කළ ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් හෙළි වන්නේ මිය ගිය අය අතර සාරා නැති බවය. හමුදාව සයින්දමරුදු නිවස වැටලීමට පෙර ඉන් පැන ගිය සාරා පසුව ඉන්දියාවට පළා ගොස් ඇති බව හෙළි කර ගත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරික්ෂණ කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන් මාහීන්කන්ද ඇතුළු නිලධාරීන් පිරිසකි. ඇයට ඉන්දියාවට යෑමට ඇයගේ මවගේ නැගණියගේ සැමියා සහ එම පුද්ගලයාගේ සහෝදරයා උදව් කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇත. සාරාට ලංකාවෙන් පලා යෑමට උදව් කිරීමට සැකපිට මේ වන විට කලවංචිකුඩි පොලිසියේ රථාවාහන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන අබු බකර් නමැත්තාද අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන් මාහීන්කන්ද පවසන්නේ මඩකළපුව ප්‍රදේශයේදී ඔහුට තොරතුරුකරුවෙකු මාර්ගයෙන් සාරා පිළිබඳව තොරුතුරු ලැබුණ බවය. එහිදී එම තොරතුරුකරු කියා ඇත්තේ 2019 වසරේ සැප්තම්බර් මාසයේ දිනක රාජකාරි කටයුත්තක් සඳහා තමාගේ කැබ් රථයෙන් අලුයම 3ට පමණ මඩකළපුව කල්මුණේ මාර්ගයේ තමන් ගමන් කරමින් සිටියදී කල්මුනේ මඩකළපුව ප්‍රධාන මාර්ගයේ බීච් පාරේ වම්පසට වන්නට බටර් පැහැති 250 අංකය දරන පිකප් රථයක් සැකකටයුතු ලෙස නතර කර තිබූ බවය. ඒ සම්බන්ධයෙන් තමා කළ විමසිල්ලේදී එම පිකප් රථය දෙසට පුද්ගලයින් දෙදෙනෙකු සමග කාන්තාවක් පැමිණෙන අයුරු දුටු බවත් ඇය පසුපසින් පිරිමි පුද්ගලයින් දෙදනකු ගමන් කළ බවත් තොරතුරුකරු දැක තිබේ. පසුව පිකප් රථය නතරකර තිබූ ස්ථානයේ විදුලි පහන් කණුවේ ආලෝකයෙන් එම කාන්තාව කව්රුන්දැයි තමා පහසුවෙන් හඳුනාගත් බවත් ඇය සාරා ජස්මින් බවත් එම තොරතුරුකරු විසින් හඳුනාගෙන ඇත. සාරා වයස අවුරුදු දහයක පමණ කාලයේ සිට ජීවත්ව ඇත්තේ මෙම තොරතුරුකරුගේ නිවස ආසන්නයේ පිහිටි නිවසකය. දිගින් දිගටම සාරා පිළිබඳව පරීක්ෂණ කිරීමේදී මේ වන විට හෙළිවන්නේ සාරා මන්නාරමේ සිට ඉන්දියාවට ධීවර බෝට්ටුවකින් පලාගොස් ඇති බවය. එමෙන්ම දෙවැනි ප්‍රහාරයට සයින්දමරුදු නිවසේ සැඟව සිටි පිරිස අතරින් සිට දිවි ගලවාගෙන පලා ගොස් ඇති එකම කාන්තාව සාරා බව දැන් හෙළි වී තිබේ. ඇය මේ ප්‍රහාරයෙන් ගැලවී ඉන්දියාවට පැන්නේ ඇය විදේශයක ඔත්තුකාරියක් බව අනාවරණය වෙමින් තිබියදීය. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනපති කොමිසමට සාක්ෂි දීමට පැමිණි සාරාගේ මව හඬමින් ඉල්ලා සිටියේ, අනේ මගේ දුව සිටින තැනකින් මට සොයා දෙන්න යනුවෙනි. සාරාගේ මව කවිතා රාසරත්නම්ය. දෙමළ ජාතිකත්වය ඇති හින්දු ආගම අදහන දුව මුස්ලිම් ජාතික කතක් ඉස්ලාම් ආගමට බලහත්කාරයෙන් හරවා ගත් ආකාරය ඇය සතිඅග අරුණට විස්තර කළේ මෙසේය. ඔබේ දුව පුලස්තිනි මහේන්ද්‍රන් සාරා ජසමින් වුණේ කොහොමද? මගේ දුව ඉස්ලාම් ආගමට මාරු වුණ නිසයි එහෙම නම වෙනස් වුණේ. අපි හින්දු භක්තිකයෝ. විවාහයෙන් පසුව ඇය ඉස්ලාම් ආගම වැලඳගෙන නමත් මාරු කළා. ඇය විවාහ වුණේ කා සමගද? මොහොඩ් හස්තුන් එක්ක තමයි ඇය විවාහ වෙලා හිටියේ. ඔහු තමයි කටුවාපිටිය දේවස්ථානයට පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. ඔබේ දියණිය ඉපදුනේ කොහෙද? මගේ දුව 1996 වර්ෂයේ මාර්තු මාසේ 7 වැනිදා තමයි ඉපදුනේ. දැන් වෙනකොට වයස අවුරුදු 24ක්. එයා ඉපදුනේ මඩකළපුවේ තේතාතිව් ගමේ. සාරාට සහෝදර සහෝදරියන් සිටිනවද? ඇයට බාල සහෝදරයෙකු ඉන්නවා. සාරාගේ ළමා කාලය ගෙවුණේ කොහොමද? ඇය ඉතාම සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙනිච්චා. තේතාතිව් මහා විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරලා සාමාන්‍ය පෙළ විභාගය සඳහා A සාමාර්ථ අටයි B සාමාර්ථයක් ගත්තා. උසස් පෙළට ජීව විද්‍යාව හැදෑරුවා. සාරාගේ පාසල් අවධියේ ඇය යහළුවන් සමග කාලය ගත කළාද? ඔව්. එයාට හුඟක් යහළු යෙහෙළියන් හිටියා. ඇයට පාසලෙත් යහළුවන් හිටියා. අමතර පංතිවලට ඇය ගියා. ඒ පංතිවලත් ඇයට යහළුවන් සිටි බව මම දන්නවා. දෙදහස් පහළොව වර්ෂයේදී දියණිය අතුරුදන් වුණාද? 2015 අවුරුද්දේ ජූලි මාසයේ 29 වැනිදා මගේ දුව උපකාරක පංතියකට ගිහින් නැවත ගෙදර ආවේ නැහැ කියලා මට දැනගන්න ලැබුණා. මේ ගැන මම මගේ අම්මට කිව්වා. පස්සෙ මගේ අම්මා දුව නැහැ කියලා කලවංචිකුඩි පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඔබේ දියණිය මෙලෙස අතුරුදන් වීමෙන් පසු ඔබේ සහෝදරයාට කාගෙන් හරි ඇය ගැන තොරතුරු කියලා දුරකතන ඇමතුමක් ලැබුණාද? ඔව්. අබ්දුල් රාසික් කියළා කෙනෙක් මගේ ස‌හෝදරයාට දවස් පහළොවකට පස්සෙ දුරකතන ඇමතුමක් දීලා එයා ළඟ මගේ දුව පුලස්තිනි ඉන්න බව කිව්වා. ඒ වගේම මගේ දුව ඉස්ලාම් ආගමට හරවාගෙන ඇති බවද පවසා තිබුණා. මේ කාලය වෙද්දී ඔබ කොහෙද හිටියේ? මම ඒ කාලය වෙද්දී අබුඩාබියේ රැකියාවකට ගොස් සිටියා. තමාගේ දියණිය සාරා මෙලෙස ඉස්ලාම් ආගමට හැරී සිටින බව දැනගන්න ලැබුණම ඔබ මොකද කළේ? මම ඉක්මනින් ලංකාවට ආවා. ඇවිල්ලා අබ්දුල් රාසික් සිටි මාළිගාවත්තේ තව්හිද් ජමාත් කාර්යාලයට පැමිණියා. ඒ වෙලාවේ දුව අබායා ඇඳුමක් ඇඳගෙන එතන හිටියා. මම එයා එක්ක කතා කරලා නැවත බස් එකේ නැගලා එයත් එක්ක ගෙදර ගියා. ඒ වෙලාවේ මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් කිව්වේ දවස් පහළොවක් ඇතුළත පුලස්තිනි හින්දු ආගම අදහමින් සිටියෙ නැත්නම් යළිත් අබ්දුල් රාසික්ට දුවව භාරදෙන්න ඕන කියලා. මේ විදිහට ඔබගේ දියණිය නිවසට ආවට පස්සෙ මොකද වුණේ? 2015 අවුරුද්දේම දවසක අසනීපයකට බොහෙත් ගන්න රෝහලට ගිය වෙලාවේ ඇය එකවරම සොයාගන්න බැරි වුණා. මම දුව නැහැ කියලා මඩකළපුව පොලිසියට පැමිණිළි කළා. දුව නැතිවුණ දවසට පස්සේ දවසේ අබ්දුල් රාසික් දුරකතන ඇමතුමක් දීලා කිව්වා දුව මොහොමද්දු හස්තුන්ට විවාහ කරලා දුන්නා කියලා.‍ ඊට පස්සේ මම මේ ගැන මාළිගාවත්ත පොලිසියට පැමිණිළි කළා. පොලිසියෙන් කිව්වා දුව නීත්‍යානුකුල විවාහයක් කරගෙන ඉන්නේ අපිට මොකුත් කරන්න බැහැ කියලා. ඊට පස්සේ මම නැවතත් මගේ රැකියාවට අබුඩාබියට ගියා. එහෙ ඉද්දී දුව මට කිව්වා හස්තුන් එක්ක ඉන්න බැහැ කියලා. පස්සේ මම දුවව අබුඩාබියට 2016 අවුරුද්දේ ජනාවාරි මාසයේදී ගෙන්වා ගත්තා. මාස හතරක් විතර දුව මාත් එක්ක අබුඩාබි හිටියා. පස්සේ ඇගේ සැමියා පොලිසියට පැමිණිළි කරලා දුවව එයාගේ ළඟට ගත්තා. හස්තුන් එක්ක ඉන්න බැහැ කියලා දුව ඔබට පැවසුවාද? එහෙම කිව්වේ නැහැ. එහෙම කිව්ව නම් මම දුව මගේ ළඟට ගන්නවා. ඒත් දුව එක්ක මට සම්බන්ධයක් තියාගන්න බැරි වුණා. හස්තුන් ඒකට ඉඩදුන්නේ නැහැ. හස්තුන්ගේ දෙමාපියන් සමග ඔබ සබඳතා පැවැත්වුවාද? නැහැ. කිසිම සබඳතාවයක් පැවැත්වුවේ නැහැ. ඔබගේ දුවගේ හැසිරීමේ වෙනසක් ඔබට දැනුනද? නැහැ. එහෙම කවදාවත් මට දැනුනෙ නැහැ. මොකද හස්තුන් උපන්දිනයකට සුබ පතන්නවත් ඇය සමග කතා කිරීමට මට අවස්ථාව දුන්නෙ නැහැ. ඇයව හස්තුන් තියාගෙන හිටියේ සිරකාරියක් වගේ. ඇයට රූපවාහිනියක්වත් බලන්න හස්තුන් අවස්ථාව දුන්නේ නැහැ කියලා මම දන්නවා. දුව ඔබට අවසානයට ඇමතුමක් දුන්නේ කවදාද? 2019 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 19 වැනිදා දුව මට කතා කළා. ඇය නාරම්මල ප්‍රදේශයේ සිටින බව පැවසුවා. කතා කරලා මට කිව්වා දින කිපයක් යනකල් කතා කරන්න එපා කියලා. මම නැවත ලංකාවට ඇවිත් 2019 අප්‍රේල් මාසයේ දුව නැහැ කියලා නාරම්මල පොලිසියට පැමිණිළි කළා. ඊට පස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රොෂාන් කියලා නිලධාරියෙකු ගෙදර ඇවිත් ගියා. අබ්දුල් රාසික්ගෙන් ලැබුණ තොරතුරකට අනුව එයා මාව හම්බවෙන්න ගෙදරට ආවා කියලා කිව්වා. ඒ වෙලාවේ සහරාන්ගේ බිරියගේ ජායාරූපයක් පෙන්නලා කිව්වා මගෙ දුව මෙයා එක්ක තමයි ඉන්නෙ කියලා. අද වෙනතුරු මම මගෙ දුවව දැක්කෙ නැහැ. අප්‍රේල් මාසයේ පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න කියලා රුපවාහිනියේ මගේ දුවගේ ජයාරූපයක් දැම්මා. ඒ වෙලා‌වේ තමයි මම දන්නෙ දුව මේ අය සමග හිටියා කියලා. ඔබට සහරාන්ගේ බිරියව හමුවෙලා තියෙනවද? අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් දෙන්න ගිය වෙලාවේ සහරාන්ගේ බිරිඳ හම්බුණා. ඒ වෙලා‌වේ ඇය කිව්වා සයින්දමර්දු ගෙදරකට මගේ දුව එයත් එක්ක ආවා කියලා. පාස්කු දින එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 26 වැනිදා සයින්දමර්දුහි නිවසක සිදුවූ වෙඩි ප්‍රහාරවලින් 17කු මිය ගියා. ඒ අය අතර ඉඳලා ඔබේ දියණිය මිය ගියාද? ඩී.එන්.ඒ පරීක්ෂණ කළා. මගේ ඩී.එන්.ඒ සමග සයින්දමර්දුවල නිවසින් සොයාගත් දියණියගේ බවට සැක කළ ශරිර කොටස් සමග ගැළපුණේ නැහැ. එහිදී ඩී.එන්.ඒ වාර්තාවලින් ඔප්පු වුණා මගේ දියණිය මිය ගියේ නැහැ කියලා. අබ්දුල් රාසික් කියන පුද්ගලයා හෝ ඇගේ සැමියා හස්තුන්ගේ යහළුවන් ඔබ සමග පාස්කු ප්‍රහාරයෙන් පසුව කතා කළාද? නැහැ. කිසිම කෙනෙක් මේ වෙනතුරු මට කතා කළේ නැහැ. ඔබේ දියණිය සාරා ඉන්දියාවට ගිය බව දන්නවද? ඔබගේ ඥාතින් ඇයට ඉන්දියාවට යන්න උදව් කළාද? නැහැ. මම දන්නෙ නැහැ. මම දුව ඉන්න තැනැක් දන්නෙ නැහැ. මම කියන්නෙත් මගේ දුවව හොයලා දෙන්න කියලා. ඔබගේ දියණිය විවාහවුණේ කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තුන් සමගය. ඔබට මේ ප්‍රහාර ගැන කියන්නට තියෙන්නෙ මොනවද? මම ඉතාම කනගාටු වෙනවා. හින්දු භක්තිකයින් ලෙස අපිට කිසිම වුවමණාවක් නැහැ මිනිස්සු මරන්න. මට මගේ දුවව කොහොම හරි හොයලා දෙන්න. කව්රුත් මේ ගැන කතා කළේ නැහැ. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිසමට ගියා. මේ ගැන සාක්ෂි දෙන්න. මට මගේ දුක කියන්න පත්තරෙන් අවස්ථාව දුන්නට හුඟක් ස්තුතියි. දෙමළ මාධ්‍යකින්වත් මේ ගැන කියන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. මම හුඟක් ස්තුතිවන්ත වෙනවා මට පත්තරේට මේක කියන්න දුන්නට. මගේ දුවව කොහොම හරි මට හොයලා දෙන්න.   වරුණි පෙරමුණ / කලණ වීරසිංහ
 

More News..