brand logo

බුත්සරණ යා යුතු

17 May 2019

භාවනා කිරීමට මහ වනයට වඩින භික්ෂූන්ට තනිකම නිසා බිය ඇතිවූ විට තමන් සිහි කරන ලෙස අප බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළේය. මේ වෙසක්දා විසඳුමක් නැතිව සරණක් නැතිව ඉන්නා අප බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ කඳෙන් බිඳක් අන් සියල්ලක් තරම්වත් සිහිපත් කළ යුත්තේ ඒ බියෙන් අත් මිදීමටය. අප තැවෙන අප දවන ඒ ගිනි කඳෙන් මිදී සැනසුමක් ලබා ගැනීම සඳහාය. බුදුන්ගේ සමයේ දිනක් හත්ථක ආලවක නම් රාජ කුමාරයා උදේ පාන්දර රාජ සේවයට යන්නේ හරකුන් ගමන් කරන මාර්ගයක. ඇට්ටේරියා කොළ ගොඩක් මත සිවුරු පොදියක් දැක ඒ වෙත ළං වූයේ මේ කවුරුන්දැයි දැන ගැනීමටය. ඇට්ටේරියා කොළ ගොඩ උඩ වැඩ සිටියේ අප බුදුරජාණන් වහන්සේය. ස්වාමීනි, මේ හේමන්ත සෘතුව රෑට ඉතාම සීතලයි. මේ පොළව හරක් කුර පහරින් බිඳිලා. කොළ ඇතිරිල්ලත් ඉතාම තුනියි. කසාය වස්ත්‍රයත් සීතයි. වේරම්බවාතයත් සීතලයි. ඔබට සුවසේ නින්ද ගියාද? රාජකුමාරයා බුදුන්ගෙන් විමසුවේය. කුමාරය මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. සීතල වාතය ඇතුළට එන්නේ නැති විදියට දොර ජනෙල් වසා වටිනා පලස් බිම එලා උඩු වියන් බැඳ සුවඳ තෙල් පහන් දල්වා රූමතියන් හතර දෙනකු සමග ලොම් පලසක නිදන ඔබට හොඳින් නින්ද යනවාද? එහෙමයි, මාත් සැපසේ නිදියන්නන්ගෙන් කෙනෙක් බව සිතනවා. කුමාරය, ඔබ රාත්‍රිය පුරා රාග ගින්නකින් දැවෙනවා. ඒ සැප නැතිවේයැයි බියෙන් නිදනවා. එහෙත් මට එබඳු බියක් නෑ. රාගය, ද්වේශය, ලෝභය නැසූ මම මේ ලොව සැපෙන්ම නිදනවා. බුදුරජාණන් වහන්සේ එදා ඇට්ටේරියා කොළ ගොඩ උඩ හිඳ දේශනා කළේ ලෝක ජනයාට මේ මොහොතේත් සුඛෝපභෝගී ඇඳ, කොට්ට, මෙට්ට, ඇතිරිලි සොයා සපයාගෙනත් ලැබිය නොහැකි සුවය ලබා ගැනීමේ මාවතකි. මේ උදාර දහම ඇතුළත් ථෙරවාදය ලොවට දීමට රැක ගන්නේ අපය. එහෙත් අප ඒ ථෙරවාදී බුදුදහම රැක ගත් ජාතියේ ආරක්ෂාව පතා කරන්නේ වසල වැඩයැයි සිතෙන්නේ මේ බුදු වදන ඇසූ කලය. යෝ හන්ති පරිරුන්ධති - ගාමානි නිගමානිච නිග්ගාහකෝ සමඤ්ඤාතෝ - තං ජඤ්ඤා වසලෝ ඉති. යම් කිසි කෙනෙක් ගමක් නියම් ගමක් වටලා ඒ ගමට විනාසයක් කරයිද, සේනාව දමා විනාශයක් කර නිග්‍රහ ලබන්නෙක් වෙයිද ඔහු වසලයෙකි. බුදුන්ගේ නාමයෙන් ඒ ධර්මයේ සුරක්ෂාවට කියා ගම් වටලන නගරවලට පහර දෙන ඇත්තෝ දැන ගත යුත්තේ බුදුන් තමන් හැඳින්වූයේ බුදු මග යන්නන් ලෙස නොව වසලයන් ලෙස බවය. බුදුරජාණන් වහන්සේ වරෙක තමන් හඳුන්වා ගත්තේ ශ්‍රේෂ්ඨ ධර්ම රාජයකු ලෙසය. සේල බ්‍රාහ්මණය, මම රජෙක්මි. ශ්‍රේෂ්ඨ ධර්ම රජෙක්මි. උන් වහන්සේගේ සද්ධර්ම මහනගරය වටා. කෙලෙස් සොරුන් වැද්ද නොදෙන සීලමය ප්‍රාකාර ඇත්තේය. ලජ්ජා නැමැති මඩ අගල් ඇත්තේය. ඥාන නමැති වාහල්කඩ ඇත්තේය. වීර්යය නමැති අට්ටාල ඇත්තේය. ශ්‍රද්ධා නමැති ඉන්ද්‍රඛීල ඇත්තේය. සිහි නමැති දොර ඇත්තේය. ප්‍රඥා නමැති මහා ප්‍රාසාද ඇත්තේය. සූත්‍රාන්තධර්ම නැමැති රාජංගණ ඇත්තේය. අභිධර්ම නමැති සතර මංසන්ධි ඇත්තේය. විනයධර්ම නැමැති විනිශ්චය ශාලා ඇත්තේය. සතර සතිපට්ඨාන නමැති සතර මහාවීථි ඇත්තේය. කෙතරම් රජුන් ඇසුරු ඥාතීත්වයද තිබුණත් ධර්ම රාජයකු වුවත් උන් වහන්සේ සමාජය පවත්වා ගැනීමට හේතු වන රාජ නීතියට නිතර ඉඩ දුන්නේය. පියාගෙන් අවසර නැතිව දරුවන් මහණ කිරීමෙන් වැළකීමේ සිට වහලුන් ණයකරුවන් මහණකමට වැද්ද නොගත්තේ රජුන්ගේ ඉල්ලීම අනුවය. අදද කාගේත් යහපතට රට ජාතියේ පැවැත්මට එක නීතියක් ගෙන එන විට ඊට එරෙහි වෙන ආගමිකයන් බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝය. රජුන් ඇමතින් සෙනෙවියන්ද බිසෝවරු කුමාර කුමාරිකාවන් දහස් ගණනක් ඉන්නා දම් සභාවල් ඇමතීමට තිබෙන නිසා හඬක් නැති සැඩොලෙකුගේ නිවන් දොර හරිනට වැඩීමට වෙලාවක් නැතැයි කීමේ කලාවක් උන් වහන්සේට තිබුණේ නැත. එක දුප්පත් බමුණු ගොවියකු ගොයම් සිටුවන කාලයේද, ගොයම කිරි වැදෙන කාලයේද, අස්වනු නෙළන කාලයේද ඒවා කොටා බත් පිස අනුභව කරන තුරුද උන්වහන්සේ ඒ ගෙවලට පිඬු සිඟා වැඩි පුවත් එමටය. අද ඒ බුදු මෙත් කරුණා ගුණයෙන් බිඳක්වත් සමාජයට ඉසිය යුතුය. බුදුහිමියන් පිරිනිවන් මංචකයට වැඩම කළේ අසූ හැවිරිදි මහල්ලෙකුව යොදුන් හැට හැත්තෑවක් දුර පා ගමනිනි. සිටුවරයකුගේ අස්රියක් ඒ දුෂ්කර වේදනා බර ගමනේ පහසුවට ඉල්ලුවේ නැත. මහ පොළොවේ අස් කුරවල රැඳුන වතුර පෙරා බොමින්, ගණ හණ ඇතිරියෙන් යුතු සිවුරු දරමින් විඩාවයි ආනන්ද පිපාසයි ආනන්ද වේළුවනය රමණීයයි කියමින් ඒ යොදුන් මං වැඩියේ ලෝසත සුවපත් කිරීමටය. ඒ වූ බුත්සරණ අපද යා යුතු.
 

More News..