brand logo

බුකියෙන් හාද වූ පෙම්වතිය හැබහින් දුටුවිට දුවපු තරුණයා

25 January 2022

විමලාවතිට වයස අවුරුදු පනස් පහක් ලු

පදවිය ප්‍රදේශයේ පදිංචි ප්‍රේමදාස අවුරුදු 60 පමණ වයසැති ගොවි මහතෙකි. දරුවන් තිදෙනකු ජීවත් කිරීමට විශාල උත්සහයක් ගත් ඔහු ගොවිතැන් කටයුතුවලට අමතරව කුලියට මලියටද යමින් කීයක් හරි උපයා ගත්තේ ගෙදර දොර වියදම දැන් අහට උසට ගොස් ඇති බැවිනි. ඔහුගේ බිරිය වන විමලාවතිගේ වයස අවුරුදු පනස් පහක් පමණ වේ. ඇය ද සැමියාගේ ගොවිතැන් කටයුතුවලට නිතර සහාය වෙමින් දරුවන් රැකබලා ගෙන නිවසට වී සිටියාය. කොතරම් අගහිඟකම් හා දුෂ්කරතා තිබුණ ද මෙම පවුලේ පිරිස ඉතා සමගියෙන්, සමාදානයෙන් ජීවත් වූහ. එහෙත් මෑතකදී එම පවුලට කණ කොකා හැඬුවේ විමලාවතී අතට නවීන පන්නයේ ජංගම දුරකතනයක් ලැබීමෙන් පසුවය. ඇයට දැන් සැමියාගේ වැඩපළට උදව් පදව් කිරීමට හෝ සොයා බැලීමට කාලයක් නොමැත. ඇය දවසේ වැඩි කාලයක් වැය කළ ජංගම දුරකථනය සමගිනි. නිවසේ වැඩපළවල නිරත වන අවස්ථාවලදී පවා තම දුරකථනය ඇස් මානයේ තබා ගන්නට ඇය වගබලා ගත්තාය. හිටිවනම සිදුවූ මේ දේවල් නිසා පවුලේ නිතර නිතර අඬ දබර ඇති විය. ප්‍රේමදාස විසින් කොතෙක් කරුණු පැහැදිලිකර දුන්නත් විමලාවතී ඒවා කිසිදු ගණනකට නොගත්තාය. ඇයට ජංගම දුරකතනයෙන් තොර ඇලී ගැලී කාලය ගත කළාය. බිරිඳගේ මෙම අමුතු හැසිරීම නිසා දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි ප්‍රේමදාස කිසිවක් කරකියා ගත නොහැකිව සිදුවන්නේ කුමක්ද කියා නිහඬව බලා සිටියේ බැරිම තැනය. තමන් තරුණ වයසේදී ගත් ඡායාරූපයක් සිය ​​‍​​ෆේස් බුක් ගිණුමට යොදා තරුණියක ලෙස අන්තර්ජාලයේ සැරිසරන විමලාවතී මේ වනවිට මහනුවර ප්‍රදේශයේ තරුණයකු සමග හාද වූවාය. අනතුරුව දෙදෙනා පෙම්වතුන් ලෙස දුරකථනයෙන් පණිවුඩ හුවමාරු කළේ වෙලාවක් කලාවක් නොමැතිවය. මේ අතර දිනක ඇගේ ප්‍රේමවන්තයාගෙන් ෆෙස් බුක් ගිණුමට හදිසි පණිවුඩයක් ලැබුණි. ‘‘මම පොඩි වැඩකට මැදවච්චියට එනවා. ඔයා බලන්න ආසයි. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම එන්න.’’ අසම්මත ප්‍රේමයෙන් වියරු වැටී සිටි මෙම කාන්තාව කිසිදාක නොදුටු එම තරුණයා හමුවීම සඳහා ලක ලෑස්ති වූවාය. එදින විමලාවතී මැදවච්චිය රෝහල අසලට ගියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. මේ අතරතුර වයස අවුරුදු 20ක පමණ තරුණ කොලු ගැටයකු ද එම ස්ථානයට පැමිණියේ ය. අවට සිටිනවුන් සියල්ල අතරේ සිය දෙනෙත යැවූව ද ඔහුට සිය පෙම්වතිය හඳුනාගත නොහැකි විය. අවසනදී ඔහු පෙම්වතියට දුරකතන ඇමතුමක් ගත්තේ පොරොන්දු වූ තැන ඇය නොසිටි බැවිනි. ‘‘කොහොද බබා ඔයා ඉන්නේ?’’ තරුණයා ඇසීය. ‘‘ඇයි අනේ මේ කහ ඉර ගාවනේ ඉන්නේ, මට නම් ඔයාව පේනවා.’’ විමලවතී පිළිතුරු දුන්නාය. ‘‘කෝ... ඉතින් මට ඔයාව පේන්නෑනේ බබා..’’ තරුණයා කනස්සලලෙන් කීවේය. ‘‘ඔයා ඇඳගෙන ඉන්නේ රතු පාට ෂර්ට් එකයි, ඩෙනිමයි නේද පැටියෝ?’’විමලාවතී හුරතල් වදනින් ඇසුවාය. ‘‘ඔව්.. ඔව්.. බබා.. කෝ මට තාමත් ඔයා පේන්නෑනේ.. ඇන්ටි කෙනෙක් විතරනේ මට පේන්නේ...’’ තරුණයා පැවසීය. ‘‘මෙතන කවුරුත් නෑ බබා. මම විතරනේ ඉන්නේ’’ ඇය පිළිවදන් දුන්නාය. තමාට කුමක් හෝ වැරදීමක් වී ඇති බව තරුණයාට පසක් විය. ඔහු ඉක්මන් ගමනින් කහ ඉර අසලට ගියේය. ‘‘අම්මා ඔයා පදවියේ ඉඳල ද අවේ?’’ තරුණයා සැක දුරු කරගනු වස් ඇසුවේය. ‘‘අම්මා නෙවෙයි බබා, මේ මං’’ ඇය හිස සොලවා දුන් පිළිතුරෙන් තරුණයා අන්දුන් කුන්දුන් විය. සැණෙන් සියල්ල තේරුම් ගත් තරුණයා දැඩි ලෙස කලබලයට පත්ව ඇසුරු සැණින් පාරට පැන වව්නියාව - අනුරාධපුර බසයකට නැගී නොපෙනී ගියේය. •ටී. එම්. ධර්මරත්න - පදවිය
 

More News..