brand logo

බිරියගේ උපන් දිනය ජනවාරි 1 නම් ඔබ වාසනාවන්ත සැමියෙක්

29 December 2019

ජනවාරි පළමුවැනිදාට උපන් දිනය යෙදෙන බිරින්දෑවරු සිටින ස්වාමියෝ බොහෝ වාසනාවන්තයෝය. එය එසේ වන්නේ බිරියගේ උපන්දිනය මතක තබා ගැනීමට අමතර වෙහෙසක් ගත යුතු නැති බැවිනි. බිරියගේ උපන් දිනය අමතක කරන බොහෝ සැමියන්ට වෙන වින්නැහිය දන්නේ එයට මුහුණ දෙන්නෝමය. ‘‘අපි හරි වාසනාවන්තයි. නෝනගේ උපන්දිනේ ජනවාරි පළවෙනිදා හින්දා’’ ජනවාරි පළමුවැනිදා උපන් බිරින්දෑවරු සිටින සැමියන් එලෙස කියනවා ඇත්තේ එසේ නොවන ඔවුන්ගේ මිතුරන් සිය බිරියන්ගේ උපන් දිනය අමතක කර ලෝක යුද්ධයකටත් වඩා දරුණු විපාකවලට මුහුණ දුන් කතා ඔවුන් අසා තිබෙන නිසා විය යුතුය. ජනවාරි පළමුවැනිදා උපන්නෝ කොහොමත් විශේෂිතය. එය බිරියන්ට විතරක් අදාළ වූවක් නොවේ. එක් අතකින් එය බිරියගේ උපන් දිනය මතක තබාගැනීමට සැමියන්ට ලැබෙන අමතර වාසියක් පමණි. ජනවාරි පළමු වැනිදා ලෝකයටම සැමරුම් දිනයකි. එය සැමැරීමට ​ලෝකයම එක් වෙති. උනන්දු වෙති. අලුත් බලාපොරොත්තු පොදි බඳිති. ජනවාරි පළමුවැනි දා උපන් අයට ලෝකයම එක්ව තමන්ගේ දිනය සමරනවා වැනිය. ඔවුන්ට ඇති තවත් විශේෂත්වයක් නම් අලුත් අවුරුද්ද පිළිබඳ අලුත් බලාපොරොත්තුය. අනෙක් අතින් තම ජීවිතයේ අලුත් වසරක හීනය. ජනවාරි පළමුවැනිදා පමණක් නොව ජනවාරි මාසයේ ​ඕනෑම දිනක උපන් අයට තවත් වාසියක් තිබේ. එනම් පාස​ලට ඇතුළත් වීමේ දී ඊට පෙර වර්ෂයේ අය සමග එකට ඇතුළත් වීමට හැකි වීමය. උදාහරණයක් ලෙස 1990 ජනවාරි මාසයේ උපන් අයෙක් පාසල් යන්නේ 1989 අවුරුද්දේ උපන් අය සමගය. කෙසේ වෙතත් එවිට පන්තියේ බාලයන් වන්නේ ඔවුන්ය. ජනවාරි පළමුවැනිදා ඉපදීමේ වාසි මෙන්ම අවාසි ද නැතුවාම නොවේ. ඒක වඩාත් දැනෙන්නේ පුංචි සන්ධියේදීය. ජනවාරි පළමුවැනිදා අලුත් ඇඳුම්ය. උපන් දිනය වෙනත් දිනයක නම් එදාටත් අලුත් ඇඳුම්ය. ඒත් දෙකම එකම දිනයක වූ විට අලුත් ඇඳුම් දෙවරක් ලැබෙන්නේ නැත. ඒ එවන් එක් අවාසියක් පමණි. ජනවාරි පළවැනිදා ඉපදීමේ වාසි අවාසි දන්නේ එදින උපන්නෝමය. ඒ නිසා ඒ ගැන අහන්න ඕනෑ ඔවුන්ගෙන්මය. ජනවාරි පළමු වැනිදා උපන් රටම දන්නා දෙදෙනෙක්ම අපට හමුවිය. කෙනෙක් අප කවුරුත් දන්නා දෙබසින්ම ලියන ප්‍රවීණ සාහිත්‍යධරයකු වන නීතිඥ නීල් විජේරත්නය. ඔහු උපන්නේ 1951 ජනවාරි පළමු වැනිදාය. ‘‘පොඩි කාලෙදිම මගෙ උපන්දිනේ යම් විශේෂත්වයක් මට දැනුණා. අමුත්තක් තේරුණා’’ ඔහු කියන්නේය. නීල් විජේරත්නගේ ළමා කාලයේ දී ජනවාරි පළමු වැනිදා ප්‍රසිද්ධ නිවාඩු දිනයකි. එනිසා එදිනට පාසල නිවාඩුය. යහළුවන් හමුවන්නට ලැබෙන්නේ නැත. ඔහු ඉගෙන ගත්තේ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේය. ‘‘මගේ අනෙක් යාළුවො උපන්දිනේ පාසලේ දී සැමරුවා. එයාලා පන්තියට කේක් එකක් ගෙනැත් කපනවා. මුළු පන්තියටමයි ටීචර්ලටයි කේක් ගේනවා. හැමෝම උපන්දිනේ සමරන කෙනාට සුබ පතනවා. මට ඒ අවස්ථාව නැති නිසා දුකක් දැනුණා’’ ඒ විතරක් නොවේ. නීල්ට වී ඇති තවත් අවාසි තිබේ. නත්තලත් උපන් දිනයත් එකට සැමරීමය ඒ. නීල්ගේ යාළුවන්ට නත්තලට අලුත් ඇඳුම් ලැබිණි. බොහෝ විට ජනවාරි පළමුවැනිදාටත් අලුත් ඇඳුම් ලැබිණි. උපන් දිනයටත් අලුත් ඇඳුම් ලැබිණි. ඒත් නීල් විජේරත්නට ඔය අවස්ථා තුනටම අලුත් ඇඳුම් ලැබුණේ එකවරකි. නීල් විජේරත්නගේ උපන්දිනය ජනවාරි පළමුවැනිදා නිසා නත්තලත් උපන් දිනයත් සැමරුවේ එකටය. ඒ ජනවාරි පළමුවැනිදාය. ඥාති සනුහරයම එදින නීල්ගේ නිවසට රැස්වී ඔහුගේ උපන්දිනයට සුබ පතා නත්තලත් සමග එය සැමරූහ. දහ අටවැනි උපන් දිනයේ සිට නීල් විජේරත්න තවත් අපූරු පුරුද්දකට හුරු වූයේය. එය එදා සිට අද දක්වා නොකඩවා සිදුවන්නකි. ඔහු එය නොවරදවා සිදු කරන බව ඔහුගේ සමීප මිතුරෝ දනිති. එක්දහස් නවසිය හැට අට වර්ෂයේ ජූලි පළමු වැනිදා පළ වූ ‘ලස්සන’ නම් පුවත්පතෙහි ඔහුගේ ගේ කවි පංතියක් පළ විය. එය පළ කළේ එහි සේවය කළ තිලකරත්න කුරුවිට බණ්ඩාරය. කුරුවිට බණ්ඩාරයන් නීල් විජේරත්නගේ ළබැඳි මිතුරෙකි. එය අදටත් නොවෙනස් මිතුදමකි. කවි පංතියේ උද්ධෘතය ‘මඩු මෑණියනි’’ යන්නය. ‘‘වද මල් පාටැති මල රිවි රැස් වැව මත්තට වැටිලා බබළනවා’’ ලෙස ආරම්භ වන එය තරමක දීර්ඝ කවි පන්තියකි. ‘‘දැඩි හිරු එළියෙන් වෙලී ඇති මුත් ගස් වැල් මල් ගොමු උතුරු කරේ මේ රන් බිම මත නිල්ල වැසී ගත් සුවඳැති මල් පල ළපලු පිරේ’’ යනුවෙන්ද එහි ඇත. එක් දහස් නමසිය හැට නමය ජනවාරි පළමු වැනිදා නීල් මුලින්ම කියැවූයේ මෙම කවි පංතියය. එදායින් පසු එළඹි සෑම ජනවාරි පළමුවැනිදාවකම ඔහු කරන පළමු කියවීම මෙම කවි පන්තිය ය. ඒ පුරුද්ද ඇති වූයේ කෙසේ දැයි දන්නේ නැත. හේතු අවශ්‍ය ද නැත. දෙදහස් දහනමයේ ජනවාරි පළමු වැනිදාත් මුලින්ම ඔහු කියැවූයේ මෙම කවි පන්තියය. දෙදහස් විස්සේ ජනවාරි පළමු වැනිදාත් නීල් විජේරත්න නිසැකවම මුලින්ම කියවන්නේ මෙම කවි පන්තිය. ජනප්‍රිය රංගන ශිල්පිනියක වන රොහානි වීරසිංහ උපන්නේ ද ජනවාරි පළමුවැනිදාය. ඇය උපන්නේ කුරුණෑගල පෞද්ගලික රෝහලකය. දෙසැම්බර් තිස් එක් වැනිදා රොහානිගේ අම්මා රෝහල්ගත වූයේ රොහානිගේ උපත බලාපොරොත්තුවෙනි. ‘‘අම්මා අද දෙසැම්බර් තිස් එක. අද කොහොම හරි අල්ලගෙන ඉඳලා දරුවා හෙට උපද්දවාගන්න පුළුවන් නම් හෙට ජනවාරි එක.’’ අභියෝගය වෛද්‍යවරයාගෙනි. රොහානි ඉපැදුණේ ජනවාරි පළමුවැනිදාට එළිවෙන මහ පාන්දර හතරයි ගණනකටය. ‘‘අම්මා කොහොම හරි මං කියපු දේ කළා නේද?’’ පසුදා දොස්තර කීවේ සිනාසෙමිනි. රෙහානිගේ පුංචි කාලයේ නම් තිබුණේ ඇගේ අක්කාත් සමග රණ්ඩුය. අක්කාට ජනවාරි පළමුවැනිදා අලුත් ඇඳුම් ලැබිණි. අක්කාගේ උපන්දිනය යෙදෙන ඔක්තෝබර් මාසයේත් ඇයට අලුත් ඇඳුම් ලැබිණි. රොහානිට ජනවාරි පළමුවැනිදා පමණි. ඉතින් ගෙදර රණ්ඩුය. ‘‘ටික ටික තේරෙන කොට ඒ රණ්ඩු අඩු වුණා. කොහොම වුණත් මගේ උපන් දිනේ ලෝකෙම සමරනවා.’’ රොහානි කීවේ සිනා සෙමිනි. හසිත කුරුප්පු
 

More News..