brand logo

බිරිඳව මුලින්ම දැක්කේ සුනාමි ටෙන්ට් එකක ඉන්නකොට - සීක්කුගේ ප්‍රසන්න

23 December 2019

ලෝකේ ක්‍රිකට් දියුණු වෙලා. දැන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් සෙල්ලම් කරන සෑම රටක්ම වගේ ප්‍රිමියර් ලීග් තරග පවත්වනවා. කලින් පන්දුවාර 50ක්ව තිබ්බ තරග විස්සයි විස්ස, පන්දුවාර 10 ආදී වශයෙන් අඩුවෙලා. එහෙම පැවැත්වෙන බොහෝමයක් තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටත් ඇරයුම් ලැබෙනවා. ඒ අතරින් වැඩි වශයෙන් විදෙස් තරගාවලි සඳහා සහභාගි වෙන ක්‍රීඩකයෙක් වෙනුවෙන් අපි ඉඩ වෙන් කරන්න හිතුවා. මේ සීක්කුගේ ප්‍රසන්න. ආබාධයකට ලක්වෙලා කියලා ආරංචියි? කොන්දෙ පොඩි ආබාධයක් ඇවිල්ලා. ලොකු ප්‍රශ්නයක් නැහැ. එකපාරටම? නැහැ. ඩුබායිවල පැවැත්වුණ ටී10 තරගාවලියේදී ෆීල්ඩ් කරද්දි ආවේ. මීට අවුරුදු දෙකකට කලිනුත් මේ ආබාධයම තිබුණා. සීකුගේ ප්‍රසන්න කියන්නේ විස්සයි විස්ස ක්‍රීඩකයෙක්ද? මට ටෙස්ට්, එක්දින රටා දෙකෙත් ක්‍රීඩා කරන්න පුළුවන්. නමුත් වැඩිපුර අවස්ථාව ලැබෙන්නේ විස්සයි විස්ස තරගවලට. ඒත් විස්සයි විස්ස ක්‍රීඩකයෙක් කියලා ලෙබල් වෙන්න මම කැමති නැහැ. ශ්‍රී ලංකා පිලේ මේ දවස්වල වැඩිය දකින්න හිටියේ නැති වුණත්, විදෙස් තරගාවලිවල නම් සීකුගේ නම වරදින්නේ නැහැ? මම වැඩියෙන් කැපී පෙනිලා තියෙන්නේ විස්සයි විස්ස ක්‍රිකට්වලට. ඒ නිසා මට විදෙස් ප්‍රිමියර් ලීග් තරගාවලිවලින් අවස්ථාව ලැබෙනවා. මෑතකදි එහෙම සහභාගි වූ තරගාවලිය? කැරිබියන් ප්‍රිමියර් ලීග්. එහෙම විදෙස් තරගාවලිවලට ගිහින් වැඩියෙන්ම හිතවත් වුණ ක්‍රීඩකයා? කොදෙව් ක්‍රීඩකයෝ ගොඩක් හිතවත්. ඒ අතරිනුත් ඩී.ජේ. බ්‍රාවෝ ගොඩක් හිතවත්. කොදෙව් ක්‍රීඩකයෝ කොයි වගේද? අපෝ ඒගොල්ලෝ හරිම සැහැල්ලුවෙන් ඉන්නේ. හැමවෙලේම විනෝදෙන් ඉන්නේ. හැබැයි මැච්වලදි එහෙම නැහැ. මැච්වලදි ඔවුන්ට ඕනේ කොහොමහරි දිනන්න. තරග අතරතුර සීකු දාන අමුතු නැටුමත් කොදෙව්වන්ගෙන් ඉගෙන ගත්ත දෙයක්ද? ඒක ටිකක් එයාලාගේ ඩාන්ස් වගේ වුණාට මමම තමයි එහෙම නටන්න හුරු වුණේ. මම ක්‍රිකට් ක්‍රීඩාව විඳිනවා. ඒක මගේ සතුට සමරන විදිහක් සහ ඒක මටම ආවේණික එකක්. කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඔබ නියෝජනය කළේ ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ කණ්ඩායම? ඔව්. ඔහු තමයි අපේ කණ්ඩායමේ අයිතිකරු. සීකු ෂාරුක්ගේ රසිකයෙක්ද? හින්දි ෆිල්ම්නම් බලනවා අඩුයි. ඒ නිසා පෞද්ගලිකව ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් ඒ වගේ චරිතයක් මුණ ගැහෙන්න ලැබීම සතුටක්. ෂාරුක් කොයිවගේ චරිතයක්ද? ආඩම්බරද? ඔහු හරිම මිත්‍රශීලි චරිතයක්. ආඩම්බර නැහැ. මැච් එකක් දිනලා පාටි එකක් තිබ්බොත් ඔහුත් අපිත් එක්ක ඇවිත් එකේක විදිහට නටනවා. එකපාරක් මම දාන ඩාන්ස් එක එයත් ට්‍රයි කරලා බැලුවා. ෂාරුක් කණ්ඩායමේ අයිතිකරු නිසා පරාද වුණාම බණිනවා ඇති? නැහැ නැහැ. ඔහු කණ්ඩායමේ අයිතිකරු කියලා කවදාවත් කණ්ඩායමේ දේවල්වලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න ආවේ නැහැ. දිනුවා පැරදුණා කියලා නැහැ. ඔහුට අවස්ථාවක් ලැබෙන හැම වෙලේම ඔහු කණ්ඩායමත් එක්ක ඉන්නවා. සීකුට දූලා තුන්දෙනෙක් ඉන්නේ? ඔව්. ලොකු දූ තෂ්මි, දෙවැනියා නිසිනි, පොඩි එක්කෙනා සුෂ්මි. දූලා කැමතිද ක්‍රිකට්වලට? විශේෂයක් නැහැ. තාත්තා සෙල්ලම් කරනවා ටීවි එකේ දැක්කා කියනවා. තාත්තා නටනවා දැක්කා, එයාලා කියන්නේ ඒවා තමයි. කවදාහරි දුවෙක් ක්‍රිකට් සෙල්ලම් කරන්න ආසයි කිව්වොත්? එයාලගෙ දැනටත් ඒ ගැන ලොකු ආසාවක් නැහැ. ඒ නිසා මම හිතන්නේ නැහැ එයාල ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙයි කියලා. බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද? මගේ බිරිඳ හර්ෂා මනෝරි. ක්‍රිකට් කියන්නේ හරිම කාර්යබහුල ක්‍රීඩාවක්. විවාහක ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට නම් ක්‍රිකට් තේරුම් ගත්ත බිරිඳක් ඉන්න එක සෑහෙන්න වැදගත්. මට එහෙම බිරිඳක් ඉන්නවා. දරුවන්ගේ සියලුම වැඩ කරන්නේ මගේ බිරිඳ. කොටින්ම මට තියෙන්නේ ප්‍රැක්ටිස් ගිහිල්ලා හරියට ඒ වැඩේ කරන්න විතරයි. ඒක මට ලොකු ශක්තියක්. කොහොමද එතකොට බිරිඳව ලැබුණේ? 2004 වසරේ සුනාමියට අහුවෙලා අපිට සෑහෙන්න කරදර වුණා. අපිට තාවකාලික හට් එකක අවුරුදු තුනක් විතර ඉන්න වුණා. ඒ හට් එක තිබ්බේ එයාලගේ ගෙවල් පැත්තේ. ඒකේ ඉන්නකොට තමයි මුලින්ම එයාව දැක්කේ. ඉතිං? එයාගේ යාළුව මගෙත් යාළුවෙක් නිසා විස්තර දැනගත්තා. ඊට පස්සේ හට් එකේ ඉන්නකොටම මම මගේ කැමැත්ත කිව්වා. එකපාර කැමැත්ත ලැබුණාද? සියයට පහක් විතර තමයි කැමැත්ත ලැබුණේ. ඉතිරි 95 ගන්න ගෙදරින් ඇවිත් අහන්න කිව්වා. එතකොට හර්ෂා දැනගෙන හිටියද සීකු ක්‍රිකට් ගහනවා කියලා? ඒ කාලෙත් මම ආමි එකට ක්‍රිකට් ගැහුවේ. ඒත් ජනප්‍රිය චරිතයක් නෙමෙයි. මම හිතන්නේ එයත් ඒ ගැන මුලින් හරිහැටි දැනගෙන හිටියේ නැහැ. විවේකයක් ලැබුණාම මොකද කරන්නේ? මම දැනට පදිංචි තලවතුගොඩ. විවේකයක් ලැබුණාම මම කරන්නේ පවුලේ අයත් එක්ක අම්බලන්ගොඩ ගමේ යනවා. සංචාරය කරන්න කැමැතිම රට? එංගලන්තය. සීකු එංගලන්තයේ කව්න්ටි ක්‍රිකට් තරගාවලියත් ක්‍රීඩා කළා? නෝර්ත් හැම්ප්ෂයර් පිලට මම වසර තුනක් ක්‍රීඩා කළා. දැන් මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල යුද හමුදා කණ්ඩායම සමග එක්වෙලා පළමුපෙළ තරගාවලියට එක්වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් දැන් යුද හමුදා ක්‍රීඩකයෙක්. චන්දිමාල්ව යුද හමුදා කණ්ඩායමට ගේන්න සීකුත් හේතුවක් කිව්වොත්? චන්දිට මුලින්ම මම කතා කළා අපිත් එක්ක ඇවිත් සෙල්ලම් කරමු කියලා. ඊට පස්සේ චන්දි කිව්වා ගෙදරින් අහලා බලන්න ඕනේ කියලා. චන්දිගෙ අකැමැත්තක් තිබුණේ නැහැ. ඊට පස්සේ යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් චන්දිට අපිත් එක්ක එකතු වෙන්න අවස්ථාව ලැබුණා. ඒක යුද හමුදා කණ්ඩායමට ලොකු අවස්ථාවක් වෙයි? අනිවාර්යයෙන්. චන්දිමාල් කියන්නේ හොඳ විනයක් තියෙන ක්‍රීඩකයෙක්. යුද හමුදාවේ ක්‍රිකට් දියුණු කරන්න ඔහු හොඳ ආයෝජනයක් වෙයි කියලා විස්වාසයි. සීකුට මෙවරත් ක්‍රිකට් සම්මානයක් ලැබුණා? 2018 වසරේ දේශීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වීරයාට හිමි සම්මානය ලැබුණා. ඒ සම්මානය මට ලැබුණේ පිට පිට දෙවැනි වතාවට. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එන්න තියෙන තරගකාරිත්වය තිබුණාට වඩා දැන් වැඩියි කිව්වොත්? දැන් තරුණ දක්ෂ ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. කණ්ඩායමට එන්න නම් තමන්ගේ උපරිම දක්ෂතා දැක්වීමට ක්‍රීඩකයන්ට සිදුවෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්. මමත් මගේ උපරිමය කරලා ආයෙත් කණ්ඩායමට එන්න උත්සාහා කරනවා. ඔය කොයි විදෙස් තරගාවලියට සහභාගි වුණත්, ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරනවා තරම් දෙයක් තවත් නැහැ. ඒ නිසා ආයෙත් ඉක්මනින් ශ්‍රී ලංකා සංචිතයට එන්න අපේක්ෂාවෙන් ඉන්නවා. මීළඟට ළඟම තියෙන විදෙස් තරගාවලිය මොකක්ද? පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගවලියට මාව තෝරාගෙන තියෙනවා. සීකුගේ ප්‍රසන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවුණා නම්? හිතාගන්න බැහැ. ක්‍රිකට් නිසා තමයි ජීවිතේම ගොඩ ගියේ. ගයාශාන් විතානආරච්චි
 

More News..