brand logo

බියුටි පාලරයෙන් ෆියුනරල් පාලරයට

28 September 2020

උගත්, රූමත් මනාලියක් දොස්තර කෙනෙකුට! දීග දෙන්න ඉන්න දුව දෙස බලා පියා පත්තරේ මංගල දැන්වීමක් කියවයි. ඒත් ඉතින් මේ දුවගේ කුරුලෑනේ ප්‍රශ්නේ. ඒ මංගල යෝජනාව නම් අපේ දුවට හරියටම හරියනවා. අසූව දශකයේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම කුරුලෑ නැති කරන ක්‍රීම් වර්ගයක් ගැනය. මවගේ ප්‍රකාශයෙන් පසු දැන්වීමේ ක්‍රීම් වර්ගය මුහුණේ උලා - දින ගණනකින් කුරුලෑ නැතිකර ගන්නා ලෙස ‘කුරුලෑ නිවාරණ ක්‍රීම්’ හදන කොම්පැනිය දන්වා සිටී. මේ දැන්වීම දැන්ද ඉඳහිට මුහුණු පොතේ නොහොත් ෆේස් බුකියේ ෂෙයාර් වන දැන්වීමකි. එහි කුරුලෑ නැති රූමත් දියණිය ලෙස රඟපෑවේ ඉනෝකා අමරසේනය. ඉනෝකා කියන්නේ මෙරට ප්‍රකට පුවත්පත් කලාවේදියකු වන ආතර් යූ.අමරසේනගේ දියණියය. ඒ කියන්නේ ඉනෝකාගේ මෑණියෝ ජනප්‍රිය සිනමා නිළියක වන ශ්‍රියානි අමරසේනයන්ය. අසූව දශකයේ මේ දැන්වීම රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අමුතු අත්දැකීමක් විය. ඔය කියන සන්දියේ රූපලාවණ්‍ය කටයුත්තක් කියා යුවතියක කළා නම් ඒ සඳුන් කෑල්ලක් උරච්චි කර මූණේ උලා ගැනීමය. කුරුලෑවක් නම් ඉතින් කුරුම්බැට්ටියක් ගලක උරච්චි කොට ඉස්ම ටිකක් ගෙන කුරුලෑවේ ගෑ විට කුරුලෑව මකබෑවී ගියේ පුදුමාකාර ලෙසය. අසූව දශකයෙන් පසු රූපලාවන්‍ය ක්‍රීම්, සුවඳ විලවුන් වෙළෙඳ පොළ ආක්‍රමණය කරන්නට විය. සුවඳ විලවුන් ගැන කියන විට අපූරු කතාවක් තිබේ. එක් දැවැන්ත සමාගමක් පිරිමින් සඳහා සුවඳ විලවුන් විශේෂයක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. එහෙත් එහි පරහකට තිබුණේ ඒ වනවිට වෙළෙඳපොළ වැඩිම අලෙවියක් තිබූ පිරිමි සුවඳ විලවුන් කුප්පියට වඩා එහි මිල වැඩිවීමය. නිෂ්පාදකයන් නොහිතූ ලෙස මේ අධික මිල පිරිමි සුවඳ විලවුන් කුප්පිය වෙළෙඳ පොළ ආක්‍රමණය කරන ලද්දේ වෙළෙඳපොළ ඒකාධිකාරියක් ගොඩනගාගෙන සිටි නිෂ්පාදනයේ වෙළෙඳපොළ සුනු විසුණු කරමිනි. අධි මිල පිරිමි සුවඳ විලවුන් වර්ගය වෙළෙඳපොළේ අංක එකට ආවේ සති ගණනාවකදීය. ඔවුන්ගේ වෙළෙඳ ඉලක්කය සඵල විය. ඊළඟට මේ කොම්පැණියට අවශ්‍ය වූයේ වෙළෙඳපොළේ ඒකාධිකාරය තිබූ සුවඳ විලවුන් වර්ගයේ ඉතිරි මාකට් එකත් ඩැහැ ගැනීමටය. ඔවුන් කළේ තම අධිමිල පිරිමි සුවඳ විලවුන් කුප්පියේ මිල වෙළෙඳ පොළ ඒකාධිකාරයක් ඇතිකරගෙන සිටි නිෂ්පාදනයේ මිලට වඩා අඩු කිරීමය. අන්තිමට වූයේ කුමක්ද? අධි මිලට විකිණූ සුවඳ විලවුන් මිල අඩු කිරීම නිසා පාරිභෝගිකයන් එම සුවඳ විලවුන් අතැර නැවත පරණ පුරුදු නිෂ්පාදය වෙත යොමු වීමය. පාරිභෝගිකයා හිතුවේ අධිමිල සුවඳ විලවුන්වල මිල අඩුවුණේ කොලිටිය බාල කිරීම නිසා බවය. ලංකාවේ පාරිභෝගික සමාජයේ අඩු මිල භාණ්ඩ ප්‍රතික්ෂේප වන්නේ ‘ලාභ බඩුවේ හිලක්’ යන සුප්‍රකට කියමන සිහි ගන්වමිනි. වසර 2000 පමණ වනවිට ලංකාවේ සුවඳ විලවුන් සහ ආලේපන වෙළෙඳපොළ ‘ඔක්කාරේ’ යන තරමට ආක්‍රමණය කර තිබුණේ ඉන්දියන්, චීන හා පකිස්තාන් නිෂ්පාදනයන්ය. ලොව පුරා ප්‍රකට සුවඳ විලවුන් හා ආ​ලේපනවල ඩුප්ලිකේට් බඩු පිටකොටුවේ තොග වෙළෙඳ පොළ හරහා මුළු ලංකවටම බෙදා හැරෙන්නට විය. ඉස්සර ටවුමක කඩ තිබුණේ සිල්ලර කඩ, සුපර් මාර්කට්, ෆාමසි, හාඩ්වෙයාර්, වයින් ස්ටෝර්ස් ආදී ලෙසය. ඒත් මෑතක සිට ටවුමේ කඩ අතරට රූපලාව‍ණ්‍ය බඩු ඇතුළත් කොස්මෙටික්ස් කඩද එකතු වූයේ පුදුමාකාර ලෙසය.දැන් ඕනෑම ටවුමක කොස්මෙටික්ස් කඩ දෙක තුනක් ඇත්තේ එකට එකක් හේත්තු වී යන ලෙසය. යුවතියෝ පඩි ගත් පසු ගෙදරට හාල් - තුනපහේ ගන්නත් පෙර යන්නේ කොස්මෙටික්ස් කඩේටය. පසුගිය සතියේ සුවඳ විලවුන් හා ආලේපන ගැන රටම විශ්මයට පත් ප්‍රවෘත්තියක් වාර්තා විය. එයින් කියවුණේ මිනිස් සිරුරට අහිතකර රුපියල් කෝටියකට අධික සුවඳ විලවුන් හා ආලේපන තොගයක් පිටකොටුවේ වෙළෙඳ සැලක තිබී සොයාගත් බවය. මෙම වැටලීම සිදුකොට ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. පාරිභෝගික අධිකාරිය පවසන්නේ පාරිභෝගිකයකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි. තවද පාරිභෝගික අධිකාරිය කියන්නේ මෙම සුවඳ විලවුන් හා ආලේපන නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති බවය. එම වෙළෙඳ සැල්වල ඒවා ආනයනයට අදාළ කිසිදු ලියවිල්ලක් තිබී නැත. මේ බොහෝ සුවඳ විලවුන් හා ආලේපනවල ඇත්තේ කියවා ගත නොහැකි අරාබි - චීන වැනි භාෂාවන්ය. ඒවායේ නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය නොවීම මෙරට පාරිභෝගිකයන් ඉතා අසරණ තත්ත්වයකට පත් කරන්නකි. ඊටත් වඩා රසදිය හා සංඝටකවල විස්තර මේ නිෂ්පාදනවල අඩංගු නොවේ. මීට වසර 7 කට පෙර මෙරට අලෙවි කෙරෙන සම පැහැපත් කරන ආලේපන ගැන අධ්‍යයනයක් කරන ලද්දේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි. ඔවුන්ගේ පරීක්ෂණයෙන් තහවුරු වූයේ මේ බොහෝ නිෂ්පාදනවල අහිතකර තත්ත්වයක රසදිය අන්තර්ගතව ඇති බවය. එම අධ්‍යයනයේදී ඔවුනට තහවුරු වී තිබුණේ එවකට බලාත්මකව පැවැති ඖෂධ නියාමන අධිකාරිය අනුමත කළ සුවඳ විලවුන් හා ආලේපන පවා එයි තිබෙන බවය. එමෙන්ම සම පැහැපත් කරන ආලේපන හා සබන්වල ඇති අහිතකර රසදිය නිසා ප්‍රධාන වශයෙන් වකුගඩුවලට හානි පැමිණෙන බව නවතම පර්‌යේෂණවලින් තහවුරු වී ඇත. මෙම ආලේපන ගාගෙන ඇළේ දොළේ නාන විට එම රසදිය ජලයට මිශ්‍ර වන්නේ නිරායාශයෙනි. එම ජලාශවල ජීවත් වන මසුන් ආහාරයට ගැනීමේදී අහිතකර ප්‍රතිඵලය වන්නේ එම මාළු ආහාරයට ගත් උදවියගේ ශරීරවල කෙමෙන් පිළිකා සෛල වර්ධනය වීමය. ඊටත් වඩා මේ ශරීරයට අහිතකර සුවඳ විලවුන් හා ආලේපන නිසා මානසික අවපීඩනය හා ස්නායු පද්ධතියේ විවිධ විකෘති තාවයන් නිසා මුහුණ සුදු කරගන්නට ගොස් මුුහුණ දීමට සිදුවී ඇත්තේ ශරීරයේ බාහිරව මෙන්ම අභ්‍යන්තරව රෝගී තත්ත්වයන් රැසකටය. ලෝකයේ සමහර රටවල රූපලාවන්‍ය ආලේපනවලට රසදිය එක්කිරීම තහනම් කටයුත්තකි. යුරෝපය සමග මේ හා අප්‍රිකානු රටවල් බොහොමයක මේ තහනම ක්‍රියාත්මක වේ. ඇමරිකාවේත්, ලංකාවේත් රූපලාවන්‍ය නිෂ්පාදනයේදී එක් කළ හැකි රසදිය මිලිග්‍රෑම් ගණන කිලෝ 1 කට මිලිග්‍රෑම් 1 කි. එය ලංකාවේ සඳහන් වන්නේ SCS743 ශ්‍රී ලංකා ප්‍රමිති නියෝගවලට අනුවය. ලංකාවේ මේ සොයාගත් සමහර නිෂ්පාදනවල තිබී ඇති රසදිය සංඝටක ප්‍රමාණය 200 කට අධික වී ඇත. වරක් කාර්මික පර්‌යේෂණ ආයතනය කළ පරීක්ෂණයක් අනුව එක් නිෂ්පාදනයක කිලෝ ග්‍රෑම් එකක තිබී ඇති රසදිය අනුපාතය මිලිග්‍රෑම් 5100 කි. පසුගිය කාලේ බියුටි පාලර්වල සේවය ගන්නට ගිය ඇතැම් ළඳුන්ට සිදුවූයේ අවසන ෆියුනරල් පාලර්වල සේවය ලබාගැනීමටය. ඒ ඔවුන් ඒ ආලේපනවල අසාත්මිකතා නිසා මරණයට පත්වූ නිසාය. පිටකොටුවේ මේ කොස්මෙටික්ස් බඩු තියෙන ඉසව්වල කරක් ගහන්නටද අප අමතක කළේ නැත. අප ඔවුන් සමග කතාබහ කළේ එම නිෂ්පාදන මිලදී ගනිමින්ය. ඒ නිසා ඔවුන්ට අප ගැන සැක සිතුණේ නැත. වෙළෙඳ පොළේ රු. 3000 කට පමණ අලෙවි වන ලෝප්‍රකට ආලේපනයක් අප ගිය වෙළෙඳ සැලේ අලෙවි වූයේ රු. 1800/- කටය. මේ තරම් අඩුවට දෙන්නේ කෙසේදැයි අපි අසා සිටියෙමු. ඔහු තම ජංගම දුරකථනයෙන් දුරකථනයේ සුවඳ විලවුන් ඇණවුම් කළ හැකි සයිට් එකක් අපට පෙන්වමින් කතා කරන්නට විය. ‘‘බොසා, මේ බලන්න, ඕඩර් කරලා ගෙනාවොත් 3000 යි. අපි 1800 යි. එකම කොලිටිය. අපේ සේල්ස් වැඩි නිසා අපි අඩුවට දෙනවා. බොසාට කෑලි කීයක් ඕනද? බොක්ස් එකක 6 යි.’’ ‘‘මේවා ඉතින් ඔරිජිනල්ද?’’ ‘‘මොනාද කියන්නෙ බොසා, ඔරිජිනල්ම බඩු තමා. බට් නම්බර් ටූ.’’ කෝටියක නීති විරෝධී සුවඳ විලවුන් හා ආලේපන අසුවූ බව පාරිභෝගික අධිකාරිය පාරම්බෑවත් මේ පිටකොටුවේ සුවඳ විලවුන් කඩවල් බොහොමයක ‘නානලා’ එය පයිසයකට ගණන් ගත් බවක් නොපෙනේ. ඔවුන් මහත් උජාරුවෙන් කිව්වේ තමන්ගේ ෂොප් එකටත් පාරිභෝගික අධිකාරිය ආ බවය. තවමත් නිදහසේ අලෙවි වන මේ සුවඳ විලවුන් ආලේපන තවත් ගන්නට පොරකන රූමතියන් දුටු විට අවසානයේ අපට සිහියට ආවේ ළඳුන් මේ නිෂ්පාදන ගෙන යා යුත්තේ බියුටි පාලර් එකකට නොව ෆියුනරල් පාලර් එකකට බවය. වජිර ලියනගේ
 

More News..