brand logo

බිනර පුර ප‍සලොස්වක පොහෝ දිනය අදයි

13 September 2019

බිනර පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට ප්‍රමුඛ හේතුවයි. බිනර පොහෝදා මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ පැවිදිවීම සිදු වූ අතර එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. බුදුරදුන් කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ වැඩසිටියදී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය උන්වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදුසසුනෙහි පැවිදි උපසම්පදාව ලබාදෙන මෙන් ඉල්ලා සිටියාය. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම පළමු, දෙවැනි හා තෙවැනි වරටත් ප්‍රතික්ෂේප කළහ. එහිදී උන්වහන්සේ දේශනා කළේ “අලං ගෝතමී මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජජ්ජාති” යනුවෙනි. එහි අර්ථය තථාගත ශාසනයේ කාන්තා පැවිද්ද තමන් වහන්සේට රුචි නොවන බැවින් ඒ කැමැත්ත අත්හරින්න, යන්නයි. බුදුසසුනේ කාන්තාවන් පැවිදිවීම, වැඩුණු හැල් කෙතක වී බොල් වන ලෙස බෝවීමක් ලෙස බුදුරදුන් උපමා කළ අයුරු චුල්ලවග්ග පාලියේ භික්ඛුනික්ඛන්ධකයෙහි දැක්වෙයි. පූර්වෝක්ත ඉල්ලීම සිදුකළ සැණින්ම බුදුරදුන් ඊට අවසරය ලබාදුන්නේ නම් ප්‍රව්‍රජ්‍යාභාවයෙහි කිසිදු බැරූරුම් බවක් පැවිදිවන භික්ෂුණීහු නොදකිති. දුක සේ අපහසුවෙන් එය ලබාගත් කල ශාසනික බ්‍රහ්ම චරියාව හොඳින් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති. මේ කරුණු සලකා භික්ෂුණී සමාජය පිහිටුවන ලෙස පළමුවර කළ ඉල්ලීම පිළිනොගැනීම බුදුරදුන් යෙදු සම්‍යක් උපායක් බව පෙනේ. ස්වකීය ඉල්ලීම ඉටුනොවු බැවින් මහාප්‍රජාපතී ගෝතමිය බුදුරදුන්ට වැඳ ප්‍රදක්ෂිණා කොට නිග්‍රෝධාරාමයෙන් නික්ම ගියාය. බුදුරදුන් ඊළඟ වස් සමය වැඩසිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාරශාලා විහාරයෙහිය. එහිදීද මහා ප්‍රජාපතී ගෝතමිය කලින් රෝහිණී නදී තිරයේදී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටී කපා හැර, කහ වස්ත්‍ර පොරවා, මැටි පාත්‍රගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක් පයින්ම විශාලා මහනුවර කරා පැමිණියහ. මෙම කාන්තා පිරිස පනස් එක් යොදුනක්ම පා ගමනින් පැමිණි බැවින් කූටාගාර විහාරයට ළඟා වන විට ශරීරය දහදියෙන් තෙත්ව, දූවිල්ලෙන් ගැවසී, දෙපා ඉදිමී දුර්වර්ණ වී පැවතිණ. එබැවින් විහාරගෙය තුළට ඇතුළුවීමට තරම් හැකියාවක් නොමැති කාන්තා පිරිස කූටාගාර ශාලාවේ දොරටුව අබියස ශෝකීබරව සිටියහ. මෙසේ දෙවැනිවරට පැවිදි වෙස්ගෙන මනා සංවිධානයක්ද ගොඩනගාගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුන්ගේ අරමුණ තවත් කල් නොගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලිය. ඉක්බිතිව මහා ප්‍රජාපතී ගෝතමිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදුසසුන තුළ පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැල කළහ. එහිදී ද බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් ආනන්ද හිමියන්ගේ බලවත් උනන්දුව මත මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදු සසුනේ පැවිදිවීමට භාග්‍යය උදාවුණි. තවද මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමිය ගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බවද බුදුරදුන් ආනන්ද හිමියන්ට වදාළ සේක. මෙලෙස බුදු සසුනේ කාන්තාවන් පැවිදිවීම ඉතාම දුක සේ, දැඩි සංවිධානයකින් සහ උත්සාහයකින්, ඉවසිලිවන්තභාවයකින්, අධිෂ්ඨාන ශක්තියකින් හා කැපවීමකින් යුක්තව කාන්තාවන් විසින්ම ලබා ගන්නා ලද ජයග්‍රහණයක් බව පැහැදිලි වේ.
 

More News..