brand logo

බැසිල්ට විදේශගතවීමට අවසර

28 November 2019

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනු හතර ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවට අදාළව ඒ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (28) නියෝග කළේය. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දෙසැම්බර් මස 05 වනදා සිට ලබන වසරේ මාර්තු මස 6 වන දා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට අවශ්‍යව තිබෙන බව සඳහන් කළේය. ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම අදාළ කාලසීමාව වෙනුවෙන් ලිහිල් කරන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට රජයේ නීතිඥවරයා විරෝධය පළ කළේ නැත. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ කාල සීමාව සඳහා බැසිල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබා දුන් අතර අධිකරණය භාරයේ පවතින ඒ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලික ලෙස මුදාහරිනු ලෙස ද නියෝග කළේය.ඊට අමතරව මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා විසින් අධිකරණය රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කරන ලදී. (අධිකරණ වාර්තාකරු)
 

More News..