brand logo

බැසිල්ගේ නඩුව මාර්තු මස 23 දා දක්වා කල්යයි

07 November 2019

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු මස 23 දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (07) නියම කර ඇත. කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි. ඉන් පසු එම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 23 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කර ඇත. හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත. එම නඩුව ගොනු කර ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවි නැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2,293 ක මුදලක් දිවි නැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් බෙදා හැරීම තුළින් රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයැයි චෝදනා කරමින්ය.
 

More News..