brand logo

බැසිල්ගේ නඩුවක සාක්ෂි විභාගයට දින නියම වෙයි

26 February 2020

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැඟම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ජී .අයි. පයිප්ප බට මිලදී ගෙන දිවයින පුරා ප්‍රාදේශීය සභාව වෙත බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය අගෝස්තු මස 6 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය .ධම්මික ගනේපොල මහතා විසින් අද(26) නියෝග කරන ලදී. මෙම නඩුව ඊයේ දින කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ. එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ඇතැම් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින බවත් නඩු විභාගයට මුහුණ දීම සඳහා ඒවායේ පිටපත් තමන්ට ලබා ගැනීමට අවශ්‍ය බවත් දන්වා සිටියහ. ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ප්‍රකාශ ඔවුන්ට පරික්ෂා කිරීමට ඉඩ දී ඒවායේ පිටපත් ඔවුන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලදී. ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 6 වනදා ආරම්භ කරන බව විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබීය.එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී. 2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට මිලදීගෙන දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා අතර බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් රජය සමයේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.   (අධිකරණ වාර්තාකරු)
 

More News..