brand logo

බැරි වැඩ මම භාර ගන්නෙ නෑ! දයාසිරි ජයසේකර

14 January 2019

‘‘දේහයකට’’ පණ දෙනව වගේ වැඩක් ඔබට පවරලා තියෙන්නේ. නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපති වූ කෙනා ශ්‍රීලනිපය භාර ගැනීම තුළ නේද පක්ෂයට මේ විපත සිදු වුණේ ? ඔය ගැන විවිධ විග්‍රහ තිබෙනවා. ඔබේ තර්කය මම පිළිගන්නේ නැහැ. ජනපති වුණාට තම වැඩපිළිවෙළ ගෙනියන්න එතුමාට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නැහැ. ඒ බලය ඇති කරගන්න ශ්‍රීලනිප සභාපතිවෙලා එතුමා ශ්‍රීලනිප - එජාප ජාතික ආණ්ඩුවක් හැදුවා. ශ්‍රීලනිපය දිය වුණේ ඒකයි. වසර 02 කදී ආණ්ඩුවෙන් ඉවත් නොවීම නිසා ඒ දියවීම තවත් වැඩිවුණා. අපි දැන් ආණ්ඩුවෙන් ඉවත් වෙලා පක්ෂය ගොඩනගනවා. ඔබ ශ්‍රීලනිපයෙන් එජාපයටත්, යළි ශ්‍රීලනිපයටත් කීපවරක් එහාට මෙහාට ගිය කෙනෙක් ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයොත් ‘‘ ආංබාං’’ කරගෙන පක්ෂය වැටුණු වළෙන් ගොඩගන්න පුළුවන් වේවිද? බැරි වැඩ මම භාර ගන්නේ නෑ. මම ශ්‍රීලනිප උරුමයක් තියෙන, ඒත් පක්ෂයෙන් කිසිම දෙයක් ගත්තෙ නැති කෙනෙක්. 98 දී මම ශ්‍රීලනිප තරුණ සංවිධානයේ ලේකම් වුණේ එවකට ජනපති චන්ද්‍රිකා ඉදිරිපත් කරපු චන්දිම වීරක්කොඩිත් පරද්දලයි. මට ඡන්ද 75 යි. චන්දිමට 11 යි. ‘‘සැරසෙමු ලංකා’’ කියලා පක්ෂයට තරුණයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළකුත් මම සාර්ථකව කළා. ඒත් 97 පළාත් පාලන ඡන්දයේදී පඬුවස්නුවර වැඩිම මනාප ගත්තත් ප්‍රාදේශීය සභාවේ සභාපති තියා උප සභාපතිකම වත් මට දුන්නෙත් නෑ. 99 පළාත් සභාවට හා 2000 මහ මැතිවරණයේදීත් මගේ නම කැපුවා. 2001 දී, ඒ අය මාව එජාපයට යැව්වා කියන එකයි ඇත්ත. 2004 දී එජාප පාක්ෂිකයෝ මට සලකල පාර්ලිමේන්තු යැව්වා. එජාපයේ ඉන්න කාලෙත් මම අන්ත දක්ෂිණාංශයට ගියේ නෑ. වාමවාදයයි මගේ හදවතේ තියෙන්නේ. නව ලිබරල්වාදය වෙනුවට සමාජ වෙළෙඳපොළ ආර්ථිකය එජාපය තුළ ඇති කරමුයි මම යෝජනා කළා. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ හුඟ දෙනෙක් දැන් පොහොට්ටුවට ගිහින් නිසා, ඉන්න අයට ගෞරවය දීලා එකමුතුව පක්ෂය ගොඩනගනවා. නැතුව මේක මට තනියම කරන්න බෑ. ග්‍රාමීය සිට ජාතික තලය දක්වා ශ්‍රීලනිපය ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙළ හදලා මම පක්ෂයට දුන්නා. ඒ නිසා මට මහ ලේකම් ධුරය ලැබුණා විය හැකියි. කැප වුණොත් ශ්‍රීලනිප ඡන්ද පදනම ලක්ෂ 23 ට නග්ගන්න පුළුවනි. දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රීලනිපය තුළ කැරලි ගහනවද? ඔහු ‘‘බබෙක්’’ කියලා ඩිලාන් පෙරේරා කියන කතාව මොකක්ද? ඒ වගේ අනවශ්‍ය ස්ථාවරවල මම නෑ. දුමින්ද කියන්නේ කසාද බැඳලා ළමයි හදපු හොඳ පිරිමියෙක් මිසක් බබෙක් නෙවෙයි. මේ රණ්ඩුව බේරන්න වෙනවා. දුමින්ද 2015 දී ජනාධිපතිතුමා එක්ක එළියට බැහැපු කෙනෙක් නිසා ජනපති ළඟදී ගත්ත තීන්දු ගැන ඔහුට ප්‍රතිපත්තිමය ගැටලු තිබෙනවා. ඔහු වටා ඉන්න අයගේ යම් හැසිරීම් නිසා කැරැල්ලක් වගේ පෙනෙනවා ඇති. මටත් ගහලා තිබුණා. දුමින්දට දිස්ත්‍රික්කයේ ප්‍රශ්නත් තියෙනවා. මොන කලකිරීම් තිබුණත් ඔහු ශ්‍රීලනිපයෙන් යාවි කියලා මම හිතන්නේ නෑ. එකතු කර ගැනීම මිසක් ඉන්න අයත් තල්ලු කිරීම ශ්‍රීලනිප පිළිවෙත විය යුතු නැහැ. ඔබ මහ ලේකම් වූ ගමන් කට වරද්දාගෙන පක්ෂයෙන් සමාව ගත්තා කියලත් ඩිලාන් කිව්වා නේද? ඒකත් අනවශ්‍ය විකාර කතාවක්. මම වගේම අනිත් අයත් කටට අලුත් ‘‘බ්‍රේක් පෑඩ්’’ හයිකර ගැනීම ශ්‍රීලනිපයේ සමගියට ලොකු රුකුලක් වේවි. ‘ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය’ ලෙස පක්ෂයේ ඉතිරි කොටසත් පදාසයක් ලෙස ළඟදීම කැඩී ගිය බව පෙනුණා. ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 ක් හා ආණ්ඩුකාරවරුත් ඒ අතර ඉන්නවා නේද? ප්‍රචාරය වෙන හැම දේම ඇත්ත වෙන්නේ නෑ. ශ්‍රීලනිපය ඇත්තටම සුරකින්නේ කව්ද බලමු. මහ ඡන්දයකදී අපට යම් ආසන ගණනක් දිනන්න පුළුවන්. ඒත් ජනපතිවරණයකදී තනියම ඉල්ලන්න ශක්තිය තියෙනවද? අද ශ්‍රීලනිපය ඉන්නේ තුන්වැනි තැනයි. ඒ නිසා අපේ ඡන්ද පදනම එජාපයටද, ස්වදේශික කඳවුරට විකුණනවද කියන එක අපි බුද්ධිමත්ව ගත යුතු තීන්දුවක්. ඊළඟ ජනපතිවරණයේ දී එජාපෙ අපේක්ෂකත්වය නොදෙන බව ප්‍රකාශ වීම තුළ ව්‍යවස්ථාව කඩා හෝ පොහොට්ටුවට බලය දීලා එහි ජනපති අපේක්ෂකත්වය ගන්න ජනපති ක්‍රියා කළ බවට විග්‍රහයක් තියෙනවා? ජනාධිපතිතුමා තම ප්‍රතිපත්ති යහපාලනය තුළ ක්‍රියාත්මක කරන්න දැඩි උත්සාහයක් දැරුවා. එතුමාගේ ජනපති බලයත් මේ අය අඩු කළානේ. ජනපති ධුරයේ බලය අඩුකරන්න නෙවෙයි, ඒ ධුරය අහෝසි කරන්නයි ඔහු ආවේ? ඇත්ත. මගේ බලය අයින් කරන්නැයි එතුමා කිව්වාම ඒකට 2/3 ක් හා ජනමත විමසුමක් ඕන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ. යහපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, ජාත්‍යන්තරය ජය ගැනීම කළත් එජාපයට භාර වූ ආර්ථිකය කඩා වැටුණා. මහ බැංකුවත් කැඩුවා. ජනාධිපතිට එජාපෙත් එක්ක තවත් යන්න බැරි වුණේ ඒකයි. ඒ නිසා ජනතාව මේ තත්ත්වය නිවැරදිව තේරුම් අරන් කියලා අපි විශ්වාස කරන නිසා ජනතාවට එතුමා ගැන අවිශ්වාසයක් ඇති වෙන්න හේතුවක් නෑ. රනිල්ගේ ප්‍රතිපත්තිත් එක්ක වැඩ කරන්න ජනාධිපතිතුමාට නෙවෙයි සිහි බුද්ධිය තියෙන ‘යකෙකුටවත්’’ බෑ. ජනපතිවරණයක් අත ළඟ බවට ආරංචි පළ වෙනවා. ජනපතිට පොහොට්ටු අපේක්ෂකත්වය දුන්නොත් මේ සඳහා ‘‘සූට් මහගෙන’’ හිටපු ගෝඨාභය ඇතුළු පිරිස පදාසයක් ලෙස ගැලවිලා ගියොත් මොකද වෙන්නේ? එහෙම වේවි කියලා මම හිතන්නේ නෑ. ජනාධිපතිතුමා ඉල්ලන්නේ නෑ කියලා කිව්වොත් වෙනත් අපේක්ෂකයකුට ඒ අවස්ථාව ලැබේවි. ශ්‍රීලනිප හා පොහොට්ටු සන්ධානය මහ මැතිවරණයකට ඉදිරිපත් කිරීමේදී දෙපැත්තේ සංවිධායකයන් අතර අරගල ඇති නොවේවිද? සන්ධාන ගැහුවම ඒ වගේ ගැටලු එනවා. පොහොට්ටුව ගොඩ නැගූ අයත් අහවි අපි දුක් විඳලා හදපු පක්ෂයට ‘‘ශ්‍රීලනිප යක්කු’’ ටිකක් ඇවිත් මේකට රිංගුවාම අපට මොකද වෙන්නේ කියලා. සියල්ල සන්ධානයට වඩා වාසි ගේන විදිහට කතා කර ගන්න වෙනවා. කැපවීම් නොකළොත් බෙදුණොත් අපි පරදිනවා.   රනිල් විරෝධීන් පත් කළා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. පළාත් සභා ක්‍රියාත්මක පළාත්වල දෛනික කටයුතු හා වෙනත් දේ දේශපාලන කෝණයෙන් බලලා ඉටු කළ හැකි පිරිසක් පත් කළේ නිලධාරින්ට යට නොවී ඒ ජනතාවට අවශ්‍ය කටයුතු ඉටුකරගන්නයි. ඡන්ද මෙහෙයුමක් මෙතන නෑ. ඡන්දයකදී ආණ්ඩුකාරවරුන්ට කළ හැකි දේකුත් නෑ. පොහොට්ටුව පළාත් පාලන ඡන්දය දිනුවේ ජනපති හා ශ්‍රීලනිප ඔබ ඇතුළු සමහරු යහ පාලන ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ආණ්ඩුව පතුරු ගහපු නිසා බව පිළිගන්නවද? නැහැ... ආණ්ඩුව ඇතුළේ කතා කරලා නිවැරදි කරගන්න බැරි වූ දේවල් ගැනයි අපිට එළියේ කතාකරන්න සිදු වුණේ. ශ්‍රීලනිප ප්‍රතිපත්ති නොසලකා එජාපෙ රටට එරෙහි දේවල් විතරක් කරන්න හදන වෙලාවෙ අපට මැදිහත් වෙන්න සිදු වුණා. ඇතැම් සිද්ධි පොහොට්ටුවට වාසි ගෙනාවා වෙන්න පුළුවන්. ජනපති මූලාසනයේ තබාගෙන තම ආණ්ඩුව සියලු තීන්දු ගන්නේ කියලා එජාපෙ කියනවා. එසේ නම් ප්‍රශ්නකාරී ක්‍රියා ආණ්ඩුව හරහා සිදු වුණා නම් ජනපති හා ශ්‍රීලනිප ඇමැතිවරුන් ඊට වගකිව යුතු නැද්ද? රට කැලේ පාරෙ ගෙනියන්න හදනකොට අපියි හරි පාරට ගන්න උත්සාහ කළේ. ඒත් හැමදේම සුබවාදීව සිදු වුණේ නැති නිසා අපට ඒ වගකීම් භාරගන්න බෑ. සමහර දේවල්වලට අපි කැබිනට් එකේදී එකඟ වුණේ කැබිනට් සාමූහිකත්වයට හානි කරන්න බැරි නිසයි. ව්‍යාජ අගමැතිට හා ආණ්ඩුවට 113 හදා ගැනීමට බැරිවූ තැන ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරපු ගමන්ම එම පිරිස පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම ජනපති හා ශ්‍රීලනිපයට එල්ල කළ කනේ පහරක් නෙවෙයිද? ඇත්ත, මේ සිද්ධිය රටම දැකපු ශ්‍රීලනිපයට විශාල වේදනාවක් ගෙනා සිද්ධියක්. ශ්‍රීලනිපය යටපත් කරලා පොහොට්ටුව මතු කිරීම එහි උපාය වෙන්නැති. ජනපති හා අපි මෙච්චර කැපවීමක් කරලා තියෙද්දී බෙරගහලා සක් පිඹලා ඔවුන් පසුදාම පොහොට්ටු සාමාජිකත්වය ගනීවි කියලා අපි හීනෙකින්වත් හිතුවෙ නෑ. ජනාධිපතිතුමා තම ජීවිතය හා බෙල්ල දීලා නින්දා අපහාස මැද තමා ජනපති කරවූ එජාපටත් පිටුපාලා රනිල් අගමැතිකමෙන් දොට්ට දාලා පාර්ලිමේන්තුව කල් දාලා ඊට පස්සේ විසුරුවල ගැසට් 05 ක් ගහලා තියෙද්දී කරපු ඒ වැඩේ නිසා ශ්‍රීලනිපයට වේදනාවක් වගේම ක්‍රෝධයකුත් ඇතිවුණා. අපිව රැවැට්ටුවා නේද කියලත් හිතුණා. ශ්‍රීලනිප මන්ත්‍රීවරු අදටත් මේ සැකය මතු කරල කතා කරනවා. 2015 මහ මැතිවරණයේ දී මෛත්‍රී පිල සමග සිටි බොහෝ දෙනෙක් සූක්ෂ්මව හිතාමතා පරාජය කිරීමේ මෙහෙයුමක් අද පොහොට්ටුවේ සිටින පිරිස් දියත් කළ බවත්, යළිත් එවැන්නක් සිදු විය හැකි බවත් ඔබ පිළිගන්නවද? 2015 ඔය ප්‍රශ්නයත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු කතා කරන බව ඇත්ත. පොහොට්ටුවේ අය සැක කරන අය අදත් ඉන්නවා. මොවුන් එක්ක එකට ඡන්දය ඉල්ලන්න අපට විශ්වාසයක් තියෙනවද අහන අයත් නැත්තේ නැහැ. පොහොට්ටුවේ අයත් ශ්‍රීලනිපයට විශ්වාසය දීලා ඔවුන් හදවතින්ම පිළිගන්නා බව ක්‍රියාවෙන්ම තව තවත් ඔප්පු කිරීම මීට ඇති හොඳම විසඳුමයි. එය වේගයෙන් සිදුවෙන බව මගේ පිළිගැනීමයි. ඒ තුළ 2015 මහ මැතිවරණයේ දී සිදු වූ අමිහිරි දෙයක් වේ නම් ඒවා යළිත් සිදු නොවීමට වගබලා ගැනීම දෙපාර්ශ්වයේම වගකීමයි. අනික මොන අභියෝග ආවත් තමන් දිනන හැටි, තමන්ගේ අතෙයි තියෙන්නේ. අඬ අඬ ඉඳලා බෑ. ඔය කියන අභියෝග මැද 2015 දී මම කුරුණෑගල දෙකට ආවා. දුමින්ද, අමරවීරලා දිනුවේ නැද්ද? ඒ නිසා කාටවත් දොස් කියලා හරියන්නේ නෑ. පොහොට්ටුවේ අය අපිව පරාද කරන්න වගේම අපිත් ඒ අය පරාද කරලා අපේ අය වැඩිපුර දිනවන්න උත්සාහ කළ යුතුයි. දේශපාලනය කියන්නේ ඒකටයි. ශ්‍රීලනිපය වසර 02 ක් හැර 1994 ඉඳලා බලයේ හිටපු පක්ෂයයි. අපේ සමහරුන්ට විපක්ෂය ‘‘ඇලජික්’’ එහෙම දේශපාලනය කරන්න බෑ. ශ්‍රීලනිපයේ සමහරු ඒකත් තේරුම් ගැනීම වැදගත්. මහින්ද මහතා කොතරම් ජනප්‍රිය වුණත් පස්සේ දොරෙන් හරි ඇවිත් අගමැති වුණාම 113 හදාගන්න බැරිවීමේ මහ පුදුමයට හේතුව කුමක්ද? ඒක පුදුමයක් තමයි, 113 හදන්න භාර ගත්තෙ අපි නෙවෙයි. ඒත් එයාලට ඒක කරගන්න බැරිවුණා. ශ්‍රීලනිප අය එජාපෙටත්, පොහොට්ටුවේ අය විපක්ෂයටත් ගිහින් වාඩි වෙන බවට විවිධ හැලහැප්පිලි ඇති වූ නිසා එජාපෙන් එන්න හිටපු අය ආවේ නෑ. ඒකයි සිදු වුණේ. පොහොට්ටුවේ පස් දෙනෙක් විපක්ෂයට ගිහින් වාඩිවෙන්න ආසන පවා වෙන්කරගෙන තිබුණා. අනික කළු සල්ලි හතර පැත්තට විසිවුණා. පිල් මාරුකරන්න වගේම පිල් මාරු නොකර ඉන්නත් සල්ලි මලු විසිවුණා. ශ්‍රීලනිප හා පොහොට්ටුව අතර ඇතිවන සංවිධානයේ නායක ජනපතිද, මහින්දද? ඒ ගැන අවසන් තීන්දුවක් නෑ. තාම කතා කරනවා. නායකයා කව්ද, ව්‍යවස්ථාව මොකක්ද කියලා බලනවා. අන්තවාදී හෝ ජාතිවාදී වෙලා නෑ. සමබර මත සහිත දෙමළ මුස්ලිම් පක්ෂත් ආකර්ෂණය නොකර ඡන්ද දිනන්න බෑ. 64 දී විතරයි ශ්‍රීලනිපය තනියම තරග කළේ. අනිත් හැම වතාවෙම සංවිධානවලිනුයි දිනලා තියෙන්නේ. අපේ තරම තේරුම්ගෙන වැඩ කරන්න වෙනවා. ශ්‍රීලනිපයට තනියම දිනන්න බැහැ, වගේම අපි නැතුව දිනන්න කාටවත් බෑ. ඇත්ත එයයි. පරදින වාතාවරණ හදන්නත්, ගොන් තර්ක දාන අයත් අප අතර ඉන්නවා. ව්‍යාජ ආණ්ඩුව ලෙස විග්‍රහ වූ මහින්ද මහතාගේ රජයට එජාපෙන් පැමිණි පිරිසට විවිධ වරප්‍රසාද වරදාන හා ඇමැතිකම් දෙන්නට එක පයින් ක්‍රියා කළ ජනපති වත්මන් නීත්‍යනුකූල රජයට පැමිණි ශ්‍රීලනිප අයට ඇමැතිකම් නොදීම හා පොහොට්ටුවට නොතිබූ විනය පරීක්ෂණ මේ රජයට ආ අයට පමණක් ලැබීම දෙබඩි හා ලැජ්ජ නැති ප්‍රතිපත්තියක් නේද? මීට හුඟ කලකට කලින් මම සියදහස්වර කිව්වා පොහොට්ටුවට වැඩ කරන එජනිස මන්ත්‍රීවරුන්ට විරුද්ධව දැඩි පියවර ගන්න කියලා. ඒත් දිගින් දිගටම ඒක ඇහුවේ නෑ. පොහොට්ටුවේ අයට වැරදි පාරවල්වල යන්න උඩගෙඩි දුන්නේ අපේ අයමයි. ඒකට වගකිවයුත්තේ පක්ෂ නායකයා ලෙස ජනාධිපති නේද? ඔව්. ජනාධිපතිතුමා හා පක්ෂයේ අනිකුත් නිලධාරින් ඊට වගකිව යුතුයි. ඒත් දැන් පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර සන්ධානයක් ඇතිවෙලා නිසා දැන් ඒ අයට විනය පරීක්ෂණ කරලා සන්ධානය දෙදරවා ගන්න ක්‍රියා කරන්න බෑ. ඒත් ශ්‍රීලනිපයෙන් මේ ආණ්ඩුවට එක් වූ අයට ඇමැතිකම් නොදෙන්න තීන්දු කළේ මධ්‍යම කාරක සභාවයි. එහෙම ගිය අයට විනය පරීක්ෂණ පැවැත්විය යුතු බව මගේ ස්ථාවරයි. ඒත් ඒ සියලු දෙනාත් ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ අයත් යළි පක්ෂයට එකතු කර ගැනීමයි වැදගත් වෙන්නේ. මම ඉන්නෙ එතැන. අනික ශ්‍රීලනිපයෙන් පැරදුණු අයට ජාතික ලැයිස්තු දීමත් වැරදියි. 2015 දී විවිධ හේතු තිබුණා. ඒත් යළිත් එවැනි දේ ශ්‍රීලනිපය තුළ සිදුවිය යුතු නැති බව මගේ දැඩි ස්ථාවරයයි. එජාපෙත් දැන් දැවැන්ත සන්ධානයක් තනනවා. ඊට ප්‍රබලම සුළු ජාතික පක්ෂවල සහායත් ලැබෙන තරම්. පස්ස දොරෙන් ආණ්ඩු තැනීමට ගත් උත්සාහය තුළ පාවෙන ඡන්ද බහුතරයක් පොහොට්ටුවට හා ශ්‍රීලනිපයට එරෙහි වී සිටින බව ඔබ පිළිගන්නවද? ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. දේශපාලනය කියන්නේ අභියෝග ජය ගැනීම තමයි පොහොට්ටුවේ ගමේ ඡන්ද හෙලවිලා නැහැ. ඒත් ඔවුන්ට තිබුණු මධ්‍යස්ත මතධාරී බුද්ධිමත් යමක් හිතන්න පුළුවන් අයගේ පාවෙන ඡන්ද පළාත් පාලනවලදී පොහොට්ටුවට ගියේ එජාපය පසුගිය වසර 2 1/2 තුළ කළ කී දේවල් නිසයි. ඔක්තෝබර් 26 ඇති වූ බල පෙරළියෙන් ඒ පාවෙන ඡන්ද සසල වුණා. මේ කරගත්තේ මොන මඟුලක්දැයි ඔවුන් හිතනවා. බල කෑදරකමට, තණ්හාවට ගිහිං අතේ තිබුණු දේ කටේ දාගන්න බැරි පසුබිමක් නිර්මාණය කරගත් බව පාවෙන ඡන්ද හිතන බව ඇත්ත. ඔවුන් කලකිරුණා. ඒත් ආපදා අවස්ථාවක දී ‘ඇඳ යටට රිංගන’ රනිල් ආපදාව ඉවර වුණාම අළුගසා දාල එළියට ඇවිත් පරණ සෙල්ලම් ඊටත් වඩා හොඳින් පෙන්නන එක ඔහුගේ ජන්ම ගතියයි. ඉංග්‍රීසි හැර වෙන කිසිම දක්ෂතාවක් නැති රනිල්ගෙ ‘රාජකීය’ සෙට් එකත් එක්ක ඒ පරණ සෙල්ලම ඔහු යළිත් පටන් ගත්ත නිසා පාවෙන ඡන්ද නෙවෙයි එජාප පසුපෙළත් කැලඹිලා ඉන්නේ. ඒ නිසා ඉදිරි මැතිවරණයකදී පාවෙන බහුතරයක් ඡන්ද අපේ සන්ධානයට මිසක් එජාපක්ෂයටත් නොදී රට තනියම කන රනිල්ගේ ගජමිතුරු කල්ලියට හිමි වෙන්නේ නෑ. අශෝක ජයතුංග
 

More News..