brand logo

බැඳුම්කර සිද්ධිය සම්බන්ධව විත්තිකරුවන් 10කට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට අවසර

13 June 2019

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදුකිරීම සම්බන්ධව ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපතිවරයා එහි අධ්‍යක්‍ෂවරයා ඇතුළු විත්තිකරුවන් 10කට එරෙහිව ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා නීතීපතිවරයාට අද (13) අවසර ලබා දී ඇත. රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් රජයට සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවරීමට අවසර දෙන්නැයි නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඒ සඳහා අවසර ලබා දී ඇති අතර අධිකරණ සංවිධාන පනතේ 124 අ (4) අ වගන්තිය යටතේ නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර තිබේ. මහ බැංකුව විසින් 2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී සිදුවු මෙම අපරාධයට අදාළව පොදු දේපළ පනත යටතේ මෙන්ම ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ අධි චෝදනා 23ක් විත්තිකරුවන්ට එරෙහිව නැඟීමට නීතීපතිවරයා තීරණය කර තිබෙයි. හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමල එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත‍්‍ර ගුණවර්ධන, චිත‍්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිව අධිචෝදනා නැඟීමට නීතීපතිවරයා තීරණය කර තිබේ.
 

More News..