brand logo

බැඳීම් නැති නිසා සිනමාවේ ඕන පිම්මක් පනිනවා

18 August 2020

අපි හැමදාම සිනමාවේ වීරයන් ගැන කතා කරනවා. හැබැයි ඒ වීරයන්ට ඒ තරම් වීරත්වයක් ලැබෙන්න ඒ වීරයන් පරාජය කරපු ප්‍රතිවීරයන්ගෙන් කොච්චර සහයෝගයක් ලැබෙනවාද? එවැනි ප්‍රතිවීර චරිතයක් එක්ක තමා අද පළමු පියවර දිග හැරෙන්නේ... ඔහු නමින් විල්සන් කරුණාරත්න. මම ඉපදුනේ 1942 ඔක්තෝබර් 28. කිරුළපන මගේ උපන් ගම. ලුම්බිණි මධ්‍ය මහා විද්‍යාලයට මම ගියේ. ඉස්‌කෝලේ යන කාලේ ඉඳන්ම ක්‍රීඩාවලට තමයි කැමති. මම ෆුට්‌බෝල් කණ්ඩායමට ක්‍රීඩා කළා. මුළු කිරුළපනම දන්නවා මමයි අයියයි ෆුට්‌බෝල් ගහනවා කියලා. ඒ කාලය තමයි මගේ ක්‍රීඩාවේ දියුණුම කාලේ. මම ෆුට්‌බෝල් තරගවලට පාකිස්‌තානයට පවා ගියා. ඒ විතරක් නෙවෙයි ජිම්නාස්‌ටික්‌, කරාටේ, ජූඩෝ වැනි ක්‍රීඩා කළා. ඒ වගේම මම මොහිදීන් මාස්ටර් ගෙන් චීන අඩි ශාස්ත්‍රය ප්‍රගුණ කළා. මම ඉස්සර ඉඳන්ම ඉංග්‍රීසි චිත්‍රපට හරියට බලනවා. නිව් ඔලිම්පියා එකේ තමා අපි ඉස්සර චිත්‍රපට බලන්නේ. මේ චිත්‍රපට බලලම මට ආසාවක් ආවා කවදා හරි සිනමාවේ වීරයෙක් වෙන්න. අපේ කිරුළපනේ කලා සංගම්වල ප්‍රධාන චරිතයක් තමයි පුන්‍යදාස බුලත්සිංහල කියන්නේ. එයා තමා ලුම්බිණි එකේ නාට්‍ය කළේ. ප්‍රධාන චරිතය කරන්නෙත් එයාමයි. මම ඉතින් චණ්ඩියා චිත්‍රපටය බලලා ඇවිත් කිව්වා ඒකෙ ගාමිණී ෆොන්සේකා සහ රොබින් ප්‍රනාන්දුගේ සටන් ජවනිකාව නම් මරු මටත් ආසයි ඒ වගේ එකක් කරන්න කියලා. ඔය අතරේ තමා සුබයර් මකීන් හදවත් නැත්තෝ චිත්‍රපටය කරන්න පටන් ගන්නේ. මේකේ කතාව සහ දෙවන සහය අධ්‍යක්ෂණය කළේ පුන්‍යදාස බුලත්සිංහල. දවසක් සුබයර් මකීන් කියලා තියෙනවා රොබින් එක්ක සටන් ජවනිකාවට ගන්න අලුත් කෙනෙක් ඕනේ කියලා. එතකොට තමා මාව මතක් වෙලා මගේ ගැන කියලා තියෙන්නේ. ඒ අනුව තමා සිනමාවට ආරම්භය ලබා ගන්නේ. ඒ අනුව මගේ පළමු ප්‍රතිවාදියා වූයේ අසහාය සටන් නළු රොබින් ප්‍රනාන්දු රංගන ශිල්පියා. අපි මේ චිත්‍රපටය රූප ගත කළේ මාවනැල්ලේ. ඩොනල්ඩ් කරුණාරත්න තමා කැමරාකරණයට හිටියේ. ප්‍රධාන නිළි චරිතයට හිටියේ නීටා ප්‍රනාන්දු. "කෝ හතුරෝ" චිත්‍රපටයේ තමා ප්‍රධාන චරිතයක් රඟපෑවේ. ඒකේ ප්‍රධාන නිළිය වුණේ සෝනියා දිසා. ඒකේදී මම ප්‍රේමණීය රංගනයකුත් කළා. ඒත් ඒ ප්‍රේමය ජයගන්න බැරිවුණා. මොකද දුෂ්ටයා ඇවිල්ලා මගේ ආදරවන්තිය මරලා දැම්මා. අමතක නොවන අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. එක දවසක් දර්ශන තලයකට ගියා. පාදුක්‌ක පැත්තට. ඒක තිබ්බේ රබර් වත්තක. අපි හිටියේ චණ්‌ඩින්ට. සනත් එක්‌ක වසන්ති චතුරාණි එනවා. අපි රබර් කොළ අස්‌සෙන් මතුවෙලා ඒ දෙන්නව අල්ලන්න දුවගෙන එනවා. එතකොට සනත්, වසන්තිව ඇදගෙන ගහක්‌ උඩ තියෙන අට්‌ටාලයට දුවනවා. එතකොට අපිට කරන්න තිබ්බේ ගහ වටේ තියෙන පිදුරුවලට ගිනිතියන්න. ඉතින් අපි ගිනි තිබ්බා. හැබැයි ගිනි තිබ්බා විතරයි මුළු වටේටම ගිනි ගත්තා. රබර් කොළ හොඳට වේළිලානේ. දැන් හෝ ගාලා ගිනි ගන්නවා. වසන්ති ගහ උඩ අනේ මාව බේරගන්න කියලා කෑ ගහනවා. කවුරුවත් ළඟට කිට්‌ටුවෙන්න බයයි. මම කඩාගෙන ළඟට ගියා. එන්න වසන්ති කියල මම එයාව අල්ලගෙන අරගෙන ආවා.මාවත් වසන්තිවත් ටිකක්‌ පිච්චුනා. මම ඉතින් තනිකඩයා නිසා ඒ වගේ දේවල් කරන්න පුළුවන් වුණා. කවුරුවත් කරන්නේ නැති දේවල් මම බය නැතුව සිනමාවේදී කළා. කිවුලේ ගෙදර මොහොට්‌ටාල චිත්‍රපටයේ රූප ගත කිරීමකදී ගාල්ලේ කොටුවේ උඩ ඉඳන් මම බිමට පැන්නා. හැබැයි ඉතින් දරු මල්ලෝ හිටියා නම් මොකක්‌ කරන්න ගියත් ඒ අයව මතක්‌ වෙනවනේ. මේවා කරන්න ගිහිල්ලා මට මොකක්‌ හරි වුණොත් කියලා හිතෙනවනේ. මට එහෙම බැඳීම් නැති නිසා සිනමාවේ ඕන පිම්මකදී මං පෙරමුණ ගත්තා. ඒ කාලයේ මට ආදරය, ප්‍රේමය කියන එක එතරම්ම දැනිච්ච දෙයක්‌ නෙමෙයි. පාසල් යන කාලෙත් අපි ක්‍රීඩාවට සහ ටිකක්‌ රණ්‌ඩුවලට එහෙම බර කොල්ලෝ. ඒ නිසා ආදරය ගැන හිතන්න ගියේ නැහැ. හීන මව මවා ආදරය කරන තැනක හිත තිබුණේම නැහැ. මාලනි අක්‌කා නිතර කිව්වා ඔහොම ඉඳලා හරි යන්නේ නැහැ නේද කියලා. එතකොට ඉතිං මම මොනවද මාලනි අක්‌කේ මේ කියන්නේ කියල හිමින්ම මග හරිනවා. හැමදාම ඔයා මේ වගේ ශක්‌ති සම්පන්නව ඉන්නෙ නෑ. වයසට ගියාම තේ එකක්‌ හරි හදලා දෙන්නෙ කවුද කියලා තමා මාලනි අක්‌කා නිතරම මගෙන් ඇහුවේ. ඒ වෙලාවට මගේ සහෝදර සහෝදරියෝ ඉන්නවනෙ කියල මම හෙමිහිට ෂේප් වුණා. මාත් එක්‌ක සටන් කරන්න විඡේ අයියා හරි ආසයි. කවුද ඉන්නේ කියලා අහලා කරු ඉන්නේ කිව්ව ගමන් "ආ නියමයිනේ" කියලා තමයි විඡේ අයියා කියන්නේ. අපි ඉතින් රූ ගත කිරීම් ඉවර වෙලා අපි පොඩි කතාබහක් දාගෙන ඉන්න වෙලාවට විඡේ අයියා කිව්වෙත් ඔහොම ඉන්න බෑ කරු හැමදාම. බඳින්න ඕනේ.අපි කාව හරි හොයමු..මම කසාදෙට සල්ලි වුණත් වියදම් කරන්නංකෝ කියලා. ගාමිණි ෆොන්සේකා මහත්තයත් එහෙමයි "අයිසේ... හැමදාම ඔහොම ඉන්නද කල්පනාව, බලනවා තමුසෙගේ ඔය අත පස කැඩුණොත් කවුද තමුසෙව බලාගන්නේ කියල නිතරම කිව්වා. ඒත් මම මේ තනිකඩ ජීවිතේ නිදහස වින්දා. අදටත් මට එහෙම තනිකඩකමක් දැනෙන්නේ නෑ. මගේ සහෝදරයෝ ඉන්නවා. ඒ ගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා. දැන් නම් දරුවන්ගෙ දරුවොත් ඉන්නවා. ඒ අය මාව හොඳට බලාගන්නවා. මට කිසිම අඩුවක්‌ කරන්නේ නැහැ. අදටත් මම උදෙන්ම නැගිටලා එක්‌සසයිස්‌ කරලා දවස පටන් ගන්නේ. ඒ නිසා මගේ සෞඛ්‍ය තත්ත්වයත් හොඳයි. එක විදියටම ගිය ජීවිතේ අමුතු වෙනසක්‌ තේරෙන්නේ නෑ. මග තොටේදී අදටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තියනවා. ඒ තුළින් නිහතමානීව සතුටක් ලබනවා. ඕක තමා ජීවිතේ ඉතින්... අනුෂා රණසිංහ
 

More News..