brand logo

බැංකුවේ සල්ලිත් අවලංගුනම් කොහෙන්ද ගන්නේ ඒ වටිනාකම

19 January 2019

හානියට පත් නෝට්ටු තවම මහබැංකුව බාරගන්නා බව මහ බැංකුව කියයි

‘‘මිස්ටර් මේ පන්දාහේ නෝට්ටු තුනනම් අපේ බැංකුවේ ඩිපොසිට් කරන්න ගන්න බෑ’’ ‘‘ඇයි ගන්න බැරි දැන් මං ඕගොල්ලන්ගේ ටෙලර් මැෂින් එකෙන් ගත්තේ’’ ‘‘ඒ වුණාට ඉතින් එක නෝට් එකක කොම්පැනියක සීල් එකක් ගහලා. තව එකක I Love u කියලා ගහලා. අනිත් නෝට් එක මැෂින් එකෙන් රිජෙක්ට් කරනවා. හොර නෝට්ටුවක්ද කොහෙද?’’ ‘‘දැන් එතකොට ඔයගොල්ලන්ගේ බැංකුවේ ටෙලර් මැෂින් එකෙන් එන නෝට්ටුව ඔබතුමාලගේ බැංකුවෙන් ඩිපොසිට් කරන්න බැරිද?’’ ‘‘යන්ත්‍රසූත්‍ර ගැන මිනිස්සු ගැන වගේ සම්පූර්ණ විශ්වාසය තියන්න බෑනේ’’ ‘‘එහෙනම් විශ්වාසය තියන්න බැරි යන්ත්‍රවලට ඇයි අපව යොමු කරන්නේ. දැන් මේ රුපියල් 15000 අලාභෙ මං දරාගන්න ඕනද?’’ මේ පසුගියදා බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඇතිවූ සංවාදයකි. පලුදු වූ හා හානි වූ නෝට්ටු ප්‍රතික්ෂේප කිරීම රැල්ලක් මෙන් නැගී ආවේ පසුගිය වර්ෂයේ අගභාගයේ සිටය. මහ බැංකුව 2017 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළේ 2017 දෙසැම්බර් 31ට පෙර සිතා මතා විකෘති කළ හෝ හානි කළ මුදල් නෝට්ටු වාණිජ බැංකුවලට ලබාදී අලුත් නෝට්ටු ලබා ගන්නා ලෙසය. එම මුදල් නෝට්ටු එදිනෙන් පසු ගනුදෙනු සඳහා භාවිතයට අවසර නොදෙන බවද එම නිවේදනයෙන් කියවුණි. නමුත් ඊට එරෙහිව නැගුණු මහජන විරෝධය හමුවේ එම දිනය 2018 මාර්තු 31 දක්වා දීර්ඝ කරන්නට මහබැංකුවට සිදුවිය. මහ බැංකුව කළ මේ බිය වැද්දීම නිසා අමාරුවේ වැටුණේ මෙරට සාමාන්‍ය ජනතාවයි. වාණිජ බැංකු විසින් නිකුත් කරන ‘කෙඩ්‍රිට් කාඩ්’ වලට බදු පිට බදු ගසා, ගිනි පොලී අය කර, ලිපිද්‍රව්‍ය ගාස්තු (Stationery charge) පවා අය කරන රටක ජනතාව මුදල් නෝට්ටු භාවිතයෙන් මිදී ණය කාඩ්පත් වෙත යොමුවේයැයි සිතීම මිථ්‍යාවකි. මෙරට මුදල් නෝට්ටු කාබාසිනියා කරන ප්‍රධාන කොට්ඨාසය බස්රථවල කොන්දොස්තරලාය. නෝට්ටුව ගත් සැණින් හරිමැදින් දෙකට නවා ඇඟිලි අතර රුවා ගැනීම ඔවුන්ගේ සිරිතය. ඒත් දැන් කොන්දොස්තරවරුන්ද හානි වූ නෝට්ටු බාරගන්නේ නැත. මේ නිසා ඇතැම් මගීන්ට බස්රථයෙන් බහින්නට වෙන්නේ කොන්දොස්තරලාගේ රැවුම් ගෙරවුම් මැදය. දියුණු රටවල් මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් වෙමින් යද්දී බස් රථවලට ‘ට්‍රැවල් කාඩ්’ ක්‍රමය ප්‍රවර්ධනයට මහ බැංකුව කරපු ඉලව්වක් නැත. මහබැංකුව බස්වල ස්ටිකර් ගැහුවේ ‘‘එකමත් එක රටක නෝට්ටුවලට හානිකරන අය ඉන්නවලු’’ වැනි නපුංසක ශීර්ෂපාඨ දමමින් හානි වූ නෝට්ටු මාරු කර ගත හැකි අවසන් දිනය නඩු තීන්දුවක් මෙන් ප්‍රකාශයට පත් කිරීමයි. දැන් බොහෝ බැංකුවල රුපියල් 200,000ට අඩු මුදල් තැන්පත් කිරීම් සඳහා තැන්පතු යන්ත්‍රය (Deposit machian) භාවිත කරන ලෙස දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත. මේ ඩිපොසිට් මැෂින් හොර සල්ලි මිස හානි වූ නෝට්ටු ප්‍රතික්ෂේප කරන්නේ නැත. බැංකු කළ යුත්තේ එම හානි වූ නෝට්ටු මහ බැංකුව වෙත යවා අලුත් නෝට්ටු ලබා ගැනීමය. නමුත් බැංකු කරන්නේ නැවත ගනුදෙනුකැරුවන්ට නිකුත් කිරීමය. නෝට්ටු මිටිය සල්ලි ගණින යන්ත්‍රයට තබා බැංකු සේවකයා පවසන්නේ මෙවැන්නකි. ‘‘ඔන්න බලා ගන්න කවුන්ට් වෙනවා’’ ඉන්පසු බැංකු නිලධාරියා එම නෝට්ටු තොගයට රබර් පටියක් දමා ටිකක් ලොකු ගාණක් නම් ඇන්විලොප් එකකද දමා මුදල ගනුදෙනුකරු අත තබයි. ගනුදෙනුකරු බැංකුවෙන් පිටතට යාමට පෙර නෝට්ටු එකින් එක පරීක්ෂා කළොත් එවෙලේම හානි වූ නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු මාරු කර ගත හැකිය. ගෙදර ගිහින් නෝට්ටු පරීක්ෂා කරන්නට ගොස් හානි වූ නෝට්ටු තිබුණොත් ඉතින් නැවතත් බැංකුවට පැමිණ ඇති කරගන්නට වෙන්නේ ආරවුලකි. මෙරට ටෙලර් යන්ත්‍රවලින් හදිසියට බස් එකේ යන්නට රුපියල් සීයේ නෝට්ටුවක් පවා ගන්නට තරම් මගීන් මෙරට සිටී. මේ රුපියල් සීයෙන් රුපියල් 5ක් බැංකුව අයකරන්නේ රිසිට්පතක් දීමටය. මෙම රිසිට්පත 122mm x 80mm තර්මල් කොළ කැබැල්ලකි. මේ රෝලකම මිල රුපියල් එකසිය විස්සක්වත් මිල වන්නේ නැත. ඒ අනුව මේ කොළ කෑල්ලට ශත 25ක්වත් වන්නේ නැත. බැංකුව එතැනිනුත් රුපියල් 4.75ක අයුතු ලාභයක් ලබයි. මගියා ටෙලර් මැෂිමෙන් ලබාගත් ගිණුමේ ඉතුරු වී තිබූ එකම රුපියල් සියය හානි වූ නෝට්ටුවක් නම් එදාට ගෙදර ගොස් හමාරය. නවීන බැංකු තාක්ෂණයට මෙරට ජනතාව හුරුකරන මහබැංකුව ‘හුංඩු’ රිසිට්පතකට රුපියල් 5ක් ගසා කෑමට බැංකුවලට ඉඩදී තද නින්දේ සිටී. ගනුදෙනුකරුවන්ට බැංකුවලින් ලබාදෙන නෝට්ටු ගැන මගේද අත්දැකීමක් ඇත. වරක් මා බොරැල්ල පෞද්ගලික බැංකුවකින් ලබා ගත් මුදලක් බොරැල්ලේම රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට කවුන්ටරයට බාරදුන්නෙමි. කවුන්ටරයේ සිටි තරුණිය කළමනාකාරිය හමුවන ලෙස දැන්වීය. කළමනාකාරිනිය රුපියල් දහසේ නෝට්ටුවක් එහා මෙහා කරමින් මා ඇමතුවාය. ‘‘මේ සල්ලි කොහෙන්ද ගෙනාවේ. නීතියේ හැටියට නම් ඔයාව පොලිසියට අල්ලල දෙන්න වෙන්නේ. මේක හොර නෝට්ටුවක්’‘ කියා ඇය හිල්විදින පන්චරයක් ගෙන එම දහස් නෝට්ටුවේ සිදුරක් විද්දාය. එම රුපියල් දහසේ අලාභය දරා ගැනීමට මට සිදුවිය. ඇත්තටම දැන් සමාජගත වී ඇති මතවාදය අනුව හානි වූ නෝට්ටුවක් හෝ හොර නෝට්ටුවක් පුද්ගලයකුට ලැබුණොත් එහි අලාභය තමනටම දරා ගැනීමට සිදුවේ. ලංකාවේ දැන් ඇති ස්වයංක්‍රිය මුදල් තැන්පත්කරන යන්ත්‍රවල මුදල් ලබාගැනීමේ පහසුකමද ඇත. එකී යන්ත්‍රයකින්ම ලබාගත් නෝට්ටු කීපයකින් එකක් නැවත එම යන්ත්‍රයේම තැන්පත් කිරීමේදී ප්‍රතික්ෂේප වන අවස්ථා ඇත. මුදල් නෝට්ටු ගැන අප විග්‍රහ කරනවාට වඩා මහ බැංකුවේ ප්‍රකාශය එලෙසින්ම පළ කිරීම වඩාත් නීතිපාදක ක්‍රමවේදය බැවින් එය මෙසේ උපුටා දැක්විය හැකිය. 1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ සංසරණයට අවශ්‍ය මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ පරම අධිකාරීම බලය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. මෙම නීතිමය අධිකාරීම බලය නිසා ගනුදෙනු හා බැඳුණු ගෙවීම් පියවීම් සඳහා භාවිත කරනු ලබන නෝට්ටු හා කාසි නීත්‍යනුකූලව පිළිගත් වලංගු මුදල් වේ. ගනුදෙනුවකදී කිසිදු පැකිළීමකින් තොරව අප මුදල් පිළිගනු ලබන්නේ එබැවිනි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව මුදල් කළමනාකාරීත්වයේ කේන්ද්‍රස්ථානය ලෙස ආර්ථිකයේ අවශ්‍යතා සපුරාලීම සඳහා වාණිජ බැංකු පද්ධතිය හරහා නව මුදල් නෝට්ටු හා කාසි ආර්ථිකයට එකතු කරයි. එමෙන්ම වාණිජ බැංකු ශාඛා පද්ධතිය මගින් එම මුදල් ජනතාව අතරට බෙදා හැරීම, භාවිතයට සුදුසු මුදල් සංසරණයට එකතු කිරීම සහ භාවිතයට නුසුදුසු මුදල් භාවිතයෙන් ඉවත් කිරීම යනාදිය සිදුකරනු ලබයි. වියදමකින් තොරව කිසිවක් නොලැබෙන්නා සේම නෝට්ටු හා කාසි නිෂ්පාදනය සඳහාද පිරිවැයක් දරන්නට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවේ. වක්‍රාකාරව බැලුවහොත් මේ සඳහා යොදවන්නේ මහජනතාවගේ මුදල්ය. බොහෝ විට කාසි ටංකනය හා නෝට්ටු මුද්‍රණය කිරීම විදේශ සමාගම් මගින් සිදු කෙරේ. එම නිසා කාසි හා නෝට්ටු නිෂ්පාදන පිරිවැයෙහි සැලකිය යුතු ප්‍රමාණයක් විදේශ විනිමය වේ. වර්තමාන මුදල් නෝට්ටු මුද්‍රණකරු වන ‘‘ඩිලාරූ’’ ලංකා සමාගමේ කොටස් හිමිකාරිත්වයක් ශ්‍රී ලංකා රජයට තිබුණද ඊට අදාළ අමුද්‍රව්‍ය බොහෝමයක් ආනයනය කිරීමට සිදුවීම නිසා සැලකිය යුතු විදේශ විනිමයක් පිටරටට ගලා යෑම සිදුවේ. අප එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන උපකරණ ආදිය සඳහා මෙන්ම නෝට්ටු හා කාසි සඳහා ද ආයු කාලයක් පවතී. මූලිකව ම මෙම කාලය රඳා පවතින්නේ කරුණු කීපයක් මතය. එනම්, * මුදල් නිපදවීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයන්හි ප්‍රමිතිය * මුදල් නැවත, නැවත සංසරණය කෙරෙන වාර ගණන * මුදල් භාවිත කරන පිළිවෙළ හා * ඒවා භාවිතයට යොදා ගනු ලබන්නේ කවර තත්ත්වයන් යටතේද යන්නයි. මහ බැංකුව නෝට්ටුවකට හානි පැමිණවීමේ නීතිමය තත්ත්වය පැහැදිලි කරන්නේ මෙසේය. මුදල් නීති පනතේ අංක 58 වගන්තිය යටතේ මුදල් නෝට්ටුවක් හිතාමතා විකෘති කිරීම, එනම් කැපීම, සිදුරු කිරීම නෝට්ටු මත යමක් මුද්‍රණය කිරීම, ලිවීම, ඒ මත යමක් ඇලවීම, ඇඳීම, මුද්‍රා තැබීම හෝ නෝට්ටුවක කොටසක් වාණිජමය ප්‍රචාර කටයුතු සඳහා යොදා ගැනීම, නෝට්ටුවක අනුකරණයක්, ව්‍යාජ නෝට්ටුවක් සෑදීම දඬුවම් ලැබිය හැකි වරදකි. මහ බැංකුව කියන පරිදි ඡන්ද කාලවලදී මුදල් නෝට්ටුවලට සමාන ප්‍රචාරක පත්‍රිකා නිකුත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් මහ බැංකුවේ කිසිදු ප්‍රකාශනයක ටෙලර් යන්ත්‍රයක් මගින් හෝ ගනුදෙනුවකදී ලැබෙන විකෘතිකරන ලද හෝ ව්‍යාජ නෝට්ටුවක් ලබන තැනැත්තාට ඇති නීතිමය ??????? ගැන සඳහනක් නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව පවසන පරිදි ටෙලර් යන්ත්‍රවලට ක්‍රමාංකනය (Callbrate) නම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එහිදී සිදුවන්නේ විකෘති කරන ලද නෝට්ටු ප්‍රතික්ෂේප කිරීමයි. එය සිදුවන්නේ ටෙලර් යන්ත්‍රයට මුදල් එක්කිරීමේදීය. එහෙත් සුළු සුළු හානි කිරීම් සලකුණු මෙම ක්‍රමයටත් හසු නොවේ. එමෙන්ම මහ බැංකුව කියන්නේ තමන් තවමත් විකෘති කරන ලද නෝට්ටු භාරගන්නා බවය. මහ බැංකු ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛාවකින් මෙම හානියට හෝ විකෘති කළ නෝට්ටුවලට අලුත් නෝට්ටු ලබා ගත හැකිය. එමෙන්ම පොලිමර් මුද්‍රණයක් වූ රුපියල් 200 නෝට්ටුව හෝ කිසිම නෝට්ටුවක් අවලංගු කොට නැත. එනිසා කිසියම් විකෘති කිරීමකට හෝ හානි සිදුව ඇති කිසිම නෝට්ටුවක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට කිසිවකුට නොහැකිය. එහෙත් එවැනි නෝට්ටු තිබේ නම් වඩාත් සුදුසු මහ බැංකුව වෙත පැමිණ ඒවා අලුත් නෝට්ටුවලට මාරු කිරීම වඩාත් සුදුසු ක්‍රමවේදය බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත් බැංකුවල අති නවීන තාක්ෂණයෙන් යුත් ටෙලර් යන්ත්‍රවලින් ලබා ගන්නා මුදල් නෝට්ටුද ප්‍රතික්ෂේප වෙන අවස්ථාද තිබේ. ඒ අනුව දැන් අවසානයේ අපට පෙනී යන්නේ ව්‍යාජ මුදල් හා විකෘති කරන ලද හෝ හානියට පත් නෝට්ටුවක් මෙරට සාමාන්‍ය පුරවැසියකුට ලැබුණහොත් එහි අලාභයත් ඔහුටම දරා ගැනීමට සිදුවීම නොවේද? වජිර ලියනගේ
 

More News..