brand logo

බ්‍රේක් නොගැහුවා නම් මගේ විවාහයත් ඇක්සිඩන්ට් - වත්සලා දියලගොඩ

29 September 2020

යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ගෑනු පිරිමි භේදයක් නැතුව කැප කිරීම් කරනවා. තමන්ගෙ කැමැත්ත, අකමැත්ත, අනෙකාගේ සතුට වෙනුවෙන් කැප කරනවා. අපි නොදන්නවා වුණාට කලා ලෝකයෙත් එහෙම කැප කිරීම් කරන අය ඉන්නවා. වත්සලා දියලගොඩ කියන්නෙ කලාවට වඩා පවුල් ජීවිතයට තැන දීලා නොලැබුණ දේ ගැන නොසිතා ලැබුණ දේ ගැන සතුටු වෙන රංගන ශිල්පිනියක්. පසුගිය අගෝස්තුවේ ඇය විවාහ ජීවිතයේ 11 වැනි සංවත්සරය සැමරුවා. අලුතින් විවාපත් වුණ අයට වගේම විවාහ වුණ කොයි කාටත් වැදගත් නිසා, විවාහය රැක ගන්න ඇය කළ කැපකිරීම් ගැන ‘පිනිපලසේ’ අපි වත්සලාගෙන් ඇහුවා. • පොඩි කෙල්ල වගේ හිටියට වත්සලාගේ විවාහ ජීවිතේටත් අවුරුදු 11ක් සම්පූර්ණ වුණා? ඔව්නේ.... කාලය ඉක්මනින් ගෙවිලා ගියා. • වත්සලා විවාහ වුණේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටියදී. වත්සලාගේ වයසෙ සමහර රංගන ශිල්පිනියන් තවම විවාහ වෙලත් නෑ. විවාහයට ඉක්මන් වුණා වැඩියි කියලා කවදාවත් හිතිලා නැද්ද? කාලයකට කලින් නම් එහෙම හිතුණ වාර අනන්තයි. ඒත් අද මට හිතෙනවා නුසුදුසු කාලේ වුණත් සිද්ධ වුණේ සුදුසු විවාහයක් කියලා. විවාහ ජීවිතය තුළ අපි ආවෙ මල් පිරුණු මාවතක නෙමෙයි. ගැටලු, බාධක ප්‍රශ්න අපිටත් ආවා. ඒත් වාසනාවට ඒ හැම ප්‍රශ්නයකටම අපි ඔළුව පාවිච්චි කරලා විසඳුම් හෙව්වා. මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක අපිට තියන ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා. ප්‍රශ්න ප්‍රශ්නයක් කර නොගත්ත නිසා, ලැබිච්ච දේවල් අත හරිනවාට වඩා රැක ගන්න උත්සාහ කරපු නිසා අපි දෙන්නට දෙන්නා කැපවීම් කරපු නිසා අදටත් අපි දුවත් එක්ක සතුටින් ජීවිතය ගත කරනවා. • කලා ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන විවාහ ජීවිත හරිම අඩුයි. වත්සලා කියන විදියට ඔළුව පාවිච්චි කරලා ප්‍රශ්නවලට උත්තර හොයපු නැති නිසාද එහෙම වෙන්නේ? අපේ ක්ෂේත්‍රයේ විවාහ ජීවිතයේ එකට ජීවත් වීම්වලට වඩා වෙන්වීම් වැඩියි කියන චෝදනාව තියෙනවා. කවුරුත් කැමැත්තෙන් වෙන් වෙන්නෙ නෑනේ. කරන්න දෙයක් නැතිම නිසා එහෙම තීරණ ගන්න වෙනවා ඇති. අපි එක එක්කෙනා මුහුණ දෙන්නෙ විවිධ ප්‍රශ්නවලට. ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්නෙත් විවිධ විදියට. ඒ නිසා ඒ තීරණ ගැන අපිට මුකුත් කියන්න බෑ. මොකද ඒක එයාගෙ අතිශය පෞද්ගලික කාරණාවක්. හැබැයි කලාවයි විවාහයයි සමබරව අරන් යන්න නම් හරිම අමාරුයි. කැප කිරීම් කරන්නම වෙනවා. එක අතකින් බැලුවහම විවාහය රැක ගැනීම, සාර්ථක කර ගැනීමත් එක්තරා කලාවක්. • රංගන ක්ෂේත්‍රයේ හිනි පෙත්තට ගියත්, රසිකයන් වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කළත්, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ එක කළු තිතත් රසිකයා මහමෙරක් කර ගන්නවා. එහෙම වෙලාවට රසිකයා තමන්ගෙ පෞද්ගලික ජීවිතයට ඕනවට වඩා මැදිහත් වෙනවා කියලා හිතෙන්‍නෙ නැද්ද? මට එහෙම හිතිලා නැත්තෙ තාමත් ප්‍රේක්ෂකයාගේ හිතේ ආදරණීය ඉඩක් මට තියන නිසා. ඔවුන් ආදරයෙන් මං ගැන කතා කරන නිසා. ‍ප්‍රේක්ෂකයට අපේ පෞද්ගලික ජීවිතේ වැඩක් නෑ කියලා අපිට කියන්න පුළුවන්. ඒත් ඔවුන් අපේ නිර්මාණාත්මක ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් බැඳිලා ඉන්නෙ. සමාජ මාධ්‍ය නිසා අපේ ජීවිත විවෘත වෙලා තියෙන්නේ. හංගන්න දෙයක් නෑ. කලාකරුවෙක්ගේ පැවැත්මට රසිකයත් ඉවහල් වෙනවා. ඒ නිසා ඔය කියන කාරණේට තාර්කික උත්තර හරි යන්නෙ නෑ. • වත්සලාගේ නංගි බුවනිත් විවාහයෙන් පස්සෙ නිහඬයි? ඔව්. විවාහයත් එක්ක එයත් මම වගේ ලොකු ‍‍බ්‍රේක් එකක් ගැහුවා. මම මුලිනුත් කිව්වෙ පවුල රැකගන්න නම් අපිට කැපකිරීම් කරන්න වෙනවා. මටත් ඔය වගේ බ්‍රේක් කිහිපයක්ම ගහන්න සිද්ධ වුණා. අවශ්‍ය තැන්වලදි බ්‍රේක් නොගහා ගිය වේගෙට ගියානම් මෙලහට මගේ විවාහ ජීවිතෙත් ඇක්සිඩන්ට් වෙලා. • මේ දවස්වලත් බ්‍රේක් එකක් ගහලද ඉන්නේ? ඔව්. දුවගෙ වැඩ කටයුතු වෙන්නෙ මගෙ අතින්. මට නිර්මාණයකට යන්න වෙන්නෙ දුවගේ වගකීම ප්‍රසංගට හරි වෙන කාටහරි භාරදීලා. මම කන්නෙ බොන්නෙ රංගනයෙන් නෙවෙයි. ඒ නිසා වැඩ හොයා ගෙන ගිහින් කරන්නවත්, දෙන ගාණකට වැඩ කරන්නවත් මට අවශ්‍ය නෑ. ඒ නිසා දුවවත් දාලා යන ඒ ගමනට නියමිත වටිනාකමක් ලැබෙන්න ඕනේ. ඒක හොඳ නිර්මාණයක් වෙන්නත් ඕන. ඔය දෙකම වගේම කොරෝනා අර්බුදයත් නිසා මේ දවස්වල පොඩි බ්‍රේක් එකක් ගැහුවා. • ප්‍රසංගගෙන් ජීවිතයට ලැබෙන සහාය ගැන සතුටුද? කලා ජීවිතයට නම් ප්‍රසංගගෙන් ලොකු සහායක් කවදත් ලැබුණෙ නැහැ. ඒත් මට යන්න ඕන නම් එයා කිසිම ගැටලුවක් නැතුව දුවගෙ වගකීම බාර ගන්නවා. දුවගෙ වැඩවලදි, ගෙදර වැඩවලදි ප්‍රසංග කොන්දේසි විරහිතව උදව් කරනවා. • තාමත් දුවගෙ පණ තාත්තද? දුව පුංචි කාලේ තාත්තට පිස්සුවෙන් වගේ ආදරය කළා. අදටත් ඒකෙ වෙනසක් නෑ. ඒත් මටත් දැන් ඒ වගේම ආදරෙයි. මොකද දැන් එයාගේ හිත ගිහින් තියෙන්නෙ ෆැෂන්වලට. ෆැෂන් කරන්න අම්මා ඕනනේ. දැන් අපි දෙන්නා අතර තාත්තට හොරෙන් රහස් කතා තියෙනවා. හොර වැඩ තියෙනවා. අනේ ඒවා හරි සුන්දරයි. දුව මෙච්චර ඉක්මනට ලොකු වුණාද කියලා හිතෙනවා. • ඒ කියන්නෙ දුව ගැන අම්මා ඉන්නෙ ආඩම්බරයෙන්? නැත්නම්. ඉගෙන ගන්නත් එයා දක්ෂයි. හුරතලයෙත් අඩුවක් නෑ. ආදරයෙත් අඩුවක් නෑ. එහෙම දුවෙක් ගැන ආඩම්බර නොවී කොහොමද? හිමේෂා සවන්තී රාජපක්ෂ
 

More News..