brand logo

වෙස්මිනිස්ටර් අධිකරණය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට දුන් තීන්දුව

22 January 2019

බ්‍රිතාන්‍ය අධිකරණයක් මඟින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සිතාසි නිකුත් කර ඇති බවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ දක්වාත් දැනුම්දීමක් සිදුකර නොමැති බව යුද හමුදාව පවසනවා. පසුගිය වසරේ පෙබරවාරි 04 වැනිදාට යෙදී තිබූ 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවයක් පැවැත්වෙන අතරතුර එහි ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිරත වු එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක අයුරින් සංඥාවක් නිකුත් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ලව වුණා. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබූ අතර එහිදී ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. මේ සම්බන්ධයෙන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එවන් සිද්ධියක් සම්බන්ධයෙන් මේ දක්වාත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තොරතුරු වාර්තා කර නොමැති බවයි. ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සිතාසි නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය කිහිපයක් පමණක් තොරතුරු වාර්තා කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ඇතිවූ සිද්ධියෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා දිවයිනට ගෙන්වා ගැනීමට යුධ හමුදාව පියවර ගත්තා.
 

More News..