brand logo

බ්‍රැන්ඩික්ස් පොකුරේ 100ක් ගැන තවමත් තොරතුරු නැහැ

09 October 2020

මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කොවිඩ් ආසාදිතයන් සියයකට අධික ප්‍රමාණයක් සොයා ඊයේ (08 වැනිදා) රාත්‍රිය පුරාත් මෙහෙයුම් ක්‍රියාත්මක වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ‘‘අරුණ’’ට පැවසීය. මෙම සේවකයන් සමාජයට නිරාවරණය නොවී අනිවාර්යයෙන්ම රෝහල් හෝ නිරෝධායන මධ්‍යස්ථානවල පමණක් සිටිය යුතු බවත් වහාම එම පිරිස සමාජයෙන් ඉවතට ගැනීම මෙහෙයුමේ අරමුණ බවත් හෙතෙම කීය. ඊයේ (08 වැනිදා) දහවල් වන විට 141 දෙනකු සොයාගත යුතුව තිබිණි. නමුත් ඉන් ඇතැමුන් පවුල්වල සාමාජිකයන් සමගම නිරෝධායන මධ්‍යස්ථාන කරා ගොස් සිටියදී හමු වී ඇත. බ්‍රැන්ඩික්ස් ආසාධිතයන්ගෙන් 506ක් ආගිය අතක් නැති බව ඊයේ (08 වැනිදා) අරුණ පුවත්පත මගින් ද අනාවරණය කරන ලදී. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ හමුවට නොගිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් ගැන ඉක්මනින් තොරතුරු දීම සඳහා 0113456548 දරන දුරකතන අංක ඔස්සේ යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබා දෙන ලෙසද ඉල්ලා සිටී. ඊයේ (08 වැනිදා) රාත්‍රිය වන විට තවත් ආසාදිතයන් දස දෙනකු වාර්තා වූ අතර සමස්ත ගණන 1044ක් දක්වා ඉහළ ගියේය. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..