brand logo

බස් රියැදුරන් සෞඛ්‍ය පහසුකම් ඉල්ලයි

13 November 2020

සියලුම පෞද්ගලික බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් මෙම 18 වැනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමිත්‍ර කුමාරදාස ‘අරුණ’ට ඊයේ (12 වැනිදා) පැවැසීය. දිවයින පුරා බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් තුන් ලක්ෂ දහතුන් දහසක් පමණ මෙම වර්ජනයට එක් වන බවද හෙතෙම කීවේය. ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ කිසිදු පෞද්ගලික බස්රථ රියැදුරකුට හෝ කොන්දොස්තරවයකුට මුව ආවරණ, අත්වැසුම් හා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් මේ වනතෙක් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් හෝ දුර ගමන් සේවා ගමනා ගමන කොමිෂන් සභාවෙන් හෝ ලබාදී නොමැති බවයි. මෙම සේවක පිරිසකගේ ජීවිත අවදානමකට ලක්කරමින් තවදුරටත් සේවයේ යෙදීමට නොහැකි නිසා එම පහසුකම් ලබාදෙනතුරු මෙම වැඩ වර්ජනයේ යෙදෙන බව ඔහු පැවැසුවේය. බස්රථ හිමියන්ගේ සංගම් කිහිපයක් එක්වී සියයට පනහකින් බස් ගාස්තු වැඩිකර ගැනීමට ගන්නා උත්සාහයට තම සංගමය විරෝධය පළ කරන බව හෙතෙම පැවැසීය. බස්රථ හිමියන්ට රජයෙන් ලබාදිය යුතු සියලුම පහසුකම් ලබාදී ඇති බවත්, එවැනි තත්ත්වයකදී ඔවුන් මෙලෙස බස් ගාස්තු ඉහළ දමන ලෙස පැවසීම අසාධාරණ බවත්, ඔවුන් ඉල්ලීම් කළ යුත්තේ ගාස්තු සංශෝධනයන් නොව ඉන්ධන සහන බව ඔහු කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් බස්රථ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ ආරක්ෂාවද ජනතාවගේ ආරක්ෂාවද මූලික කර ගනිමින් වැඩ වර්ජනයේ යෙදීමට තීරණය කළ බවය. මේ වනවිටත් මතුගම, පාදුක්ක සහ ඉංගිරිය යන ප්‍රදේශවලින් පෞද්ගලික බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 07 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ලේකම්වරයා පැවසුවේය. එවැනි භයානක තත්ත්වයක් තුළ තවදුරටත් මෙම සේවක පිරිස කිසිදු සෞඛ්‍යාරක්ෂිත උපක්‍රමයක් නොමැතිව බස්රථ ධාවනයේ යෙදීම අවදානම් සහගත බව හෙතෙම පැවැසීය. ලේකම්වරයා කියා සිටියේ බස්රථ හිමියන්ගේ සංගම්ද විවිධ කාරණා ඉදිරිපත් කරමින් බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳව අවධානය යොමු කරනවා මිස බස්රථ සේවකයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව තැකීමක් නොකරන බවය. සියලුම පෞද්ගලික බස්රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට මුව ආවරණ, අත්වැසුම් සහ ආරක්ෂිත ඇඳුම් කට්ටල ලැබෙනතුරු වැඩ වර්ජනය කිසිසේත්ම අත්නොහරින බව සුමිත්‍ර කුමාරදාස පැවැසීය. අශිකා ජයවීර
 

More News..