brand logo

බස් රියදුරන් හා කොන්දොස්තරවරුන්ට විවේකාගාරයක්

01 July 2020

දුරගමන් සේවාවල යෙදී කොළඹට පැමිණෙන පුද්ගලික බස් රථ රියැදුරුවරුන් හා කොන්දොස්තරවරුන්ට ඔවුන්ගේ ඊළග ගමන්වාරය තෙක් විවේක ගැනීම සඳහා සුදුසු ස්ථානයක් නොවීය. ඇතැම් රියදුරන් බස් රථය තුළම නිදාගත් අතර ඔවුන්ට ඇඳුමක් මාරු කර ගැනීමට හෝ ස්නානය කිරීමට හෝ අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් හෝ නොතිබිනි. මේ නිසා කොන්දොස්තරවරුන්ට හා රියැදුරුවරුන්ට විවේක ගැනීම සඳහා විවේකාගාර ඉදි කර දීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව එම කොමිසම විසින් ඉදි කළ ප්‍රථම විවේකාගාරය අද දින (01) පෙරවරුවේ පිටකොටුවේ පුද්ගලික බස් නැවතුම් පොළ පරිශ්‍රයේ දී විවෘත කෙරිණි. මෙම විවේකාගාරය තුළ රියදුරු හා කොන්දොස්තරවරුන් 10කට නිදා ගැනීමට අවශ්‍ය පහසුකම් ඇති අතර තවත් 15කට තම ගමන්වාරය එන තෙක් රැඳි සිටීමට ද පහසුකම් තිබේ. එමෙන්ම මෙම විවේකාගාරය වායුසමනය කර තිබෙන අතර සනීපාරක්ෂක පහසුකම් ද ස්ථාපිත කර තිබේ. මාර්ග අනතුරුවල දී ප්‍රධාන හේතුවක් වන්නේ රියදුරන්ට නිසි විවේකයක් ලබා ගැනීමට මෙතෙක් පහසුකම් නොමැතිවීම බව කී ඇමැතිවරයා මෙම වැඩපිළිවෙල යටතේ ඔවුන්ට හොඳින් විවේක ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද සඳහන් කළේය. ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම විවේකාගාරය විවෘත වු අතර එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගාමිනි සෙනවිරත්න මහතා ද සහභාගි විය. මෙම විවේකාගාරය තාවකාලිකව ඉදි කරන ලද්දක් වන අතර රජය විසින් කොළඹ දුම්රිය ස්ථානය, ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ මෙන්ම පුද්ගලික බස්නැවතුම් පොළද එක් කරමින් ප්‍රවාහන කේන්ද්‍රයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ අනුව ස්ථිර විවේකාගාර පද්ධතියක් ඉදි කිරීමට යෝජිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම අප රටේ සියලුම බස් රථ නැවතුම් පොළවල් මෙන්ම දුම්රිය ස්ථාන දුම්බීමෙන් තොර කලාප බවට පත් කරන ලෙස ද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය
 

More News..