brand logo

බස් රථයක් තුළ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ තිදෙනෙකු මාට්ටු

22 January 2020

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය එක්ව 2020 ජනවාරි 22 වන දින පුත්තලම, පාලවිය ප්‍රදේශයේ බස් රථයක් තුළ ප්‍රවාහන කළ කේරළ ගංජා කිලෝ 176 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කර මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවරට සක්‍රීය දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් අදියරක් වශයෙන් වයඹ නාවික විධානය සහ පුත්තලම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය එක්ව පුත්තලම, පාලවිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුත්තලම කොළඹ මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු බස් රථයක් නවතා සිදු කළ පරීක්‍ෂා කිරීමේදී ආසන යට තහඩු කපා සැකසූ රහස් කුටීරයක් තුළ සූක්‍ෂම ලෙස සගවා රැගෙන යමින් තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 176 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත. මෙලෙස බස් රථය තුළ සගවා තිබූ කේරළ ගංජා තොගය කල්පිටිය ප්‍රදේශයේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් සිට ඇති බවට කරුණු අණාවරණය වී ඇත. ඒ අනුව බස් රථයේ සිටි සැකකරුවන් තිදෙනෙකු (03) සමග මෙම කේරළ ගංජා තොගය අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 29, 31 සහ 37 වන වියෙහි පසුවන යාපනය සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා කිලෝ 176 ක පමණ ප්‍රමාණය, සැකකරුවන් තිදෙනා (03) සහ බස් රථය පිළිබද වැඩිදුර විමර්ෂණ සඳහා පුත්තලම පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.
 

More News..