brand logo

බස් ගාස්තු 25%කින් වැඩි කරන්නැයි ඉල්ලීමක්

14 June 2021

බස් ගාස්තු සියයට විසිපහකින් වැඩි කළ යුතුයි

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බස් ගාස්තු සියයට විසිපහකින් වැඩි කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි. එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමට සිදුව ඇති හෙයින් ඒ සඳහා තවත් සියයට දහයක බස් ගාස්තු සංශෝධනයක් ද සිදුකළ යුතු බව ද හෙතෙම කීවේය.

ඉන්ධන මිල ඉහළ දැමීම, ලීසිං වාරික ගෙවීමේදී සහනයක් නොලැබීම, ටයර් ඇතුළු අමතර කොටස්වල මිල ඉහළ යාම ඇතුළු ගැටලු රාශියක් මැද සිය වෘත්තිය කරගෙන යන බවත් මේ හේතුවෙන් පවතින බස් ගාස්තුවට අමතරව සියයට පහළොවකින් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවත් එම සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් අරුණ,ට ඊයේ පැවසීය.

මෙරට ප්‍රධානම බස් සංගමය වශයෙන් මෙම ස්ථාවරයේ කිසිදු වෙනසක් නැති බව ද මේ පිළිබඳ සෙසු බස් සංගම් හා ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කීවේය. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය හා අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මේ පිළිබඳ සිය යෝජනා හා අදහස් නිල වශයෙන් මෙතෙක් ඉදිරිපත් කර නැත.

බස් ගාස්තු වැඩි වීම කොපමණ අගයකින් සිදුවිය යුතුයි ද යන්න නිසි අධ්‍යයනයකින් තොරව ප්‍රකාශ කළ නොහැක

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් වී ඇති නමුත් බස් ගාස්තු වැඩි වීම කොපමණ අගයකින් සිදුවිය යුතුයි ද යන්න නිසි අධ්‍යයනයකින් තොරව ප්‍රකාශ කළ නොහැකි බවය. ඒ සම්බන්ධයෙන් සිය යෝජනා ඇතුළත් ලිපියක් සකස් කරමින් සිටින බවත් හෙට (15දා) එම ලිපිය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත ලබා දෙන බවත්ය.

කොවිඩ් 19 වසංගත තත්වය මැද ඉන්ධන මිල ඉහළ දැමීම රජයේ වැරදි තීරණයක්

එමෙන්ම අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාරගෙන් අරුණ, කළ විමසුමකදී සඳහන් කළේ තම සංගමය ද මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවය. කොවිඩ් 19 වසංගත තත්වය මැද ඉන්ධන මිල ඉහළ දැමීම රජයේ වැරදි තීරණයක් බවය.

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව

දිලුම් අමුණුගමට තවත් අමාත්‍යධූරයක්
කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු ද නැති ද වග රජය විසින් තීරණය කළයුතු බවත් එම තීරණයට අනුව ලංකා ගමනා ගමන මණ්ඩලය ධාවනයන් සිදුකරන බවත් එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස අරුණ, කළ විමසුමකදී සඳහන් කළේය. මේ අතර මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ප්‍රවාහන හා ප්‍රජා පොලිස් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඉදිරියේදී යම් ගාස්තු ඉහළ දැමීමක් පිළිබඳ සලකා බැලීමක් කරන්නට සිදුවනු ඇති බවත්ය. අදාළ ප්‍රශ්නය සම්බන්ධව බස් හිමියන්ගේ මෙන්ම ජනතාවගේ පැත්තෙන් ද සිතා තීරණයක් ගැනීමට සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේය. එෆ්.අස්ලම්, කමල් සුරවීර - මහනුවර
 

More News..